ඇඟ බද්ද නොගෙවා කුළුගෙඩිය අතට ගත් ගුණසිංහ | දිනමිණ

ඇඟ බද්ද නොගෙවා කුළුගෙඩිය අතට ගත් ගුණසිංහ

කොළොම්තොට ගුණසිංහපුර මංසන්ධියේ කලිසම් කෝට් ඇඳ, අතින් ගත් කුළුගෙඩියකින් කළුගල් කඩන මිනිසාගේ පිළිරුව, ඔබත් මාත් අනේක වාරයක් පසුකර යන්නට ඇති. ඇත්තෙන්ම කාගේද ඒ පිළිරුව? ඒ වෙන කිසිවකුත් නොව සිය පැලැන්තියේ මානය පසෙකලා වැඩ කරන ජනතාව වෙනුවෙන් මහ මඟට බට සැබෑ කම්කරු නායකයා ය. අධිරාජ්‍යවාදීන් සමඟ සටන්කොට මෙරට කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කළ කම්කරු නායකයා ඔහු ය.

කම්කරු සටන ඇරඹියේ අමෙරිකාවේ චිකාගෝ නුවරිනි. මැයි මස පළමු වනදා අන්තර්ජාතික කම්කරු දිනය වශයෙන් පිළිගැනේ. කම්කරු ජනතාව වැගුරු දහදියට කඳුළට වටිනාකමක් දුන් කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ උපත සිදු වූයේ ද අන්තර්ජාතික කම්කරු දිනය සමරන මැයි මස පළමු වනදා වීම ද විශේෂත්වයකි.

සුප්‍රසිද්ධ වතු පාලකයකු වූ ‘ජෝර්ජ් එඩ්වඩ් ඒකනායක ගුණසිංහයන්ගේ තෙවැනි පුත්‍රයා ලෙස 1891 වසරේ මැයි 01 වැනි දා මෙලොව එළිය දුටු ඇලෙක්සැන්ඩර් ඒකනායක නැතහොත් කවුරුත් දන්නා අන්දමින් කිවහොත් ඒ.ඊ. ගුණසිංහයන් මූලික අධ්‍යාපනය ලැබු‍වේ මහනුවර ධර්මරාජයෙනි. කුඩා කල පටන් සුවිශේෂී චරිත ලක්ෂණ විදහා පෑ හෙතෙම පාසලේ ගුරු සිසු දෙපිරිසගේ ම නොමඳ ප්‍රසාදයට ලක් වී ඇත්තේ රටට ණය නැති අනාගත නායකයකුගේ චරිත ලක්ෂණ පිළිබඳ ඉඟි පළ කරමින් ය. පාසලේ දී ඔහුට නිලතලවලින් ද වගකීම් සහ පැසසුම්වලින් ද අඩුවක් නොවූ අතර සෙසු සිසුන් අතර දීප්තියෙන් බබලන්නට විය. සහෝදර ශිෂ්‍යයින් දුසිරිතෙන් ගලවා ගැනීම වෙනුවෙන් ඔහු තුළ වූ වුවමනාව සුළුපටු වූවක් නොවේ. වරෙක ඔහු අමද්‍යප සමිතියක්‌ පිහිටුවා එහි නායකත්වය ගෙන ක්‍රියා කළේය. පාසලේ සාහිත්‍ය සංගමයේ උප ලේකම් ධුරයත් පාසල් පුවත් පතේ උප කර්තෘ ධුරයත් ඔහු විසින් හොබවා ඇත. එංගලන්තයට ගොස් තව දුරටත් ඉගෙනීමට අවස්ථාව තිබියදී ද තරුණ ගුණසිංහ මෙරට පීඩිත පන්තිය වෙනුවෙන් පෙනීසිටිමින් කම්කරු ව්‍යාපාරය පෙරට ගෙනයෑමට ක්‍රියා කළේය.

