එජාප නව නායකයා යම් කාලයක් නියෝජ්‍ය නායකයා ලෙස සිටිය යුතුයි | දිනමිණ

එජාප නව නායකයා යම් කාලයක් නියෝජ්‍ය නායකයා ලෙස සිටිය යුතුයි

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය 

එක්සත් ජාතික පක්ෂයට පත් වන නව නායකයකා ප්‍රථමයෙන් නියෝජ්‍ය නායකයා ලෙස යම් කාල සීමාවක් කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් වී තිබේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (7) හවස පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ. නායකත්වය සඳහා ඉදිරිපත් වී සිටින අය සමඟ රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිරිකොත මන්දිරයේදි ඊයේ (8) උදේ සාකච්ඡා කළ අතර ඔවුනගේ අදහස් ඉතා ඉක්මනින් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට මුලින්ම තෝරා ගනු ලබනුයේ නියෝජ්‍ය නායකයා වන අතර ඔහු නායකත්වයට පත් වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ රැඳී සිටිනු ඇති බවට වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාව සිටි සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන බලවේගයට එක් වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුව පැවතිණි.

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා තෝරා පත් කැර ගන්නා තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සඳුදා (14) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න