සෙල්ලමත් ව්‍යාපාරයක්! | දිනමිණ

සෙල්ලමත් ව්‍යාපාරයක්!

අපේ ක්‍රීඩා වෘත්තීය මට්ටමට පරිවර්තනය කරන බවත්, එම ක්ෂේත්‍රයෙහි ව්‍යවසායකයන් බිහි කරන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටී. අමාත්‍යවරයාගේ සැලැසුමට අනුව ඉදිරි කාලයේදී ඩොලර් බිලියනයකට වැඩි මුදලක් මෙරට ක්‍රීඩා ආශ්‍රිතව ජාතික ආදායමට එක් කළ හැකි බව ද සඳහන්ය. දැනට රට තුළ වෘත්තීය මට්ටමේ ක්‍රීඩාවක් හැටියට පවතින්නේ ක්‍රිකට් පමණි. එහි ද නිසි නියාමනයක් නැති බව පවත්නා අවුල්වලින් පෙනී යයි. සෙසු ක්‍රීඩා පවතින්නේ ජාතියේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට, සහජීවනය දියුණු කිරීමට හා රටේ කීර්තිනාමය රැකීමට පමණකැ’යි කිව හැකිය. අපේ ක්‍රීඩාවෙන් ලබන ආර්ථික වාසි නැත. එහෙත් දියුණු රටවල් ජීවන මාර්ගයක් ලෙස ද ව්‍යාපාරයක් ලෙස ද ක්‍රීඩාව භාවිත කරයි.

අමෙරිකාවේ බේස් බෝල් ක්‍රීඩකයකු මාසිකව ලබන ආදායම අපට හිතා ගන්නටවත් බැරි තරම්ය. ප්‍රංශය, ඉතාලිය, පෘතුගාලය වැනි රටවල පාපන්දු ක්‍රීඩකයන් ලබන ආදායම ද එබඳුය. බොක්සිං, මල්ලව පොර වැනි ක්‍රීඩා පවා අන්තර්ජාතික වශයෙන් මුදල් උපයන සාර්ථක ව්‍යාපාර බවට පත් වී ඇත. අන්තර්ජාතික තරගවලට සහභාගි වන පා-පැදි ශූරයෝ, මෝටර් රථ ධාවන ශූරයෝ විශාල වශයෙන් මුදල් උපයති. මේවා සංවිධානාත්මක තරග නිසා ලොව පුරා ප්‍රකටය. එම ක්‍රීඩා ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන තවත් ව්‍යාපාර පවතී. ඒවායින් විශාල පිරිසකගේ ජීවන මාර්ග සැලැසී ඇත. ක්‍රීඩාව වෘත්තියක් ලෙස ද ව්‍යාපාරයක් ලෙස ද පවත්වා ගැනීමෙන් ආර්ථික වාසි රාශියක් ලැබිය හැකිය.

ක්‍රීඩාව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉතා හොඳින් භාවිත කළ හැකිය. නේපාලය දකුණු ආසියාවේ සංචාරක කර්මාන්තයට ප්‍රකට රාජ්‍යයකි. කඳු නැඟීමේ ක්‍රීඩාව සඳහා විදේශිකයෝ සැලකිය යුතු පිරිසක් නේපාලයට එති. එවරස්ට් පිහිටා ඇත්තේ ද නේපාලයෙහිය. එවරස්ට් නැඟීම සඳහා ක්‍රීඩකයෝ සමූහ පිටින් ඒ අවට ලැගුම් ගනිති. එය ධනෝපායන මාර්ගයක් ලෙස පවතී. සර්ෆින් නම් ජල ක්‍රීඩාව සඳහා ඇතැම් විදේශීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එති. සංචාරක හෝටල් ආශ්‍රිතව සර්ෆින් ක්‍රීඩාවෙහි උපදේශකයන් සිටිනු අප දැක තිබේ. එහෙත් එය ව්‍යාපාරයක් ලෙස සංවිධානගත නැත. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාළ කර ගත හැකි තවත් ක්‍රීඩා රැසක් පවතී.

කැලණි ග‍ඟෙහි ඉහළ කොටස භාවිතයට ගනිමින් ත්‍රාසජනක ක්‍රීඩා ජනප්‍රිය කරවීමේ වැඩසටහනක් කලකට පෙර ක්‍රියාත්මක විය. එය විදේශීය ක්‍රීඩකයන් අතර ජනප්‍රිය වෙමින් පැවැති බව ද වාර්තා වී තිබිණි. එහෙත් කුමන හෝ හේතු - සාධක නිසා එම ක්‍රීඩා වැඩසටහන නැවැතිණි. කොරෝනා වසංගතයටත් පෙර එය සිදුවී තිබිණි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය තුළ දිය ඇලි විශාල ප්‍රමාණයක් තිබේ. ඒවා ආශ්‍රිතව පවත්වාගත හැකි ක්‍රීඩා විශේෂ ගණනාවක් ඇත. කිසි‍වකුගේ අවධානය ඒ කෙරෙහි යොමු වී නැත. ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා නිර්මාණශීලී ව හිතන මතන නිලධාරී පිරිසකගේ අවශ්‍යතාව ද මෙහි දී මතු වෙයි. ක්‍රීඩා අධ්‍යාපනයෙන් ඩිප්ලෝමා හා උපාධි ලබන පිරිසක් ද රටේ සිටිති.

අපේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සඳහා අනුග්‍රාහකයන් සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් වී තිබේ. අනුග්‍රාහකයන් සොයා ගත යුත්තේ ව්‍යාපාරික ආයතන වෙතින්ය. එහෙත් මෙරට ව්‍යාපාරිකයන් ක්‍රීඩාව කෙරෙහි යොමු වන බවක් පෙනෙන්නට නැත. ක්‍රීඩාව ඔස්සේ ලැබිය හැකි ආර්ථික ප්‍රතිලාභ ගැන ඔවුන් දැනුම්වත් නැත. අන්තර්ජාතික බොක්සිං තරග ගණනාවකට සහභාගී වී ශ්‍රී ලංකාවට කීර්ති නාමයක් අත් කර දුන් එක්තරා ක්‍රීඩකයෙක් පුවත්පතකට ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ තමන්ට හා තම දරුවන්ට ජීවත්වීම සඳහා කිසියම් රැකියාවක් ලබා දෙන ලෙසය. ඔහුට ආරක්ෂක නිලධරයකු හැටියට හෝ රැකියාවක් ලබා දීමට ව්‍යාපාරික ආයතනයක් ඉදිරිපත් වූ බවට සඳහනක් නැත. මේ වනාහී අපේ ක්‍රීඩාවේ දුප්පත්කම පිළිබඳ එක්තරා කතාවක් පමණි.

ප්‍රාදේශීය වශයෙන් පිහිටුවා ඇති ක්‍රීඩා සංගම් දුර්වලය. එමෙන්ම ඒවා අතිශය දුප්පත්ය. පාසල් ක්‍රීඩා සමාජ පවා සක්‍රිය නැත. ප්‍රාදේශීය වශයෙන් තරග පවත්වා මුදල් උපයන ක්‍රමයක් ද අපට නැත. රට පුරා කලින් - කල ක්‍රිකට් උන්මාද ඇති වන්නේ වුව එම තත්ත්වය සාධනීය හැරවුම් ලක්ෂ­්‍යයක් කරගන්නා අය නැත. වොලිබෝල්, එල්ලේ වැනි ක්‍රීඩා කෙරෙහි නැඹුරු වූ විශාල පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල සිටිති. පාපන්දු ක්‍රීඩාවට යොමු වූ තවත් පිරිසක් නාගරික ප්‍රදේශවල සිටිති. මේ අය සංවිධානගත කිරීම ඔස්සේ ක්‍රීඩාව දියුණු කළ හැකිය. එලෙසම එය ව්‍යාපාරික නැඹුරුවකින් යුතුව ඉදිරියට ගෙන යා හැකිය.

අමාත්‍යවරයා අපේක්ෂා කරන අරමුණු ජය ගැනීමට නම්; ක්‍රීඩාව ජන ජිවිතයේ කොටසක් බවට පත්කර ගත යුතුය. ක්‍රීඩාව විනෝදය සපයන මාධ්‍යයක් ලෙස ජන සමාජයෙහි තහවුරු කිරීම ඉතා වටී. ක්‍රීඩාවටම වෙන් වූ රූපවාහිනී සහ රේඩියෝ නාළිකා පවති. ඇතැම් රටවල ක්‍රීඩාවට සම්බන්ධ විද්‍යුත් මාධ්‍ය ලොව පුරා ප්‍රකටය. චිනයේ වූෂු සටන් කලාව සඳහා වෙන් වූ රූපවාහිනී චැනලයක් තිබේ. එය වූෂු සටන් කලාව ආශ්‍රයෙන් නිපදවූ සිනමා කෘති දවස පුරා ප්‍රදර්ශනය කරයි. එය සාර්ථක ව්‍යාපාරයක් බවට ද පත් වී ඇත. ක්‍රීඩාවේ ව්‍යාපාරික පැත්ත මතු කර ගැනීම සඳහා අලුතින් සිතන තරුණ පිරිසක් අවශ්‍ය වේ. ඒ තරුණ පිරිස අපට සිටිති.

ජනාධිපතිවරයා සුදුසුම පුද්ගලයන් වෙත එකිනෙක අමාත්‍යාංශ භාරදී ඇති බව ඉතා පැහැදිලිය. නාමල් රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයා ද එය සනාථ කර තිබේ. රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඔහු වැනි තරුණ ජවසම්පන්න මන්ත්‍රීවරයකුට භාර කිරීම ඉතා කාලෝචිතය. ඔහු එක අතෙකින් කාර්යක්ෂම මන්ත්‍රීවරයෙකි. තව අතෙකින් ක්‍රීඩකයෙකි. නාමල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති වැඩසටහන් සාර්ථක කර ගත හොත් ක්‍රීඩාවත් දියුණු වෙයි. ආර්ථිකයත් දියුණු වෙයි.

නව අදහස දක්වන්න