පෝෂණය නංවන්න පාසල් දරුවන්ට දිනකට බිත්තරයක් | දිනමිණ

පෝෂණය නංවන්න පාසල් දරුවන්ට දිනකට බිත්තරයක්

අගමැතිගෙන්  අධ්‍යාපන ඇමැතිට  උපදෙස්

පාසල් ළමයින්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.  බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය විජේරාම පිහිටි නිල නිවසේ දී හමු වූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳ බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළ අතර බිත්තර නිෂ්පාදනයේ දී වැය වන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයෝ එහිදී කරුණු පැහැදිලි කළහ. සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට හැකි බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මෙම හමුවේ දී පෙන්වා දුන්නේය.

ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම් ගත සම්මුතියකට පැමිණෙන්න යැයි අගමැතිවරයා අදාළ නියෝජිත පිරිසට දැන්වූ අතර, කුකුළු පැටවකුගේ මිල රුපියල් 175 - 200 අතර මිලකට පහත හෙළීම පිළිබඳ සහ බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම් ගත එකඟතාවකට මැදිහත්වන ලෙස ද විෂය භාර ඇමැතිවරුන්ට මෙම හමුවේ දී උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් හා අගමැති අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක මහත්ම මහත්මීන් ද බිත්තර නිෂ්පාදකයන් හා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න