පුංචි කාර් නිවෙස නිසා වංචාවට තිත වැටුණා | දිනමිණ

පුංචි කාර් නිවෙස නිසා වංචාවට තිත වැටුණා

 

ව්‍යවසායකයකු වීමට කරුණු රාශියක් වුවමනා වෙයි. ඒ අතරින් මූලික වෙන්නේ ප්‍රාග්ධනයයි. එසේ මූලික ධනයක් හෝ වාහන අංගණයක් පවත්වා ගැනීමට නිශ්චිත භූමියක් යන කරුණු දෙකම නොමැතිව එහෙත් නිර්මාණශීලී අදහසක් ක්‍රියාවට නැංවීමෙන් පමණක් ගොඩනැඟුණ ව්‍යාපාරයකි. මාලඹේ පුංචි කාර් නිවස. සම්ප්‍රදායට අභියෝග කරමින් වාහන අලෙවි කිරීම පිළිබඳ නව මානයක් ගොඩනැඟීමට සමත් වූ මේ ව්‍යාපාරයේ නිර්මාතෘ මෙන්ම වත්මන් සභාපති වන්නේ සරත් යාපා බණ්ඩාර මහතායි. වාහන මිලදී ගැනීමට ‍ෙමන්ම අලෙවි කර ගැනීමටත් බොහෝ දෙනකුගේ විශ්වාසය දිනා ගැනීමට සමත් සරත් යාපා බණ්ඩාර මහතා සමඟ මේ ක්ෂේත්‍රයට ඔහු විසින් හඳුන්වා දුන් නව මුහුණුවර පිළිබඳ සංවාදයේ නිරත වීමු. 

මාලඹේ පුංචි කාර් නි‍ෙවස අනෙකුත් වාහන සේල් ආයතන අතරින් වෙනස් වෙන්නේ කුමක් නිසාද?

මෙතන වාහනය මිලදී ගන්නා ගැනුම්කරු මෙන්ම වාහනය හිමිකරු අතරයි ගනුදෙනුව සිදුවන්නේ. අපගේ මැදිහත්වීමෙන් අලෙවි කරන නිසා අප ලබාගන්නේ වාහනයේ වටිනාකමට අනුව නිශ්චිත මුදලක් පමණයි. එය සාමාන්‍යයෙන් සකස්වී තිබෙන්නේ ලක්ෂ 15ට අඩු මෝටර් කාර් සඳහා අපගේ අය කිරීම රුපියල් 15,000, එම වටිනාකමින් යුතු වෑන්, ජීප්, ට්‍රක්, කැබ් රථ සඳහා අය කිරීම රුපියල් 20,000ක මුදලක් අය කිරීම සිදු කරනවා. ලක්ෂ 15-20 අතර ගනුදෙනුවකදී අපගේ අය කිරීම 20,000ක් වෙනවා. රුපියල් ලක්ෂ 50-75 අතර නම් අය කිරීම 25,000ක් වෙනවා. ලක්ෂ 75-100 අතර නම් අය කිරීමත් 50,000ක් බවට පත් වෙනවා. ලක්ෂ 100ට වැඩි වාහන සඳහා අය කිරීම 1,000,000 වෙනවා. මේ අය කිරීම් සිදුවෙන්නේ වාහනයේ වටිනාකම වෙනුවෙන් අප වගකීමට බැඳී සිටින නිසායි. නමුත් අපගේ අංගණය වෙතින් වාහනයක් අලෙවි කර දීමේදී එම වාහනයේ තත්ත්වය පිළිබඳ මනා පරීක්ෂා කිරීමකින් අනතුරුවයි අපි අලෙවි කිරීම සඳහා වාහන භාර ගන්නේ. මෙසේ වාහන පරීක්ෂා කිරීම සඳහා මැනවින් පුහුණු කරන ලද සේවකයන් අප සමීපයේ කටයුතු කරනවා. වාහන මුලින් අනතුරට ලක්වී තිබෙනවාද? වාහනය අනතුරක් සිදුවීම නිසා හෝ කොටස් වශයෙන් ගෙන්වීමෙන් බද්ධ කරන ලද එකක්ද? එසේත් නොමැති නම් වාහනය දිරීමට ලක්වී තිබෙනවාද? ආදී වශයෙන් වාහනය ඔසවා පරීක්ෂා කර පාරිභෝගිකයකුට අවදානමක් දැරීමෙන් තොරව මිලදී ගැනීමට හැකියාවක් පවතින වාහන පමණයි අපි අලෙවි කරන්නේ. ඒ අනුව වාහනයක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වෙන ගැනුම්කරුවන්ට වාහනය පිළිබඳ එහි තත්ත්වය පිළිබඳ විශ්වාසවන්ත සහතිකයක් ලබාදිය හැකි වාහන පමණයි අපි අලෙවි කරන්නේ. ඒ නිසාම වාහනයේ තත්ත්වය පිළිබඳ වගවීමට අපිට හැකියාවක් තිබෙනවා.

