ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදීම යහපාලන කාලයේ සිදු වූ වරදක් | දිනමිණ

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදීම යහපාලන කාලයේ සිදු වූ වරදක්

හිටපු බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්

යහපාලන ආණ්ඩු කාලයේ ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට ඉඩ දුන් බව එම පාලන කාලයේ හිටපු බුද්ධි ප්‍රධානි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (8) අනාවරණය කෙළේය.

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් නොදීම අඩුපාඩුවක් සේ තමා දකින්නේ ද යන්න කොමිසමේ සභාපති විනිසුරුවරයා සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටි අතර එහිදී එය අඩුපාඩුවක් සේ තමා දකින බව හෙතෙම කියා සිටියේය.

යුද්ධය අවසන් වී ලෝකයට ශ්‍රී ලංකාවේ ප්‍රතිමූර්තිය ගෙන යෑම වැදගත් බව සලකමින් කටයුතු කළ බවද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම 2011ට පෙර තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස සිටියදී ජාතික බුද්ධි රැස්වීමට සහභාගි වූ බව කියා සිටී හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා එහිදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ මෙම රැස්වීම් වඩාත් විධිමත් අයුරින් සිදු කරන අයුරු තමා දැක ඇතැයිද පැවැසීය. නිල ඇඳුමක් දැරීම නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වඩාත් විධිමත් අයුරින් එම රැස්වීම පැවැත්වූ බවත් කියා සිටී සිසිර මෙන්ඩිස් මහතා යුද්ධය පැවැතිය නිසා එම රැස්වීම අඛණ්ඩව පැවැතුණු බවත් කොමිසමට කියා සිටියේය.

යුද්ධය අවසන් වී තිබූ නිසා ප්‍රතිසංධාන සිදු කිරීමට උපදෙස් ලබා දීමට විදෙස් නියෝජිතයින් පැමිණියා.යුද හමුදාව ජනතාවගේ ඉඩම්වල කඳවුරු පිහිටුවා තිබීම නිසා ඒවා ඉවත් කිරීමට උපදෙස් ලැබී තිබුණා. ආරක්ෂක ලේකම්වරයා යාපනයට කිහිප අවස්ථාවක ගියා. යුද්ධයේ දී මීට වඩා වෙනස් තත්ත්වයක් තිබුණා. රට පුරා රැස්වීම් විරෝධතා උද්ඝෝෂණ තිබුණා මේවා ගැන තමයි ආරක්ෂාවට වඩා රැස්වීමේදී කතා කෙළේ යැයි සිසිර මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

කොමිසම හමුවේ සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ පාස්කු ප්‍රහාරයකට සම්බන්ධයෙන් අැප මත සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවලා සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාද කොමිසම හමුවේ පෙනී සිටියේය. ඔවුන්ට සාක්ෂි වලට සවන්දීම සහ හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදීම සඳහා ඔවුන් කැඳවා තිබුණි.

කොමිසමේ සභාපති විනිසුරු වරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම සිදු කළ අතර අතිරේක සොලිසිටර් ජෙනරාල් වරියක් සාක්ෂි විමසීම සිදු කළාය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න