11දා කොමිසමට නාවොත් කඩුවෙල හිටපු මහේස්ත්‍රාත්ට නීතිමය ක්‍රියාමාර්ග | දිනමිණ

11දා කොමිසමට නාවොත් කඩුවෙල හිටපු මහේස්ත්‍රාත්ට නීතිමය ක්‍රියාමාර්ග

වැඩ තහනමට ලක්වූ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එලඹෙන 11 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී නො සිටියහොත් කොමිසමට අපහාස කිරීම යටතේ ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, කොමිසම් සභාපති උපාලි අබේරත්න මහතා ඊයේ (09) පැවසුවේය.

ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ල ඊයේ (09) කොමිසම හමුවේ කැඳවූ අවස්ථාවේදී සභාපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ ය.

මේ අතර හිටපු අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට කොමිසම හමුවේ පෙනී සිටීමට යොමුකළ නොතිසි පාර්ලිමේන්තු මහලේකම්වරයා හරහා ඔවුන් වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස ද සභාපතිවරයා නියෝග කරනු ලැබුවේ ය.

දිවි නැගුම දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේ දී ස්වෙච්ඡාවෙන් ඉවත් වූ සේවකයන්ට වන්දි සහ පාරිතෝෂිත දීමනා ලබාදීම හා ‘ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියෙන්‘ සහන ලබාදීමේ සිද්ධීන්වලට, දේශපාලන බලපෑම් මත තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිලික් ඉදිරිපත් කර තිබිණි. එමෙන්ම ‘දූෂණ විරෝධී කමිටුව’ ලේකම් ලෙස කටයුතු කළ ආනන්ද විජේපාල මහතාට නොතිසි නිකුත් කළද ඔහු එම ලිපිනයේ නො මැති බව මෙහිදී කොමිසමට දන්වා සිටි හෙයින් ඔහු අවසන්වරට පදිංචිව සිටි නිවසේ සිතාසිය ඇලවීමට ද කොමිසමේ සභාපතිවරයා නියෝග කළේ ය.

නව අදහස දක්වන්න