මේ හේතුවෙන් මෙරට වාහන සේල් සංස්කෘතියට යම් බලපෑමක් ඇති වී තිබෙන බව ඔබ විශ්වාස කරනවා ද?

ඇත්ත වශයෙන්ම මම අභියෝග කළේ එම සංස්කෘතියට සාමාන්‍යයෙන් සිදු වුණේ වාහන හිමිකරු සේල් එකට වාහනය ගෙන ආපසු සේල් හිමිකරු හැකි උපරිම ලාභයක් තබාගෙන විකිණීමයි. වාහනයේ වටිනාකම අනුව එසේ තබා ගන්නා ලාභ මුදල පනස් දහසේ සිට ලක්ෂ දෙක තුන දක්වා ඉහළ යන අවස්ථා තිබෙනවා. එසේ ලාභ ලබාගැනීම සඳහා වාහනයේ ඇති දෝෂ සැඟවීමයි සම්ප්‍රදාය වී පැවතියේ. ඊට අමතරව පොත් පත් ලියකියවිලි ඇතැම් විට ව්‍යාජව සකස් කරන ලද ඒවා. මෙසේ ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහාම පළපුරුදු පිරිස් මේ ක්ෂේත්‍රයේ කටයුතු කිරීම කාලයක් පුරා පැවතුණා. නමුත් එවැනි තත්ත්වයන් බොහෝදුරට වෙනස් කිරීමට අප විසින් වාහන අලෙවිය සඳහා සකස් කළ රාමුව ඉවහල්වී තිබෙනවා.

මේ ව්‍යාපාරය සඳහා පසුබිම හැදු‍ෙණ් කොහොම ද?

මම වසර 15කට වැඩි කාලයක් කටයුතු කළේ මාධ්‍යවේදියකු ලෙසයි. මගේ ආරම්භය මහනුවර කඳුරට සේවය. පසුව ගුවන්විදුලි සංස්ථාවේ නිවේදකයකු වගේම වැඩසටහන් නිෂ්පාදකයකු විදිහටත් කටයුතු කළා. ළමයි වෙනුවෙන් මම පොත්පත් පනහකට ආසන්න ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. නිර්මාණාත්මක කටයුතු වගේම කලා කටයුතු ජීවිතේ කොටසක්ව පැවතියත් යම් ව්‍යාපාරයක් කළ යුතුයි මම නිරන්තරයෙන්ම සිතුවා. මගේ ව්‍යාපාර සඳහා පවුල් පසුබිමක් හෝ කිසිදු මූලික දැනුමක් නොපැවතියත් මට තිබුණේ වුවමනාව පමණයි. මම මුලින්ම මේ ව්‍යාපාරය අත්හදාබැලීමක් ලෙසයි කළේ. වාහන මිලදී ගැනීමේදී වගේම අලෙවි කිරීමේදී පවතින සම්ප්‍රදායන් කිහිපයක් තිබෙනවා. එකක් තමයි වාහනේ අංකයේ අංක එකතුව 13නම් බොහෝ දෙනෙක් ඒ හේතුව නිසාම මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරනවා. එවැනි වාහනයක මිල අඩු කර ගැනීමට එම අංකය මූලික කරුණක් බවට පත් කරගෙන තිබෙනවා. මම මුලින්ම භාර ගත්තේ එවැනි වාහනයක් අලෙවි කර දීමටයි. ඒ වාහනේට පස්සේ වාහන කිහිපයක්ම මම කිසිදු මුදලක් ලබා නොගෙනම හිතවත්කමට අලෙවි කර දුන්නා. ඉන් අනතුරුව මේ සඳහා ඉල්ලීම් ඇති වුණා. ඒ අනුවයි මාලඹේ ප්‍රදේශයේ ඉඩමක් කුලියට ගෙන මටම ආවේණික රීති පද්ධතියකට අනුගත වෙමින් වාහන අලෙවිය ආරම්භ කළේ.