අවිහිංසා මාර්ගයට පිළිපන් ඒ.ඊ.ගුණසිංහ අනගාරික ධර්මපාලතුමා, මහත්මා ගාන්ධි වැනි අවිහිංසාවාදීන් සිය ජීවිතයේ පරමාදර්ශයන් බවට පත් කොට ගත්තේ ය. පොදුජන යහපත වෙනුවෙන් ඇපකැප වීම සිය ජීවිතයේ ඒකායන අරමුණ බවට පත්කොට ගත්තේ ය.

1910 දී දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වශයෙන් සේවයට බැඳුණු එතුමා ඉන් අනතුරුව පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කරන්නට විය. හැමවිටම එතුමාගේ සිත ඇදී ගියේ සමාජ සේවයට ය. 1911 දෙහිවල තරුණ සංගමය ආරම්භකොට තරුණයන් තුළ ජාත්‍යාලය ඇති කරනු වස් අතිමහත් පරිශ්‍රමයක් දැරීය. 1913 ජල ගැල්මෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට ද අඳගොලු බිහිරි පුද්ගලයන් වෙනුවෙන් මුදල් එකතු කරදීමට ද එතුමා මූලිකත්වය ගත්තේ ය.

"සර්ච්ලයිට්‌" නම් ඉංග්‍රීසි පත්‍රය එතුමා විසින් ආරම්භ කළේ ද එතුළින් තරුණ සිත්වලට ජාතික හැඟීම් කාවද්දමින් ජාතිය පුබුදුවාලීමේ අටියෙනි. එතුමා ඇරඹූ"වීරයා" පත්‍රය සතයකට මිල කළේ දුප්පත් කම්කරුවන්ගේ කියවීමේ රුචිකත්වය වඩාලීම පිණිස ය. 1913 ලංකා සේවක සමිතිය පිහිටුවා ඒ ඔස්සේ රට, ජාතිය, ආගම රැකීමට ඉටු කළ සේවය අතිමහත් ය. ප්‍රථම වතාවට මෙරට තුළ ඉංග්‍රීසි ඉගැන්වීමේ රාත්‍රි පාඨශාලාවක්‌ ඇරඹියේ ද ගුණසිංහයන් ම ය. දුගීදුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙනු පිණිස කොම්පඤ්ඤවීදියේ ඇන්ඩර්සන් නමින් කොලිජියක් ආරම්භ කළේ ය. අනගාරික ධර්මපාල තුමන් සමඟ නිතර සාකච්ඡාවලට සහභාගී වූ එතුමා අමද්‍යප ව්‍යාපාරයේ ද ක්‍රියාකාරී සාමාජිකයකු විය. 1915 මාර්තු 18 වැනිදා ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුවේ රැකට්‌කෝට්‌ මහජන පුස්තකාලයේ රැස්‌වීමක්‌ පවත්වා "යංග් ලංකා ලීක්‌" සමිතිය ආරම්භ කළ අතර දිවි දෙවැනිකොට රට රැකගැනීමටත් දුන් පොරොන්දුවට එතුමා ලෙයින් අත්සන් තැබීය.

සිංහල - මුස්ලිම් කෝලාහලය මුල්කර ගනිමින් ඉංග්‍රීසින් විසින් ඒ.ඊ. ගුණසිංහයෝ සිරගත කරන ලදි. 1915 ජුනි මාසයේ සිට අගෝස්තු 12 වැනි දා දක්වා දින 52ක කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ සිරබත් කෑමට එතුමාට සිදු වූයේ ඩී.බී. ජයතිලක, ඩී.එස්.සේනානායක, එෆ්.ආර්. සේනානායක, ඩී.එම්.පේද්‍රිස්, නීතිඥ ජොන් ද සිල්වා, මුහන්දිරම් සී.පී. විජේවර්ධන, බත්තරමුල්ලේ සුභූති හිමියන් වැනි තවත් ජාතික නායකයින් සමගිනි.

