වැවත් හැදෙයි ගමත් හැදෙයි! | දිනමිණ

වැවත් හැදෙයි ගමත් හැදෙයි!

වැව් පන්දහසක් කඩිනමින් පිළිසකර කරන්නැ’යි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී පුරාණ වාරි තාක්ෂණය සේම නූතන විද්‍යාත්මක ක්‍රමවේදය ද භාවිත කරමින් මේ කටයුත්ත ඉටු කරන්නැයි ද ජනාධිපතිවරයා තවදුරටත් කියා තිබේ. වියළි කලාපයේ විවිධ ප්‍රදේශවලින් වැව් පිළිබඳ චෝදනා හා යෝජනා ලැබෙන්නේ සැලකිය යුතු කාලයක සිටය. වියළි කලාපය හැඳින්වූයේ වැව් බැඳි රාජ්‍යය ලෙසය. අද එය හඳුන්වන්නට සිදු වී ඇත්තේ වැව් සිඳුණු රාජ්‍යය හැටියටය. පුරාණ වැව්වලින් වැඩිහරියක් කැඩී-බිඳී ඇත. සමහර වැව් රොන්-මඩින් පිරී ඇත. මේ අනුව අවශ්‍ය ජල ධාරිතාව වැවෙහි රැඳෙන්නේ නැත.

වියළි කලාපයේ ජන ජීවිතය ගොඩනැඟී ඇත්තේ වැව කේන්ද්‍ර කොටගෙනය. කෘෂිකර්මයට අවශ්‍ය ජලය පමණක් නොව; එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය ජලය සපයා දෙන්නේ ද වැවය. ඒ හැරෙන්නට වැව මූලික කොටගත් ජීවනෝපාය රැසක් ද පවතී. සාකල්‍යයෙන් ගත් කල වැව යනු වියළි කලාපීය වැසියාගේ හදවත වන්නේ ය. අතීත රජවරුන්ගේ ප්‍රමුඛ කාර්යයක් වූයේ වැව් හා වාරිමාර්ග තනා රට ස්වයංපෝෂිත කිරීමය. රජු අලුතින් වැව් ගොඩනැඟූ අතර, පවතින වැව් කලින්-කලට පිළිසකර කළේය. වැවකට ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. එසේ නොවුණ හොත් වැව සක්‍රිය වන්නේ නැත. වැව් සක්‍රිය නොවුණ හොත් රටට බත සැපයීම අඩාළ වන්නේය.

මෙතෙක් ඉතිහාසය තුළ වැව් පිළිසකර කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වී ඇත. ආසන්න වැව් පිළිසකර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වූයේ ජනතා විමුක්ති පෙරමුණෙහි මැදිහත් වීම මතය. ඊට විශාල ප්‍රචාරණයක් ලැබුණේ වුව ඉලක්ක සපිරුණේ නැත. එයින් සිදු වූයේ වැව්වල තිබූ වතුර ටිකත් සිඳී යෑම බව පෙනී යයි. බැකෝ යන්ත්‍ර යොදා වැ‍ව් පතුල හෑරීමෙන් පමණක් වැව යථා තත්ත්වයට පත් වන්නේ නැත. පුරාණ වැව් නිර්මාණය වී ඇත්තේ ඊටම ආවේණික ක්‍රමවේදයක් ඔස්සේය. පළමුව එය හඳුනාගත යුතුය. වැවේ තාක්ෂණය හඳුනන්නේ ඉන් ප්‍රයෝජන ලබන ප්‍රදේශවාසීන් යැයි කිව හැකිය. ඔවුනට ඇහුම්කන් නොදී වැව් පිළිසකර කිරීම අනුචිත ක්‍රියාවකි.

මහියංගණයේ සොරබොර වැව නිර්මාණය වී ඇත්තේ සුවිශේෂ තාක්ෂණයකට අනුවය. ඊට පාදක කරගෙන ඇති තාක්ෂණය ස්වාභාවික පිහිටීමට අනුගත එකකි. එහි වාන් දොරටු නිර්මාණය කර ඇත්තේ ද ස්වාභාවික පිහිටීම් මූලික කරගෙනය. මේ තත්ත්වය නොදැන වැව හාරන්නට ගිය හොත් වැව මුළුමනින්ම විනාශ වෙයි. රොන්මඩ යම් ප්‍රමාණයක් වැව් පතුලේ තිබිය යුතුය. පතුල සූරා දැමීමෙන් සිදු වන්නේ ජලය භූ-ගර්භයට උරා ගැනීමය. වැවේ පතුල සකස් කරන විශේෂ ක්‍රමවේදයක් පුරාණ වැව් තාක්ෂණයට අයත්ය. එය නිරීක්ෂණය කරමින් වැව් පිළිසකර කිරීම ආරම්භ කළ යුතුය. ජනාධිපතිවරයා පුරාණ වැව් තාක්ෂණය ගැන සඳහන් කරන්නේ තත්ත්වය හොඳින් වටහා ගෙනය.

