ජාතික ජන බලවේගය විස්ස ගැන මහජන සංවාද වේදිකාවක් හදනවා | දිනමිණ

ජාතික ජන බලවේගය විස්ස ගැන මහජන සංවාද වේදිකාවක් හදනවා

ජාතික ජන බලවේගය 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මහජන සංවාද වේදිකාවක් ලෙස පාර්ලිමේන්තුවේත් එයින් පිටතදීත් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවති ජන හමුවක දී පැවසීය.

හෙතෙම වැඩි දුරටත් මෙසේද කීවේය.

මේ ආණ්ඩුවට 2/3ක බලය ලැබීම අපේ රටේ පාර්ලිමේන්තුවත්, නීතියේ ආධිපත්‍යයත්, රාජ්‍ය මූල්‍ය පාලනයත්, මහජනතාවගේ අදහස් සාකච්ඡා කරන අවස්ථාවත් යන කරුණුවලින් එක දෙයක් හැර සියලු අවස්ථා නැති කර තියෙනවා. ඉතිරි කර තිබෙන්නේ ජනතාවගේ අදහස් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමේ අවස්ථාව පමණයි. රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අපේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල පාර්ලිමේන්තුවට බලයක් තිබෙනවා. නමුත් අපේ රටේ එම මූල්‍ය බලය 20වැනි සංශෝධනයෙන් අහෝසි කර දමනවා.

රට තුළ වංචාව නාස්තිය හා දූෂණය පිරුණු වටපිටාවක් තුළ මේ තත්ත්වය අතිශය තීරණාත්මකයි. ජාතික ජන බලවේගය 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මහජන සංවාද වේදිකාවක් ලෙස පාර්ලිමේන්තුවත් එයින් පිටත් ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති ධුරයේ ආධිපත්‍යය යටතට අතිශය වැදගත් ආයතන රැසක් පත් කරීමට නියමිතයි. රාජ්‍ය මූල්‍ය පාලනයට ප්‍රධාන වශයෙන්ම අදාළ වන විගණන කොමිසම අහෝසි කිරීම බරපතළ තත්ත්වයක්. පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට අදාළව විගණකාධිපතිවරයා මේ දක්වා කරගෙන ගිය කාර්යභාරය විගණන නිලධාරියෙක් නොවන තැනැත්තකුට පවා පවරා දීමේ හැකියාව නිර්මාණය වී තිබෙනවා. ඒක රාජ්‍ය විගණන කොමිසම අහෝසි කිරීමේ බරපතළ තත්වයක් . ඒ වගේම මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් එහි නිලධාරීන්ගේ සුළු සුළු අඩුපාඩු තිබුණත් පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේ ඇගයීමට ලක් වී තිබුණා. නමුත් 2/3 ජනවරම යොදාගෙන අධිකරණය විගණනය සහ මැතිවරණය සම්බන්ධ කොමිසන් සභා 3ම විධායකයට සහමුලින්ම යටත් කිරීමට මේ යෝජනාවෙන් උත්සාහ දරා තිබෙනවා.

අඩුම ගානේ පොදුජන පෙරමුණ කියන පක්ෂයටවත් යම් බලයක් ලැබෙන තත්ත්වයක් නැහැ. ජේආර්ටත් වඩා බලගතු පාලන තත්ත්වයක් පවුලක් තුළ ගොඩනඟා ගැනීමේ උත්සහයක්, වෛවර්ණ ප්‍රචාරණ කටයුතු පිටුපස ගොඩනැඟෙමින් තිබෙනවා. එහි අනිටු ප්‍රතිවිපාක මේ රටේ ලේ ගංගා මතින් උතුරේදීත් දකුණේදීත් අත්දකින්න ලැබුණා. ජනවරමක් ඇති පළියට මේ තත්ත්වයට ඉඩදිය යුතු නැහැ.

රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ 19 වැනි සංශෝධනය මඟින් සලසා තිබූ අවස්ථාවන් හකුලා දැමීමේ ක්‍රියාමාර්ග කිහිපයක්ම ගැන උදාහරණ දෙන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේත්, අග්‍රාමාත්‍යවරයාගේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙත් මූල්‍ය විගණනයන් 20න් ඉවත් කර තිබෙනවා. ඒකාබද්ධ අරමුදලෙන් මේ කාර්යාලවලට වෙන් කරන මුදල් පිළිබඳ විගණනයට ඉඩක් නැහැ. ජනාධිපති සහ අගමැති ජනතාවගෙන් පත් වූ අය වෙනුවට සූර්ය දිව්‍යරාජයාගෙන් පහළ වූ අය ද කියා අහන්න වනවා. පහුගිය කාලයේ ජනාධිපතිවරයා සතුව ආයතන පද්ධතියක් තබා ගැනීමේ ප්‍රතිඵල අප දැක්කා. වර්තමාන ආණ්ඩුව යටතේත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් යටතේ ආයතන පද්ධතියක් තබාගෙන විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කරමින් යනවා. ඒ ගැන කිසිම මූල්‍ය වගකීමක් දරන්නේ නැහැ. 2014ට පෙරත් තිබුණේ මේ වගේම තත්ත්වයක්. කිසිම මූල්‍ය විනයක් තිබුණේ නැහැ.

ඒ වගේම 20 වැනි සංශෝධනයෙන් රාජ්‍ය සමාගම් විගණනය කිරීමේ අවස්ථාව විගණකාධිපතිවරයාගෙන් ඉවත් කරලා. එයාර් ලංකා සමාගම වැනි දූෂණ අක්‍රමිකතාවලින් පිරුණු රාජ්‍ය සමාගම් කෝප් කමිටුව ඉදිරියට ගෙනඒමේ හැකියාව එදා තිබුණා. දැන් එයාර් ලංකා, විදුලිබල මණ්ඩලය යටතේ තිබෙන සමාගම් වගේ රාජ්‍ය සමාගම් සම්බන්ධයෙන් යොදවන මහජන මුදල් විගණනය කිරීමේ අවස්ථාව අහිමි වෙනවා. මේ නිසාම කෝප් කමිටුවට පැවරී තිබුණු භූමිකාව සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ භූමිකාව සැලකිය යුතු ප්‍රමාණයකින් අහෝසි වී යනවා. රාජ්‍ය විගණනය වැඩක් නැති දෙයක් බවට පත් වනවා. විගණකාධිපතිවරයාට රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තුවලට ගිණුම් පරීක්ෂා කිරීමේ බලය පමණක් 20 වැනි සංශෝධනයෙන් ඉතිරි කර තිබෙනවා. ඒ ආයතනවල කළමනාකාරිත්වය පරීක්ෂා කිරීමට ඉඩක් ඉතිරි කර නැහැ. කලින් ආණ්ඩුවේ මහා මාර්ග අමාත්‍යාංශය යටතේ සම්බන්ධීකරණ නිලධාරීන් 90ක් පත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තා අනුව ප්‍රශ්න කිරීමේ හැකියාව තිබුණා. නමුත් එම කළමනාකරණ පරීක්ෂාව ඉදිරියේදී කරන්න බැහැ. මේ රටේ දූෂණයට ඔටුණු පලඳවා තිබෙනවා.

යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත මඟින් අය-වැය යෝජනාවක් පැරදුණාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අහෝසි කර තිබෙනවා. දෙවැනි වරත් පැරදුණොත් පමණක් විසුරුවා හරින්න පුළුවන්. මූල්‍ය විනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තිබෙන වගවීම අත්හරින ප්‍රමාණය මෙයින් පැහැදිලියි. ජේ.ආර්. ජයවර්ධන ඡන්දෙයෙන් අගමැති වී පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වුණා. දැන් ඡන්දයෙන් ජනාධිපති වී පාර්ලිමේන්තුවෙන් රජ වෙන්න යනවා. ජනතාවගේ මූලික අයිතීන්, පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය වගේම අධිකරණයේ ස්වාධීනත්වයත් අහෝසි කරමින් ගමන් කරන්නේ ඒ දිහාවටයි.

2010 ඉඳලාම ලෝකය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය හකුලා අන්ත දක්ෂිණාංෂික නායකයන් බිහිවෙන ප්‍රවණතාවක් අප දැක්කා. අපේ රටේ ජනතාවත් අවුරුදු 40ක් පුරා අසීමිත කැප කිරීම් කරමින් උගතුන් බුද්ධිමතුන් කලාකරුවන් වැනි අයගේ මඟ පෙන්වීම මත ප්‍රජාතන්ත්‍රවාදය දෙසට මහා ගලක් තල්ලු කරමින් කන්ද නැඟීමේ අසීරු ව්‍යායාමයක යෙදී සිටියා.

නදී මාණික්කගේ

නව අදහස දක්වන්න