‘මඟ නැඟුම’ සතු යන්ත්‍ර නඩත්තු කර උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි | දිනමිණ

‘මඟ නැඟුම’ සතු යන්ත්‍ර නඩත්තු කර උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි

රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

‘මඟ නැඟුම’ ආයතනය සතු පෑලියගොඩ ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම සතු යන්ත්‍රෝපකරණ නිසි පරිදි නඩත්තු කර උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පෑලියගොඩ මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ ඊයේ (11) නිරීක්ෂණය චාරිකාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

‘මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මාර්ග ඉදිකිරීමට විශාල වගකීමක් පැවරී ඇති මඟ නැඟුම ආයතනය, සිය ඉලක්කය සපුරා ගැනීමට නම් නව ප්‍රතිසංවිධානයකින් යුතුව ක්‍රියාත්මක විය යුතුයි. මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරි පස්වසරක කාලය ඇතුළත අවසන් කළ යුතුයි. මඟ නැඟුම ආයතනය සියලු දෙනා එක්ව රටේ ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දිය යුතුයි.

මා රාජ්‍ය ඇමැති ධුරය දරන්නේ තාවකාලිකව. මේ ආයතනයේ ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වා සේවය කරන සියලු නිලධාරීන් සාමූහිකව, ඉලක්කයක් ඇතිව කටයුතු කර රටේ ජනතාවට ඉහළ ම සේවාවක් ලබා දීමට කටයුතු කළ යුතුයි. මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට දෙන ලද පොරොන්දුවක්. එය සාර්ථකව ඉටු කිරීමට පෑලියගොඩ ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සහෝදරත්වයෙන් කටයුතු කළ යුතුයි.‘

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මඟ නැඟුම ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කපුවත්ත මහත්වරුන් ඇතුළු මඟ නැඟුම ආයතනයේ නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න