කම්කරුවන් වෙනුවෙන් මහ මඟට පිළිපන් ඒ.ඊ. ගුණසිංහ නම් ඉංග්‍රීසි උගත් සිංහලයා ලංකා කම්කරු සංගමය ආරම්භ කළේ 1922 සැප්තැම්බර් මස 03 වැනි දා ය. ඒ ඔස්සේ මෙරට කම්කරු ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැටුණු අඩිතාලම ඉතාමත් ශක්තිමත් වූවකි. මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් අවම වැටුප්, වැඩ කරන කාලය, කම්කරු වන්දි, සෞඛ්‍ය රක්ෂණ, විශ්‍රාම වැටුප්, කම්කරු ස්ත්‍රීන්ට ආරක්ෂාව, කම්කරු අධ්‍යාපනය නිවාස සැපයීම වැනි අත්‍යවශ්‍ය කාරණා රැසක් සම්බන්ධයෙන් නායකත්වය ගෙන කටයුතු කළේ ඔවුන්ගේ හෙට දවස යහපත් කරනු පිණිස ය.

ඉංග්‍රීසීන්ගේ සපත්තුවලට යටවෙමින් අන්ත දුක්ඛිත ජීවිත ගෙවූ ස්වජාතිකයන් කෙරෙහි ගුණසිංහයන් තුළ වූ පක්ෂපාතීත්වය මැනවින් ප්‍රකට විය. මෙකල ඉංග්‍රීසීන්ට රුපියල් දෙකක ඇඟ බද්දක්‌ නොගෙවන සෑම වැඩිහිටි පිරිමියකුට ම දෙදිනක් මහ පාරේ ගල් තැළීමට සිදු විය. ගුණසිංහයන් මෙම අසාධාරණ ඇඟබද්දට එරෙහි ව නැගීසිටියේ දුප්පතාගේ හිතවතා බවට පත්වෙමිනි. බදු ගෙවීමට තරම් වත්පොහොසත්කම් තිබියදීත් ගුණසිංහයන් මෙම අසාධාරණ ඇඟබද්ද නොගෙවා ඒ වෙනුවට ගල් තළන්නට මිටිය අතට ගත්තේය. 1918 දී ඇඟ බද්දට විරුද්ධ ව කම්කරුවන් පෙළගැස්සූ ගුණසිංහයන්ට දෙදහසක් පමණ කම්කරුවන් පොරොන්දු දී තිබුණේ ඇඟ බද්ද නොගෙවා පාරේ ගල් කැඩීමට ඔහු සමඟ එන බවට ය. එම පිරිස මරදාන ඩීන්ස් පාරේ වෙළෙඳ පොළ ඉදිරිපිට මාර්ගයේ ගල් කැඩීම සඳහා උදෑසන අටට වාර්තා කිරීමට නියමිත ව තිබුණ ද අවසානයේ කම්කරු නායකයාට ඉලක්කය හඹායෑමට වූයේ තනිව ය. පොරොන්දු දුන් සගයන් නොමැතිව ද ගුණසිංහයන් එදින උදෑසන 8.00 සිට සවස 4.30 වන තුරු ම තනිව ගල් කැඩුවේ අත්ලෙන් රුධිරය වෑහෙද්දී ය. දිවා ආහාරය සඳහා වූ පැය භාගය හැර අනෙක් සෑම මොහොතකදී ම ඔහු ගල් කැඩුවේ ය. අවසානයේ ගුණසිංහයන් ආදර්ශයට ගනිමින්, ගල්තැළීමට ලබාදෙන ආයුධ සැපයීම සුද්දාට ගැටලුවක් වන තරමට ම රුපියල් දෙක නොගෙවා, ගල් තැළීමට මගට බට ජනතාව දිනෙන් දින වැඩි විය. ගිනි ගහන අව්වට පිලිස්සෙමින් ගුණසිංහ සිව් වසරක් ම ගල් තැළුවේ ය. තනි මිනිසකුගේ අධිෂ්ඨානය සහ වීර්යය දැක බියවැදී අධිරාජ්‍යවාදීන්ට අඩියක් පස්සට තබන්නට විය. ඒ අනුව ඉංග්‍රීසින් ඇති කළ ඇඟ බද්ද 1924 දී කොළඹ නගරයෙන් ද 1925 මුළු ලංකාවෙන් ම ද තුරන් කළේය.