වැව් පිළිසකර කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් සේ හැඳින්විය හැකිය. වැව් බැම්ම, රක්ෂිතය, රළපනාව, බිසෝ කොටුව පමණක් නොව; වැවෙන් පිටතට ජලය ගෙන යන වාරිමාර්ග ගැනත් සොයා බැලිය යුතුය. බොහෝ ඇළ මාර්ග අබලන් වී ජලය අපතේ යයි. ඇතැම් ඇළ මාර්ග අතරමඟ නැවතී ඇත. ඒ සියල්ල පිළිසකර කළ යුතුව තිබේ. වැවට ජලය සපයන මාර්ග කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. වැසි ජලයෙන් පමණක් පෝෂණය වන වැව් ඇත්තේ ස්වල්පයකි. ඇතැම් වැවකට ජලය සැපයෙන්නේ ගංගා ආශ්‍රිතව ඉදි කළ වේලිවලින්ය. එම වේලි හා අමුණු කැඩී-බිඳී ඇත් නම් ජල සැපයුම අඩාළ වෙයි. එල්ලංගා පද්ධති මඟින් වැවකින් වැවක් පෝෂණය කරන ක්‍රමවේදයක් ද තිබේ. අද ඒවා සක්‍රිය නැත.

වැවක් පිළිසකර කොට යථා තත්ත්වයට ගැනීම වැදගත් වන්නා සේම වැව් පද්ධතිය ආරක්ෂා කිරීම ද අතිශ‍යින්ම වැදගත්ය. අතීත රට වැසියා වැව් ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් බැඳී සිටියේය. එහෙත් අද තත්ත්වය වෙනස්ය. දැව ජාවාරම්කරුවෝ වැව් රක්ෂිතයේ ගස් කොළන් විනාශ කරති. වැලි ජාවාරම්කරුවෝ පතුල හාරා වැලි සූරා ගනිති. වැව්වල නිධන් හාරන අය ද සිටිති. අතීත සමාජය වැවට ගෞරව කළත් නූතන සමාජය වැවට ගෞරව කරන්නේ නැත. වැව් ආශ්‍රයෙහි පිහිටුවා ඇති හෝටල්වල කුණු කසළ වැවට හලන අවස්ථා ද අපි දැක ඇත්තෙමු. ඇතැම් නගරයකට පානීය ජලය සපයන්නේ ද වැව බව බොහෝ දෙනකුට අමතකය.

වැව් පන්දහසක් කඩිනමින් පිළිසකර කිරීම යනු ජාතික කෘෂිකර්මයේ විශාල ප්‍රබෝධයක් ඇති වන අවස්ථාවකි. ඉදිරියට එන මහ කන්නයට පෙර අදාළ කටයුත්ත නිම කිරීම රජයේ ඉලක්කය වී තිබේ. මෙය සාර්ථක වුව හොත් අලුතින් කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් අස්වැද්දිය හැකිය. ආර්ථික පුනර්ජීවනය පිළිබඳ කාර්ය සාධක බළකාය පෙන්වා දෙන අන්දමට වැව් පිළිසකර කිරීමට සමගාමීව නව කෘෂිකාර්මික වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙයි. ඉන් එක් වැඩසටහනක් වන්නේ ‘තරුණ ගොවි සෞභාග්‍යා කාබනික ගොවිපොළ ව්‍යාපෘතිය’යි. මේ මඟින් කාබනික පොහොර වගාව දියුණු කරන අතර, ඊට අක්කර පන්දහසක භූමියක් ද වෙන් කර ඇත.

මේ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ඉඩම් දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්ෂණ කිහිපයක් ද පාදක කරගෙනය. එම සමීක්ෂණවලින් වැදගත් විද්‍යාත්මක තොරතුරු හෙළිදරවු වී ඇත. ජනාධිපතිවරයාගේ උපදේශනය වන්නේ මේ සඳහා ගොවි සංවිධාන ද සහභාගි කරවා ගත යුතු බවය. එය වැදගත් උපදේශනයකි. අප මුලින් සඳහන් කළ පරිදි වැව් ගැන දේශපාලකයන්ට වැඩි දැනුමක් ගැමියන්ට තිබේ.

නව අදහස දක්වන්න