කාලගුණයෙන් හෙල්ලෙන ලෝකය | දිනමිණ

කාලගුණයෙන් හෙල්ලෙන ලෝකය

නයිල් නදිය පිටාර ගැලීම හේතුවෙන් වසර දහස් ගණනක් පැරැණි ඓතිහාසික පිරමීඩවලටද තර්ජනයක් ඇති වී තිබේ. එලෙස බිය පළ වී ඇත්තේ ගංගාවේ ජල මට්ටම ඉහළ නැඟීමත් සමඟ මෙරෝ සහ නුරි පිරමීඩ ජලයෙන් යට විය හැකි  බවටය. මෙරෝ පිරමීඩ පිහිටා ඇත්තේ නයිල් නදී ඉවුරේ සිට අඩි 1650ක් තරම් සමීපයෙනි.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ළැව් ගිනි සමඟ ද සටනක යෙදීමට සිදුව තිබේ. අමෙරිකාව ගිනි නිවීමට වෑයම් කරද්දී නයිල් නදිය පිටාර ගලමින් ඇති බැවින් ඉපැරැණි පිරමීඩ රැක ගැනීමට සුඩානය වෙහෙස දරමින් සිටී.

කැලිෆෝනියාවේ, සැන් ෆ්‍රැන්සිස්කෝ බටහිර වෙරළ තීරයට ඉහළ අහස මේ දිනවල දිස්වන්නේ තැඹිලි පැහැයෙනි. එය අඟහරු ලෝකයේ දර්ශනයක් දැයි සිතෙන තරම් බව ඇතැම් අය පවසා තිබිණි. මෙම දරුණු ළැව් ගිනි තත්ත්වය බලපා ඇත්තේ කැලිෆෝනියාවට පමණක් නොවේ. මේ වන විට ඔරිගන් හා ‍‍වොෂින්ටනය දක්වා ද ඒවා පැතිර තිබේ. ගින්නෙන් නිවාස ගණනාවක් විනාශ වී ඇති අතර, දහස් සංඛ්‍යාත මිනිසුන්ට උන්හිටි තැන් අහිමිව ඇත. හිරු එළිය දැක ගැනීමට නොහැකිය. එය මීදුමෙන් මෙන්ම දුමාරයෙන් ද වැසී ගොසිනි. උදෑසන 8 වන විට ද ඇත්තේ උදෑසන 6.00ට බඳු තත්ත්වයකි. පෙ. ව. 11.00 වන විට ද සැන්ෆ්‍රැන්සිස්කෝහි ඇත්තේ අඳුරකි.

මේ වන විට සති කිහිපයක් මෙම ළැව් ගිනි තත්ත්වය දැකිය හැකිය. ඉන් විනාශ වී ඇති වනාන්තර ප්‍රමාණය අක්කර ලක්ෂ 23ක් වෙතැයි ගණන් බලා ඇත. එමෙන්ම එය ඉකුත් වසරේ දී ලැව් ගිනි හේතුවෙන් විනාශ වූ භූමි ප්‍රමාණයට වඩා විසි ගුණයකි. සැන්ෆ්‍රැන්සිස්කෝ බොක්ක ආශ්‍රිතව ජීවත් වන ජනතාව පවසන පරිදි මෙවැනි තත්ත්වයක් ඔවුන් සිය ජීවිත කාලයේදීම දැක නැත. කැලිෆෝනියාවට ළැව් ගිනි අමුත්තක් නොවුණ ද මෙවර එහි ඇති ප්‍රබලත්වය ඔවුන් පවා මවිතයට පත් කර ඇත.

 

කැලිපෝනියාවේ ළැව් ගිනි

කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවන පරිදි මෙම ආපදා තත්ත්වය ලබන බදාදා වන තෙක් පවතී. නගරයේ සවි කර ඇති වායු ස්වභාවය මැන බැලීමේ උපකරණවල මෙම අගය සලකුණුව ඇත්තේ මධ්‍යස්ථ පරාසයකය. කෙසේ වුවද, කාලගුණ විද්‍යා අංශ පවසන්නේ එම දර්ශක අසම්පූර්ණ බවය. ඒ, වායුගෝලයේ කුඩා අංශු පමණක් එම උපකරණ මඟින් ගණනය කෙරෙන බැවිනි.

දරුණු සුළං තත්ත්වය හමුවේ ළැව් ගිනි නිවා දැමීමට දැඩි සටනක යෙදීමට ගිනි නිවන භටයන්ට සිදුව ඇත. මේ ළැව් ගිනි සමය කැලිෆෝනියානු ඉතිහාසයේ දරුණුතම ළැව් ගිනි ආපදාව බවට දැනටමත් මත පළ වී තිබේ.