වාහනයක් සේල් ස්ථානයකට භාර දෙන විට විකුණුම්කරුට ඇති චකිතය මින් කොතරම් ලාභයක් සේල්කරු අත් කරගනීද යන්නයි. මිලදී ගන්නා පුද්ගලයාට ඇති චකිතය මේ සඳහා කොපමණ අතිරේක මුදලක් සේල් ස්ථානයෙන් ලාභයක් ලෙස හිමි කරගන්නට ඇතැයිද? යන්නයි. ඔබ ඒ තත්ත්වය බැහැර කර තිබෙනවා. ?

මේ ව්‍යාපාරය තුළ වංචාව සහ බොරුව, මුළාව මූලිකව පැවතියා. මට වුවමනා වුණේ විනිවිදභාවයක් ඇති කරමින් වෙනස් ආකාරයේ ව්‍යාපාරයක් ඇති කිරීමටයි. ඒ අනුව වාහන තුනකින් පමණ ආරම්භ කළ මගේ ව්‍යාපාරික ස්ථානය වෙත ලබා දෙන වාහන ප්‍රමාණය දිනෙන් දින වැඩි වුණා. ඒ වගේම වාහන මිලදී ගැනීම සඳහා මාවෙත පැමිණෙන පිරිසත් වැඩි වුණා. ඒ නිසාම මට මාලඹේ ප්‍රදේශයේ ස්ථාන 6කට පමණ ව්‍යාපාරික ස්ථානය වඩාත් ඉඩකඩ ඇති ස්ථාන සොයමින් මාරු කිරීමට සිදුවුණා. එලෙස ව්‍යාපාරය වර්ධනයවීම සඳහා බලපෑ මූලික හේතුව අප විසින් ඇති කර ගත් විශ්වාසයයි. ඒ සඳහා අප දිනෙන් දින දැනුමින් සන්නද්ධ වුණා. තාක්ෂණයෙන් සන්නද්ධ වුණා. වාහනයක දෝෂ හඳුනා ගැනීම සඳහාම ශිල්පීන් කහිපදෙනකුගේ සේවය ලබා ගැනීමට කටයුතු කළා. මේ සඳහාම විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුවයි ඔවුන් බඳවා ගැනීම සිදු වෙන්නේ. මීට අමතරව වාහන අලෙවි කිරීමේදී හිමිකරු වෙනුවට අප පෙනී සිටියත් දුරකතනය මඟින් ගනුදෙනුව කතා කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. මේ සඳහා සම්බන්ධ වන අපගේ නිලධාරියා මැදිහත්කරුවකුට වඩා සම්බන්ධීකරණයක් පමණයි සිදුකරන්නේ. ස්පීකර් ෆෝන් මඟින් සිදුකරන කතා බහ දෙදෙනාටම ඇසෙන පරිදි සිදු කෙරෙනවා. ඒ අනුව විකිණිය හැකි මිල, යම් මුදලක් අඩු කළ හැකිද ආදී කාරණා කතා කිරීම සිදුවෙන්නේ හිමිකරු හා ගැනුම්කරු අතරයි. විකිණීමෙන් අනතුරුව මුලින් කී මුදල අප වෙත ලබා දෙන්නේ වාහනය හිමි අප වෙත විකිණීම සඳහා භාර දුන් පාර්ශ්වයයි. මේ නිසා වාහන අලෙවියේදී දෙපාර්ශ්වයකින් 3%ක මුදලක් අය කිරීම වැනි සම්ප්‍රදායික බ්‍රෝකර් ක්‍රම වෙනස් කිරීමටත් හැකි වුණා.

මාලඹේ නගරයේ හැඩය ඔබගේ ව්‍යාපාරය නිසා වෙනස් වූ බවට අදහසක් පවතිනවා.?

