හේන්ගොවිතැන තහනම් කිරීමෙන් ඇල්දෙණිය ගම්මානයේ වැසියෝ දුකේ | දිනමිණ

හේන්ගොවිතැන තහනම් කිරීමෙන් ඇල්දෙණිය ගම්මානයේ වැසියෝ දුකේ

රිදීමාලියද්ද‍ මොරාන ජලාශ ව්‍යාපෘතියේ ඇල්දෙණිය ගම්මානයේ හේන්ගොවිතැන නිලධාරීන් විසින් තහනම් කිරීම හේතුවෙන් ගම්වාසීහු පීඩාවට පත්ව සිටිති.

රිදීමාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ ජලාශයට යටවන බිම් ප්‍රදේශවල ජීවත් වූ ජනතාව වෙනුවෙන් ලබා දීමට නියමිත කුඹුරු ඉඩම් පවතින රිදීමාලියද්ද, ඇල්දෙණිය ගම්මානයේ දැනට පදිංචිව සිටින ජනතාවට ස්ථිර පදිංචිව සිටි භූමියේ වගා කටයුතු තහනම් කිරීම හේතුවෙන් මහත් අසරණ භාවයකට පත්ව ඇති බවට රිදීමාලියද්ද, ඇල්දෙණිය ගම්වාසීහු චෝදනා කරති.

ජලාශයට යටවන කොටසේ පදිංචිව සිටි පිරිස් සඳහා ඇල්දෙණිය ගම්මානයේ ඉඩම්, කුඹුරු ලෙස සංවර්ධනය කර දෙන බවත් ඇල්දෙණිය ගම්මානයේ මෙතෙක් ස්ථිර පදිංචියේ සිටි පිරිසට එයින් අසාධාරණයක් සිදු වන බවත් ගම්වාසීන් වැඩිදුරටත් පවසති.

ඇල්දෙණිය ගම්මානයේ පවුල් 50කට අධික ප්‍රමාණයකට මෙම ගැටලුව උදාවී ඇති අතර ජලාශ ව්‍යාපෘතියේ අතුරු වාරි ඇළ කිහිපයක් ඇල්දෙණිය ගම්මානය හරහා ගමන් කරන බවත් ඒ සඳහා ගම්වාසීන් ස්ථිර පදිංචියේ සිටි ඉඩම් යටවන බවත්, ඒ වෙනුවෙන් වන්දියක් ලබාදෙන බවට නිලධාරීන් නොපවසන බවත් ගම්වාසීන් චෝදනා නඟන්නේ.

මොරාන ජලාශ ව්‍යාපෘති නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ගන්නා ස්ථිර විසඳුමක් පිළිබඳ ගම්වාසීන් මෙතෙක් දැනුවත් කර නොමැති බවත් වගා කිරීම් සියල්ල නවතා දැමීමට පමණක් උපදෙස් දී ඇති බවත් ගම්වාසීහු පවසති. ඒ හේතුවෙන් ගම්වාසී පවුල් 50කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටින බව ඔවුහු පවසති.

මෙම ගැටලුව සම්බන්ධයෙන් රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් හේමන්ත දිසානායක මහතාගෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා කියා සිටියේ මෙවන් අදහසකි,

“ඇල්දෙණිය ඉඩම් ගැටලු සම්බන්ධයෙන් මේ දිනවල අපි වාර්තා ලබාගනිමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නේ. අනවසර පදිංචිකරුවන් රැසක් ඉන්නවා. ඒ ඉඩම්වල, සමහරු අක්කර 10-15 අල්ගෙන හේන්වගා කරනවා. ව්‍යාපෘතියෙන් වන්දි හම්බවෙයි කියලා සමහරු වැඩියෙන් ඉඩම් අල්ලගෙන ඉන්නවා. ගැටලුව සහිත කොටසේ පදිංචිකරුවන් 27ක් ඉන්නවා. අපේ නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු එක් රැස් කරමින් ඉන්නවා මේ වෙනකොට. වැඩියෙන් ඉඩම් අල්ලගෙන හේන් වගා කරන කරලා තියෙන නිසාත්, වැවට ඉඩම් යටවු අය සඳහා කුඹුරු ඉඩම් ඔය කියන ඇල්දෙණිය ගම්මානයෙන් දියයුතුව තියෙන නිසාත්, ඉඩම් මැනිම් කටයුතුවලට ගැටලු එන නිසා තමයි වගා කටයුතු තාවකාලිකව නතර කරන්න කියලා ඇත්තේ. අපි මේ සම්බන්ධයෙන් කඩිනම්න් ක්‍රියා කරමින් ඉන්නවා. ’’

නව අදහස දක්වන්න