පශ්චාත් කොවිඩ් යුගයේ කෝටි ගණනක් වටින ‘රන් කාසි දහය’ | දිනමිණ

පශ්චාත් කොවිඩ් යුගයේ කෝටි ගණනක් වටින ‘රන් කාසි දහය’

රන් කාසි දහයේ උපමාව හෙවත් තලෙන්තු උපමාව ගැන අසා නැති කිතුනුවකු සිටීදැයි සැක සහිතය. ඒ තරමට අපි ඒ ගැන අසා ඇත්තෙමු. එහෙත් එය ප්‍රායෝගික කරගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද යන ගැටලුව අප හමුවේ ඇත. රන් කාසි දහය (ලූක් 19 : 11-27) උපමාව ගැන අප අසා ඇතත් කිතුනු මිණ කියවන සෙසු ආගමික පාඨකයන් උදෙසා එකී උපමා කතාව සැකෙවින් මෙහි සටහන් කිරීම වටී යැයි සිතේ.

රාජ පෙළපතට අයත් එක් මනුෂ්‍යයෙක් රජකමට සුදුසුකම් ලබා එනු පිණිස වෙනත් රටකට යන්නට සූදානම්ව සිය දාසයන් දස දෙනකු කැඳවා රන් කාසිය බැගින් දුන්නේය. ඔහු පිටත්ව ගිය පසු මොහු රජකමට නුසුදුසු යැයි ඔහු යන රටට දන්වන්නට දූත පිරිසක්ද රහසේ පිටත් වූහ. කෙසේ වුවද අවසානයේ ඔහු රජකම පිණිස සිය රට පැමිණියේය. තමා දුන් රන් කාසිවලින් දියුණු වී ඇත්තේ කවුද යන්න ගැන විමසීමට ඔහුට අවැසි විය. පළමු සේවකයා තමා ඉන් රන් කාසි දහයක් ඉපැයූ බව පැවසා සිටි අතර, ඔහු ගැන ප්‍රසන්න වූ රජ තෙම, ගම් දහයක පාලනය ඔහුට බාර දුන්නේය. දෙවැන්නා රන් කාසි පහක් දක්වා සිය රන් කාසිය වැඩි දියුණු කරගෙන තිබූ හෙයින් ඔහුටද ගම් පහක පාලනය බාර විය. ඒත් තෙවැන්නා සිය ස්වාමියා ගැන අමනාප හා බයාදු සිත් ඇතිව එකී රන් කාසිය රෙදි කඩක ඔතා තැබුවේය. ඒ ගැන අප්‍රසන්න වූ රජතෙම ඒ කාසියද ගෙන පළමුවැන්නාට දුන්නා පමණක් නොව සිය රජකමට විරුද්ධ වූවන්ට මරණ දණ්ඩනයද පැමි‍ණෙව්වේය.

මේ උපමාව පශ්චාත් කොරෝනා සමයට ආදේශ කරගන්නේ කෙසේද යන්න ගැන සලකා බැලීම වටී. කොරෝනා වසංගතය සමඟ බොහෝ පුද්ගලයන් ආර්ථික අතින් කබලෙන් ලිපට වැටුණ බව අමුතුවෙන් කිව යුතු නැත. ලෝකයේ දියුණු රටවල් හා සාපේක්ෂව බලන කල, මෙරට බහුතරයකගේ ආර්ථිකය ඇත්තේ පහළ මට්ටමකය. එවැනි තත්ත්වයක් යටතේ කොරෝනා වසංගතය අපට දරුණු පහරකි. පාස්කු ප්‍රහාරයෙන් අඩපණ වී තිබුණ මෙරට ආර්ථිකය යළි හිස ඔසවන්නට උත්සාහ දරන විටම, කොවිඩ් ප්‍රහාරය එල්ල විය. මේ කුමන ප්‍රහාරයක් එල්ල වුවද, නැවත නැගිටීම කළ යුතුමය. රන් කාසි දහයෙන් වැඩි දියුණු කර ගත යුතු යැයි හැඟවූ අපගේ කුසලතා වැඩිදියුණු කර ගැනීම අතිශය වැදගත් වන්නේ මෙහිදීය.

පවතින අධ්‍යාපන ක්‍රමය දැනුම මෙන්ම ආකල්ප සහ කුසලතා මත පදනම් වුවද, අප දැඩි අවධානය යොමු කරන්නේ දැනුමට පමණය. එනම් වර්තමානයේ අධ්‍යාපනය කේන්ද්‍ර වී පවතින්නේ දැනුමට පමණි. මවුපියන්, වැඩිහිටියන්, උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් මෙන්ම පාසල්ද අද ප්‍රමුඛත්වය දී ඇත්තේ දැනුමට හෙවත් විභාග ප්‍රතිඵලවලට පමණි. එබැවින් කුසලතා මෙන්ම ආකල්ප ගැන වැඩි තැකීමක් නැත. මේ නොතකා හැරීම හේතුකොට ගෙන කුසලතාවලින් හීන පිරිසක් බිහිවෙමින් සිටිති.

