බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තත්ත්ව විමර්ශන වාර්තාව ඇමැති ජී.එල්.ට | දිනමිණ

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තත්ත්ව විමර්ශන වාර්තාව ඇමැති ජී.එල්.ට

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පවතින තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව එහි සාමාජිකයන් jsiska පෙරේදා (08) එම අමාත්‍යාංශයේදී අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත පිළිගැන්විණි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළ යුතු කරුණු රැසක් මෙම කමිටු වාර්තාවට ඇතුළත් කොට ඇත. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම, පත් කිරීම් සිදු කිරීම ආදිය සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සහ මතුව ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් කමිටුව ඉදිරිපත් කර ඇති සංශෝධන අනුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත ඉදිරියේ දී සංශෝධනය කර පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සැලසීමටත්, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් කලින් කල සංශෝධනය කරන ලද විෂයමාලාව විෂය භාර අමාත්‍යාංශයේ පුහුණු අධීක්ෂණය යටතට පත් කොට පනතේ අරමුණු ඉටු වන අයුරින් සංශෝධනය වී ඇත්දැයි සොයා බැලීමටත් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් පසුව එවැන්නක් ක්‍රියාත්මක කිරීමට අවකාශ සඳහා දීමත් ඇතුළු ප්‍රමුඛ කරුණු රැසක් එම කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

කමිටුව පෙන්වා දී ඇති කරුණු ගැඹුරින් නිරීක්ෂණයට ලක් කරමින් ඉදිරි මාස කිහිපය ඇතුළත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා තත්ත්වයට ස්ථාවර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් ඒ අනුව ඊට අදාළ අණ පනත්, විධිවිධාන සහ ඉදිරි ක්‍රියා මාර්ග අනුගමය කිරීමට තමා සූදානම් බවත් එහිදී අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මෙම කමිටුවේ සභාපති, රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නාහිමි, කමිටු සමාජිකත්වය දරන සම්මානිත මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම අනු නාහිමි, විශ්‍රාමික මහාචාර්ය තුඹුල්ලේ සීලක්කන්ධ නාහිමි, විශ්‍රාමික මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස යන හිමිවරුනුත් අධ්‍යාපන රාජ්‍ය ඇමැති විජිත බේරුගොඩ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න