මා මුලින් කී පරිදි මාලඹේ ප්‍රධාන පාර සමීපයේ ස්ථාන 06ක පමණ අපි වාහන අංගණය පවත්වාගෙන ගියා. ඒ සෑම ස්ථානයක් ඉදිරියේම තිබුණේ ලී මෝලක්. මාලඹේ නගරයේ ප්‍රධාන වශයෙන් තිබුණේ ලී ව්‍යාපාරය. නමුත් ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. දැන් මෙරට ප්‍රමුඛ පෙළේ වාහන අලෙවි ව්‍යපාරිකයෝ පවා මාලඹේ වෙත පැමිණ තිබෙනවා.

මේ දිනවල වාහන වෙළෙඳපොළෙහි තත්ත්වය කෙබඳු ද?

වාහන අලෙවි ඉතිහාසයේ සුවිශේෂී කාලවකවානුවක් ලෙසයි මම මේ වකවානුව හඳුන්වන්නේ දකින්නේ. මගේ අත්දැකීමට අනුව මේ වෙළෙඳපොළේ හැමදාමත් තීරකයා වුණේ ගැනුම්කරු. එයට හේතුව විකිණීම සඳහා වුවමනා තරම් වාහන තිබුණත් ගැනුම්කරුවන් සීමිතවීමයි. දැන් දැන් තීරකයා විකුණුම්කරු බවට පත්වී තිබෙනවා. ගැනුම්කරුවන් සිටියත් වාහන විකිණීම සඳහා බොහෝ දෙනෙක් ඉදිරිපත්වීම අඩුවී තිබෙනවා. එසේම වාහන මිල යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවක් දක්නට ලැබෙනවා. රට තුළ පවතින වාහන ප්‍රමාණය වැඩි බව අප පවා බොහෝ අවස්ථාවල පෙන්වා දීම් සිදුකළා. වාහන ගෙන්වීම සීමා කිරීමට ගෙන ඇති තීරණය නිසාම අලුත්ම වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන අය දැනට තමා සතු වාහන වෙළෙඳපොළ වෙත ලබා නොදෙන බවයි අත්දැකීමෙන් වැටහෙන්නේ. මේ නිසයි ගැනුම්කරුවන් සිටියත් වාහන මිලදී ගැනීම සඳහා පිරිස් පැමිණියත් විකිණීම සඳහා අප වෙත ලබාදෙන වාහන ප්‍රමාණයේ අඩුවීමට බලපා තිබෙන්නේ.

කොරෝනා සමයේ වාහන අලෙවිය සම්බන්ධ අත්දැකීම් මොන වගේද ?

ඇඳිරි නීති සමයේ වාහන අලෙවිය සඳහා කටයුතු සිදු නොවූවත් ඉන් අනතුරුව වාහන මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වෙන පිරිස ඉහළ ගොස් තිබුණා. බොහෝ අය ලිසිං ක්‍රමයට වාහන ගැනීමට වඩා අත්පිට මුදලට වාහන මිලදී ගත් බවටත් තොරතුරු තිබෙනවා. මූල්‍ය වෙළෙඳපොළෙහි පොලී අනුපාත අඩුවීම මීට බලපා ඇති බවට ඇතැම් අය අදහස් පළ කරනවා. කෙසේ වෙතත් ලීසිං පොලියත් අඩුවී ඇති අවස්ථාවක අත්පිට මුදලට වාහන මිලදී ගැනීම් ඉහළ යෑමත් විශේෂ කරුණක්.

ඔබගේ ව්‍යාපාරයේ නව මානයන් හඳුනාගෙන තිබෙනවා ද?

අප වෙත විකිණීමට භාරදෙන වාහන ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් මාලඹේ පුංචිකාර් උද්‍යානය නම් ස්ථානය අපගේ ප්‍රධාන කාර්යාලය ස්ථාපිත කිරීම සිදු කළා. දැන් මේ ස්ථානයේ ලීසිං පහසුකම් සපයන ආයතන කිහිපයක් මෙන්ම අප වෙත පැමිණෙන පාරිභෝගිකයන්ගේ පහසුව තකා අපනශාලාවක් විධිමත් ලෙස ස්ථාපිතවී තිබෙනවා. මගේ අදහස වාහන පරීක්ෂා කිරීමේ කටයුතු තුන්වැනි පාර්ශ්වයකට පැවරීමටයි. එවිට තවදුරටත් විශ්වාසය තහවුරු කළ හැකියි සිතනවා.

සටහන - බුද්ධිකා බ්‍රාහ්මණගේ 
ඡායාරූප - රුක්මාල් ගමගේ

නව අදහස දක්වන්න