1922 සැප්තැම්බර් 03 වැනි දා ලංකා කම්කරු සමිතිය අරඹා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තවදුරටත් සටන් වැදීමට ඒ.ඊ. ගුණසිංහ තීරණය කළේ ය. දුම්රිය සේවකයකුගේ විවාහ උත්සවය සඳහා පාලකයන් නිවාඩු අනුමත නොකොට සිටියදී එවකට දුම්රිය ජෙනරාල් මැනේජර්ව සිටි ඊ.පී. ගී‍රත් සමඟ සාකච්ඡාකොට එම සේවකයාට නිවාඩු ලබාදීම වෙනුවෙන් ඒ.ඊ. ගුණසිංහ බොහෝ සෙයින් උත්සාහ කළේ ය. එහෙත් එම උත්සාහය ව්‍යර්ථ වූ තැන ගුණසිංහයන්, සියලු දුම්රිය සේවකයන් එක්කර වැඩ වර්ජනයක් ආරම්භ කළේ ය. දුරදිග ගිය මෙම වැඩවර්ජනයට රටපුරා කම්කරුවන් එක්වූ අතර අවසානයේ උසාවිය පවා දෙදිනක් වසාතැබීමට සිදු විය. එකී වැඩ වර්ජනය අතිශයින් සාර්ථක එකක් වූ අතර ඒ ඔස්සේ කම්කරු පඩි වැඩි කිරීම්, අඛණ්ඩව සේවය පවත්වාගෙන යාම්, පාරිතෝෂික ගෙවීම්, විශ්‍රාම වැටුප් ගෙවීම්, වෛද්‍යාධාර ගෙවීම්, අනියම් නිවාඩු, මාසික පඩි, අතිකාල දීමනා වැනි සහන රැසක් දිනාගැනීමට කම්කරු ජනතාවට හැකිවිය.

කම්කරුවන් පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් මායිම් නොකළ යුගයක ඔවුන්ගේ සේවයට නිසි වටිනාකම හිමි නොවූ යුගයක මිනිස් ශ්‍රමයේ වටිනාකමට අරුතක් එක්කරමින් වෘත්තියේ ගෞවරය රැකදීමට පෙරමුණ ගත් ගුණසිංහයන් කම්කරුවන්ගේ සැබෑ ම නායකයා ය. 1922-1923 දුම්රිය වැඩ වර්ජනය සාර්ථකවීමත් සමඟ ප්‍රථම වරට කම්කරු සහනදායක කොමිසමක්‌ පත් කිරීම වෙනුවෙන් හඬනැඟූ හෙතෙම වැටුප් වැඩි කිරීම්, ස්‌ථිර නිවාඩු ඇතුළු කම්කරු ජනතාව මේ දක්වා භුක්‌ති විඳින වෘත්තීය අයිතිවාසිකම් සියල්ලම වෙනුවෙන් පෙනීසිටියේ ය. 1926 දී කොළඹදි ‘ට්‍රෑම් කාර් වැඩ වර්ජනය.’ නමින් මෙරට ඉතිහාසයේ ලියැවුණු ප‍්‍රථම මහා වැඩ වර්ජනය දියත් කළේ ද ගුණසිංහයන් විසිනි.

එතෙකින් නොනැවතුණු එතුමා 1928දී ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂය ආරම්භ කළේ ය. එහි සලකුණ වූයේ බයිසිකලය යි. එකල ශ්‍රී ලංකාවේ ඡන්ද බලය හිමි ව තිබුණේ ලිවීමට කියවීමට හැකි සහ රුපියල් පනහකට වඩා වැඩි ආදායමක් ලබන පිරිමින්ට පමණ ය. ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ඒ වන විට ඡන්ද බලය හිමි ව පැවතියේ මුළු ජනගහනයෙන් 4%කට ය. මෙකී තත්ත්වය නොඉවසූ ගුණසිංහයන් ඩොනමෝර් කොමිසමට කරුණු පැහැදිලි කරමින් 1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිකර දීමට ද දරා ඇත්තේ ද මහත් පරිශ්‍රමයකි.