කොවිඩ් හේතු කොට ගෙන, ඇතැමකුගේ රැකියාව අහිමි විය. ඇතැමකුගේ වැටුප කප්පාදුවට පත් විය. තිබූ රැකියාවෙන්ද අවම අවශ්‍යතා සපුරා ගනිමින් ජීවත් වූ පුරවැසියන්ට මෙය දරුණු පහරක් විය. එහෙත් කුසලතාවලින් පූර්ණ මිනිසුන්ට මෙය මහත් ගැටලුවක් නොවීය. ඔවුහු පෙර ආදායමට කිට්ටු ආදායමක් හෝ අනුන්ට අත නොපා ජීවත්වීමට සරිලන ආදායමක් සොයන්නට සිය කුසලතා උපයෝගී කරගත්හ. එක් උදාහරණයක් මෙලෙසය.

මෙරට සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු සිය ජීවනෝපාය කරගත්තේ සිය වෙනත් කුසලතාවකි. කොරෝනා සමයේ ඡායාරූප පාඨමාලා පැවැත්වීමෙන් මෙන්ම ඡායාරූප ගැනීමෙන් ඔහු ලද ආදායම නැවතිණි. එහෙත් මේ ඡායාරූප ශිල්පියා සූපශාස්ත්‍රය යම් තරමකට ප්‍රගුණ කර තිබීම නිසා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළේය. සිය නිවෙසේ තමා විසින්ම සැකසූ ආහාර වාහනයෙන් පාර අද්දර තබා විකිණීමට පටන් ගත් ඔහු ජීවිතය පවත්වා ගෙන යෑමට සෑහෙන ආදායමක් සොයා ගත්තේය. එපමණක් නොව, ඔහු රටේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු බැවින් ඔහුගේ නව ව්‍යාපාරය බොහෝ දෙනකුගේ ජීවිකාව බවට පරිවර්තනය විය. එහිදී තවත් දෙයක් සිදු විය. එකම ව්‍යාපාරය, එකම තැන බොහෝ දෙනකු ආරම්භ කිරීමට යෑමෙන් එකී ව්‍යාපාරය බංකොලොත් විය.

එ් අනුව බලන විට, කුසලතා එකිනෙකාට වෙනස් බව අප හඳුනා ගත යුතුය. එතැනදී ආකල්පද ඉතා වැදගත්ය. අනුකරණයට වඩා, වැදගත් වන්නේ සිය කුසලතා හඳුනා ගැනීමය. එය හඳුනා නොගන්නාට සිදුවන්නේ රිදී කාසි උපමාවේ තුන්වැනි සේවකයාට සිදු වූ දෙයමය. එබැවින් කුසලතා දියුණු කර ගැනීම, ආකල්ප වර්ධනයත් සමඟ සිදු විය යුතුය.

කිතුනුවන්ට බයිබලයෙන් ලැබිය හැකි පණිවිඩ මෙලෙසය. මේ අවස්ථිවේදී අපට සිහිවන්නේ ජාතක කතා සංග්‍රහයයි; එහි එන චුල්ල සෙට්ඨි ජාතකයද එවැනි අපූරු පණිවිඩයක් අපට ලබා දෙයි. මේ කතාවේ එන චුල්ල සිටාණෝ නුවණැතිය. ඔහු පාන්දර සිය නගරය වටා යන්නේ එහි තොරතුරු විමසන අටියෙනි. දිනක් ඔහු එලෙස යන අවස්ථාවක පාර අද්දර වැටී හිඳගෙන සිටින දුගියකු දුටුවේය; මේ චුල්ලන්තේවාසික තෙම සමීපයේ මී කුණක්ද තිබෙන වග දුටුවේය.

"දියුණු වන මිනිසකුට මේ මී කුණත් ප්‍රමාණවත්. මේ මී කුණෙන් පවුලක් නඩත්තු කිරීමට මෙන්ම වෙළෙඳාම් කිරීමටත් පුළුවනැ" යි පවසමින් සිටාණෝ යන්නට ගියහ.

චුල්ල සිටාණෝ යමක් පවසන්නේ නිකමට නොවන බව මේ දුගියාද කල්පනාවට ගත්තේය. එබැවින් ඔහු මේ වදන් ගැන කල්පනා කළේය. ඊළඟට මී කුණත් රැගෙන පූසකු ඇති කරන තැනැත්තකු සමීපයට ගොස් වී ඇට දෙකහමාරක රන්වලට එය විකුණා දැම්මේය.