නිවාස, යාන වාහන ආදී දේපළ 4000 ක් පමණ ගින්නට හසු වී ඇති අතර, 8 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත. බිග් ක්‍රීක් නගරයේ නිවාසවලින් අඩක්ම ගින්නෙන් විනාශ වී තිබේ. ගිනි නිවන භට කණ්ඩායමක නායකයකු වන ටොම් පෝටර් පවසන පරිදි මීට වසර කිහිපයකට පෙර දකුණු සියෙරා ප්‍රදේශයේ ළැව් ගිනි හේතුවෙන් විනාශ වූ ගස් සංඛ්‍යාව මිලියන 150 කි.

අවට ප්‍රදේශවල උෂ්ණත්වය වාර්තාගත අන්දමින් ඉහළ දැමීමට මේ ළැව් ගිනි හේතු වී ඇත. එම අගයන් සටහන් වන්නේ ෆැරන්හයිට් අංශක 108, 120 ආදී වශයෙනි. කැලිෆෝනියාවේ උෂ්ණත්වය ගත වූ තිස් වසර තුළ සෙල්සියස් අංශකයකින් ඉහළ ගොස් ඇති අතර, ඊට බලපා ඇත්තේ ද මේ ළැව් ගිනි ආපදාය. ඉකුත් සඳුදා වොෂින්ටනයේ පමණක් අක්කර 300,000 ක් ගින්නෙන් විනාශ වී ඇත.

කැලිෆෝනියාවේ ළැව් ගිනි ඒ සා විශාල විනාශයක් සිදු කරද්දී සුඩානය ද දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සිය දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නිවාස ලක්ෂයක් පමණ ජලයෙන් යට වී හා විනාශ වී තිබේ. අවතැන් වූ සංඛ්‍යාව පන්ලක්ෂයකි. එරට ඉතිහාසයේ මුහුණ දුන් ප්‍රබලම ස්වභාවික ආපදා තත්ත්වයක් යටතේ සුඩාන රජය මාස 3ක හදිසි තත්ත්වයක් හා හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එක දිගට ඇදහැලුණු දරුණු වැසි සමඟ නයිල් නදිය පිටාර ගැලීමෙන් අල්-ෂිග්ලා ඔම්ඩර්මාන් නගර ඇතුළු ප්‍රාන්ත 16ක් ජලයෙන් යට වී ඇත. මීට පෙර මෙතරම් ප්‍රබල ගංවතුර ආපදා තත්ත්වයක් එරටට බලපෑවේ 1946 හා 1988 වසරවලදීය. මෙවර තත්ත්වය ඊට වඩා දරුණුය. නිල් නයිල් නදියේ ජල මට්ටම වාර්තාගත අන්දමින් මීටර් 17.58 තෙක් ඉහළ නැඟ තිබිණි. අවතැන්ව සිටින ජනයාගෙන් ඇතමෙක් ප්‍රකාශ කරන්නේ සියල්ල අහිමි වී ඇති බවය. ඇතැම් දෙනා රජයට චෝදනා කරන අතර, ආපදාවේ තරමට තමන් රැක ගැනීමට රජය අපොහොසත්ව ඇතැයි කියා සිටී. හිසට සෙවණක්, ආහාර, ඖෂධ මෙන්ම ළමයින් සඳහා එන්නත් හදිසි අවශ්‍යතා වී ඇති බව ඔවුහු පවසති. තමන්ට උපකාර වීමට කිසිවකුත් ඉදිරිපත්ව නැතැයි ඇතැම් දෙනා චෝදනා කරති. ඉංජිනේරුවකු අල්ජසීරා පුවත් සේවයට කියා තිබුණේ වැසි සමය සෑම වසරකදීම එළැඹෙන නමුත් රජය ඊට සූදානම්ව සිටි බවක් නොපෙනෙන බවය. එහිදී නව භාරකාර රජය අසමත් වී ඇති බව ඔහුගේ අදහසයි.

නයිල් නදිය පිටාර ගැලීම හේතුවෙන් වසර දහස් ගණනක් පැරැණි ඓතිහාසික පිරමීඩවලට ද තර්ජනයක් ඇති වී තිබේ. එලෙස බිය පළ වී ඇත්තේ ගංගාවේ ජල මට්ටම ඉහළ නැඟීමත් සමඟ මෙරෝ සහ නුරි පිරමීඩ ජලයෙන් යට විය හැකි බවටය. මෙරෝ පිරමීඩ පිහිටා ඇත්තේ නයිල් නදී ඉවුරේ සිට අඩි 1650ක් තරම් සමීපයෙනි.

එම පුරාවිද්‍යාත්මක උරුම රැක ගැනීම වෙනුවෙන් ඒ වටා වැලිකොට්ට යෙදීමට පියවර ගෙන තිබේ. මීට පෙර ගංවතුර හේතුවෙන් මෙම පුරාවිද්‍යාත්මක නටබුන්වලට හානි සිදු වී නොමැත.

නූරි පිරමීඩ පිහිටා ඇත්තේ කාර්මොට් අගනුවර සිට සැතපුම් 200ක් පමණ දුරිනි. එම පිරමීඩය තුළ ක්‍රි.පු. 7 වැනි සියවසේදී රට පාලනය කළ තහාර්කා රජුගේ සොහොන් ගැබ පිහිටා ඇත. එම සොහොන් පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ සිට අඩි 22 – 32 භූගතවය. ඉන් ඇතැම් සොහොන්වලට දැනටමත් හානි සිදු වී ඇති බවට වාර්තා තිබේ.