1928දී ගුණසිංහ පොදු රාජ්‍ය මණ්ඩල කම්කරු සම්මේලනයට සහභාගී විය. 1928 කුලීකාර් රියැදුරන්ගේ වැඩ වර්ජනය, 1929 ලේක්හවුස් වැඩවර්ජනය, 1931 ටයිම්ස් ඔෆ් සිලෝන් වැඩ වර්ජනය, 1933 ගෝල්ෆේස් හෝටලයේ වැඩවර්ජනය ඇතුළු එතුමාගේ නායකත්වයෙන් දියත් වූ බොහෝ වැඩවර්ජන අවසන් වූයේ කම්කරු ඉල්ලීම් රැසක් දිනාදෙමිනි.

1933 මැයි පළමු වැනිදා සිට ශ්‍රී ලංකාවේ මැයි දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ ද ඒ.ඊ.ගුණසිංහයන් විසිනි. කොළඹ කොටුව කැනල්රෝ පාරේ පිහිටි ලංකා කම්කරු සමිති කාර්යාලයෙන් ආරම්භ වී කොළඹ මහ නගර සභා පිටියට ගමන් ගත් පෙළපාළිය එහි රැස්වීමක් පැවැත්වීම මෙරට ප්‍රථම කම්කරු දින සැමරුම ලෙසින් ඉතිහාස ගත විය. එකී කම්කරු දින සැමරුමෙහි මුලසුන හෙබවූයේ ද ඒ.ඊ.ගුණසිංහ ය. මෙහිදී එතුමා ලබාදුන් වැදගත් ම ආදර්ශයක් වූයේ පෙළපාළිය ඇරැඹීමට මත්තෙන් සියලු සාමාජිකයන් රැස්කොට මත්පැන් පානය නොකර සිටීමටත්, අසැබි වදන් හෝ සටන් පාඨ කීමෙන් වැළකීමටත් උපදෙස් දීම ය.

සර්වජන ඡන්ද බලය දුප්පතාගේ ආයුධයක්‌ බව හඬ නඟා කියූ ගුණසිංහයන් 1931 පැවැත්වූ මැතිවරණයෙන් කම්කරු ජනතාවගේ ජය ඝෝෂා මධ්‍යයේ ම මැද කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්වූයේ සර්වජන ඡන්ද බලයේ වටිනාකම කියාපාමිනි.

කම්කරු නායකයෙකුව සිට ඒ.ඊ.ගුණසිංහයන් දේශපාලනයට පිළිපන් පසු කම්කරුවන් වෙනුවෙන් තව දුරටත් සේවය කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාදීමේ අවස්ථාව එතුමාට හිමි විය. 1931 දී පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට කම්කරු පක්ෂයෙන් තේරී පත් වූ එතුමා 1936 දී දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවටත්, 1947 දී ප්‍රථම පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත් තේරී පත් විය.

1943 දී කොළඹ ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපතිවරයා වශයෙන් ඉතිහාසයට එක්‌ වූ ගුණසිංහයන් 1947 ඩී.එස්.සේනානායක රජයේ කම්කරු හා සමාජ සේවා අමාත්‍ය ධූරය හෙබ වූ අතර කම්කරු හා සමාජ සේවා අමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු ලේකම් තනතුරත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයත් හොබවා තිබේ. 1948 මැයි 17 වැනි දින කාර්යය නියමයක් නැති අමාත්‍ය ධුරයක් ද 1950 ජූලි 26 රාජ්‍ය අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයත් ලබාගත් එතුමා බුරුමය, ඉන්දුනීසියාව යන රටවල තානාපතිවරයා ලෙස ද කටයුතු කොට ඇත.

ගුණසිංහ මහතා 1948දී බ්‍රිතාන්‍යයේ පැවති අන්තර්ජාතික පාර්ලිමේන්තු සම්මේලනයේ ලංකා නියෝජිත පිරිසේ නායකත්වය ද දැරුවේ ය. මෙරට කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් ඇපකැප වෙමින් කටයුතු කළ එතුමා සහභාගී වූ අන්තර්ජාතික සමුළුවලදී ද කම්කරු ජනතාව නියෝජනය කළේ ය. ඔවුන්ගේ ඉල්ලීම් හා අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් හඬනැඟීය.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න