අනුරාධපුර අධ්‍යාපන කලාපයේ රජයේ පාසල්වල පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය අධිකයි | දිනමිණ

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ රජයේ පාසල්වල පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය අධිකයි

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ රජයේ පාසල්වල හයවන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පන්ති කාමරවල ශිෂ්‍ය සංඛ්‍යාව අධිකවීම නිසා දැඩි තදබදයක් ඇතිවී සිසු දරුවන්ට හා ගුරුවරුන්ට නිදහසේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ගුරුවරුන් අනාවරණය කළහ.

කොරෝනා වසංගතයෙන් පසුව රජයේ පාසල් ආරම්භ විමත් සමග අනුරාධපුර නගරයේ පිහිටි රජයේ පාසල්, මිශ්‍ර පාසල් හා ජාතික පාසල් රැසක මෙම තත්ත්වය උද්ගතවි ඇති බවත් හයවන ශ්‍රේණියේ සිට13 ශ්‍රේණිය දක්වා පන්ති කාමරවල ශිෂ්‍ය සංඛ්‍යාව 44කට පමණ සීමාකර ඇතත් බොහෝ පාසල්වල එක් පන්තියක සිසුන් 50-60 දක්වා ඉහල ගොස් ඇති බව ඔවුන් පැවසූහ. මේ සම්බන්ධයෙන් අදහස් පලකළ ගුරුවරුන්, ''පන්තියක සම්මත සිසුන් ගණන ළමුන් 40-45 ප්‍රමාණයක් තමයි. නමුත් අපේ විදුහල්වල පන්ති කාමරයක සිසුන් 55-60 ප්‍රමාණයේ ඉන්නවා. ළමයි හිරවෙලා තමයි පන්ති කාමරවල ඉගෙන ගන්නේ. මේ තත්ත්වයත් මත අපිත් ඉන්නේ දැඩි පීඩණයකින්. දරුවන්ටත් ඒ විදියමයි.

විවිධ ප්‍රදේශවලින් අලුත් සිසු සිසුවියන් විශාල පිරිසක් අපේ පාසල්වලට අධ්‍යාපනය සඳහා එනවා. අපේ පන්තිවල සිසු සිසුවියන් 60කට ආසන්න පිරිසක් ඉන්නවා''.

මේ පිළිබදව අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ''මේ අනාවරණය සත්‍යයක්. මොකද අද වෙනකොට අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පාසල් සියල්ලේම තත්ත්වය ඕකයි. මේ තත්ත්වයට විදුහල්පතිවරුන් වගකියන්න ඕන. ඔවුන් සීමාව ඉක්මවා සිසුන් බඳවා ගැනීම නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුව පාසලක පන්ති කාමරයක ළමයි 35යි ඉන්න පුළුවන්. නමුත් අපේ පාසල් දරුවන්ට පිරිසිදු වාතාශ්‍රයවත් ලැබෙන්නේ නැති තරමට පන්ති කාමරවල සිසුන් පුරවලා.

නගරයේ සමහර රජයේ පාසල්වල පන්ති කාමරයක සිසුන් 70කට ආසන්නයි. දරුවන්ටත් ආතතිය හැදෙනවා.ගුරුවරුන්ටත් ආතතිය හැදෙනවා. පාසල්වල විදුහල්පතිවරුන්ට බලය තියනවා මේ තත්ත්වය ඇති නොවන ආකාරයට පාසල්වලට දරුවන් ඇතුල්කර ගන්න. කිසිම බලපෑමකට යටත්නොවි කටයුතු කරන්න ඔවුන්ට බලය තියනවා'' යනුවෙන් සභාපතිවරයා පැවසුවේය. සිසුන් වැඩිවිමෙන් සිදුව ඇති අපහසුතාව පිළිබදව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය එය අනුමත කරමින් ''සමහර පාසල්වල මේ තත්ත්වය ඉතාම බරපතලව තියනවා. අපි මේ ගැටළුව නිසා සමහර පාසල්වල පන්ති කාමර 14 දක්වා වැඩිකරලා පහසුකම් සපයලා තියනවා.

බී.එම්.විජේසුරිය 
අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න