කෙසේ වුවද මෙම පිරමීඩ හමුවේ ඇති එකම අනතුර ගංවතුරම නොවේ. ඉකුත් ජූලි මාසයේ එම ප්‍රදේශවල සංචාරය කළ පුරාවිද්‍යාඥ කණ්ඩායමක් අනාවරණ කළ පරිදි නිධන් හොරු අඩි 55 – 65 තරම් ගැඹුරට උමං හාරා එම වස්තුව මංකොල්ල කෑමට වෑයම් කර ඇත. මෙහිදී ඔවුන් හානි කර ඇත්තේ වසර 2000ක් තරම් පැරැණි ඉදිකිරීම්වලටයි. මෙම කැණීම්වලින් ඔවුන් වෑයම් කර තිබෙන්නේ රත්‍රන් සෙවීමටය. එහිදී බර යන්ත්‍රෝපකරණ පවා භාවිත කර ඇත.

කුෂ් පිරමීඩ පෙදෙස නයිල් නදියේ සිට මීටර් 500ක් තරම් දුරින් පිහිටා ඇත. කාර්ටොම් අගනුවර සිට දුර කි.මී. 200ක් තරම් වේ. මෙම පෙදෙසේ පුරාවිද්‍යාත්මකව වැදගත් නටබුන්ව ගිය ඉදිකිරීම් රාශියකි.

 

සමාජ බලපෑම්

මෙවැනි ළැව් ගිනි තත්ත්ව මෙන්ම ගංවතුර ආපදා ඉතිහාසයේ නොවූ විරූ අන්දමින් හානිදායක මෙන්ම ප්‍රබල වීමට දේශගුණික විපර්යාස බලපා ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉකුත් වසර අග භාගයේ දී මේ අයුරින්ම වැනීසිය ද ජලයෙන් යට විය. ඔස්ට්‍රේලියාවේ දරුණු ළැව් ගිනි මාලාවක් ඇති විය.

ගංගා පිටාර ගැලීමට අමතරව වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් මුහුදු මට්ටම ඉහළ නැඟීම ද සිදු වේ. එය වෙරළාශ්‍රිත පත් බිම් මුහුදු ජලයෙන් යටවීමට බලපායි.

ඔස්ට්‍රේලියාවේ ළැව් ගිනි ද අධ්‍යයනය කරමින් Lancet නම් වෛද්‍ය සඟරාව මෑතදී අනාවරණ කළේ වසර 2000 සිට බලන විට මිනිසුන්, ගිනි ගැනීම් සඳහා නිරාවරණ වීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවය. එය සෞඛ්‍යමය තර්ජනයකි. ඊට අමතරව සමාජ හා ආර්ථික බලපෑම් ද තිබේ. මීට පෙර ඇති වූ ස්වභාවික ආපදාවලින් සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳ කර ඇති ගණනය කිරීම්වලින් ද ඒ බව පැහැදිලි වේ.

දැනටමත් විද්‍යාඥයන් පෙන්වා දී ඇති පරිදි ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීමේ ප්‍රතිඵල ලෙස ඇතැම් ප්‍රදේශ ලෝක සිතියමෙන් මැකී යාමේ අවදානම පවතී. වසර දහස් ගණනක් ඉපැරැණි, මෙතෙක් කලක් නොයෙක් ස්වාභාවික තත්ත්ව යටතේ සුරැකිව පැවැති පුරාවිද්‍යාත්මක උරුම අනාගත පරම්පරාවන්ට දැක බලා ගැනීමට නොහැකි වන පරිදි වැනසී යාම ද මේ හේතු‍වෙන් සිදු වේ. මේ කාරණා පිළිබඳ දශක කිහිපයක් තිස්සේ සංවාදයට ලක් වෙමින් තිබුණ ද දැනට අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු විය නොහැකි බව මෙම අත්දැකීම්වලින් ද පැහැදිලිය. ඒ සියල්ලෙන් පැහැදිලි කෙරෙනුයේ පමා වීමට කාලයක් ඉතිරිව නැති බවය. සැලකිය යුතු සම්මුති, ප්‍රඥප්ති, ගිවිසුම් සංඛ්‍යාවක් සම්මත වී ඇත. ලොව රටවල් සියල්ල පාහේ ඒ කවර හෝ සම්මුතියකින් බැඳී සිටිති. එසේ තිබිය දී වුවද සොබා දහමට එරෙහි මානව ක්‍රියාකාරකම් පාලනය කර ගැනීමට අපොහොසත් වීම යනු අනාගතයේ දී මිල කළ නොහැකි වන්දියක් ගෙවීමට මිනිසාට සිදු වීම බව දැනටමත් පැහැදිලිය.

 

නව අදහස දක්වන්න