එකී වී ඇට දෙකෙන් උක් සකුරු හා පැන් කළයක් මිලදී ගත් ඔහු, මල් කඩන පිරිසකට ඒවායින් නොමිලේ සංග්‍රහ කළේය. ඒ ඇත්තෝ තම මල්වලින් අහුර බැගින් ඔහුට දුන්හ. දින කීපයක් ඒ මල් විකුණා කහවනු අටක් ලබා ගත් ඔහුට ඊළඟ දවසේ මල්වත්තෙන් භාගයක්ම ඉතිරි කර යන්නට තරම් මල් නෙළන්නෝ කාරුණික වූහ. ඒ මල් විකුණා කහවනු දාසයක් උපයා ගැනීමට හේ සමත් විය‍. මේ අතර, මහ වැස්සක් සමඟ ආ සුළඟකින් රාජ උද්‍යානයේ ගස්වැල් කොටසක් පෙරළී ගියේය. එතැනට ගිය ඔහු ඒවා අස්කර දීමට ඉල්ලූ අවසරය උයන්පල්ලාගෙන් ලැබුණු හෙයින්, කෙළිසෙල්ලමෙහි යෙදී සිටි කොලුගැටවුන්ට උක්සකුරු දී ඒවා අස් කරගැනීමට සමත් විය. පිටත අස්පස් කළ දැව උද්‍යානයෙන් පිටත තැබූ පසු කුඹල්කරුවා ඒවා මිලදී ගත්තේ, වළං පන්සියයක්ද ඔහුට පිරිනමන ගමන්ය. මේ චුල්ලන්තේවාසික තෙම සිය වස්තුව කහවණු 24 දක්වා වැඩි කරගෙන පැන්සලක් සාදවා තණ කැපීමට යන මනුෂ්‍යයන්ට ඒ පැන් දුන්නේය. මේ සත්කරුණාවට අවශ්‍ය උපකාරයක් අවශ්‍යදැයි ඔවුන් විමසන විට ඔහු කියා සිටියේ අවැසි විටෙක පවසන බවය.

නොබෝ දිනකින් අශ්වයන් පන්සියයක් සමඟ වෙළෙන්දකු එන වග ඔහුට දැන ගන්නට ලැබිණි. ඔහු තණ කපන්නන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ තණ මිටි පන්සියයක් තමන්ට ලබා දෙන ලෙස හා තමා ඒ තණ මිටි විකුණන තෙක් ඔවුන්ගේ තණ නොවිකුණන ලෙසය‍. තණ කපන්නෝද ඊට එකඟ වූහ. අශ්ව වෙළෙන්දා නගරය පුරා ඇවිද, තණ නොලබා මේ චුල්ලන්තේවාසික වෙත අවුත් රන් කහවණු දහසක් දී, තණ ගෙන ගියේය.

ගෙවුණු දිනක් පාසා ඔහු සිය සම්බන්ධතා ජාලයද වැඩිදියුණු කර ගත්තේය. එනම්, වෙළෙඳ ප්‍රජාව සමඟද සෙසු ප්‍රජාව සමඟද ඔහු සිය සම්බන්ධතා දියුණු කරගත්තේය‍. එසේ කොට වෙළෙඳ නැවක් ආ අවස්ථාවේ ඒ වෙළෙඳ නැවටම අත්තිකාරම් දී, සෙසු වෙළෙඳුන්ට තමන් හරහා භාණ්ඩ විකිණීමට කටයුතු කළේය. මේ සඳහා ඔහු සිය සම්බන්ධතා ජාලය උපයෝගී කර ගත්තේය‍. මෙතැනදී ඔහු සිය අන්තර් සබඳතා කුසලතාව මනාවට වැඩි දියුණු කර ගත්තේය. සිඟන්නකුව සිටි ඔහුට ලෝකය දිනන්නට මාවත සැකසුණේ, සිය කුසලතා දියුණු කර ගත් බැවිනි. වෙළෙඳ නැවෙන් ලක්ෂ දෙකක කහවණු සොයා ගත් ඔහු, කෘතගුණ සැලකීම වස් චුල්ල සිටාණෝ සමීපයට ගිය කල්හි, පිටත යෑමට ඔහුට ඉඩ දිය නොදිය යුතු යැයි සිතා සිය දියණියද ඔහුටම විවාහ කරදුන්නේය. කාලයාගේ ඇවෑමෙන් සිටු තනතුරද චුල්ලන්තේවාසික තෙමට හිමි විය.

මේ අනුව බලන කල, බයිබලයේ රන් කාසි උපමාව හෝ ජාතක කතා පොතේ චුල්ල සෙට්ඨි ජාතකය හෝ කියවා, අසා තිබීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත‍. ඒවා ජීවිතයට ප්‍රායෝගික විය යුතුය. ඒ ප්‍රායෝගිකත්වය ජීවිතය සාර්ථක කරනු ඇත.

සුමේධා නවරත්න

නව අදහස දක්වන්න