වතු ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ඇති වගකීම් කිසිවක් මට බරක් නොවේ | දිනමිණ

වතු ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ඇති වගකීම් කිසිවක් මට බරක් නොවේ

රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන්

ජනතාව අතර නායකයෙකු වූ  මිතුරන් අතර මිතුරකු වූ  ආදර්ශවත්  දේශපාලකයෙක්

මන්ත්‍රී  ඩිලාන් පෙරේරා

වතු ජනතාව වෙනුවෙන්  තොණ්ඩමන්  පවුලම කැප වුණා

මන්ත්‍රී  ඉම්තියාස් බාකීර් මාකාර්

 

සමස්ත වතු ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට මේ මොහොතේදී තම දෙවුර මත පැටවී ඇති වගකීම තමන්ට කිසිදු බරක් නොවන බව වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය දා (11) ප්‍රකාශ කළේය.

වතු ජනතාව වෙනුවෙන් තම පියා හා සීයා විසින් ඉටුකරන ලද කාර්ය භාරය එලෙසින්ම ඉටුකරන බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා- මට මගේ පියා ගැන තිබෙන්නේ අභිමානයක්. මගේ සීයාගේ ගමන් මග නියෝජනය කරමින් අපගේ ජනතාව වෙනුවෙන් සේවය කළේ මගේ පියා. මගේ පියා අද ජීවතුන් අතර නැහැ. මට දුකක් තිබෙනවා මගේ තාත්තා සමඟ දිගු කාලයක් සිටීමට අවස්ථාව නොලැබීම ගැන. කුඩා කාලයේ මට තාත්තා ගැන කුඩා ඊර්ෂ්‍යාවක් තිබුණා. තාත්තාට තිබූ කීර්තිය ගැන. කෙසේ වුවද තාත්තා අපේ ජනතාව වෙනුවෙන් බොහෝ සේවාවක් කළා. තොණ්ඩමන් ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් බවට පත්කිරීමට ඔහුට ආශාවක් තිබුණා .ඒ වගේම වතු දරුවන් වෙනුවෙන් පරිගණක දැනුම ලබාදීම වෙනුවෙන් මගේ පියා වැඩපිළිවෙළක් සකස් කළේ තාක්ෂණික විෂයන් ගැන කතා කරන්නටත් කළින්. ඒ වගේම මගේ පියාට දැඩි අවශ්‍යතාවක් තිබුණා වතුකරයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නංවන්නට. ඒ වගේම ඒ ජනතාවගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම මෙන්ම ඒ මිනිසුන්ගේ වැටුප් වැඩිකිරීම ආදිය එතුමාගේ සිහින බවට පත්ව තිබුණා. ඒ පිළිබඳව මියයන දිනයේදීත් සාකච්ඡා කළා. ඒ වගේම නුවරඑළිය වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් ලබාගැනිමත් එතුමාගේ තිබු සිහිනයක්. මියයාමට දින කිහිපයකට කලින් පියා මට, සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු තවත් කිහිප දෙනකුට දුරකතන ඇමතුම් දී තිබුණා. එතුමාගේ උපන්දිනය යෙදෙන බැවින් එදිනට කොළඹට පැමිණෙන ලෙස. නමුත් එතුමා උපන්දිනය දිනට පෙර දින මියගියා. වතු ජනතාව වෙනුවෙන් මාගේ දෙවුර මත විශාල වගකීමක් පැවරී තිබෙනවා. මගේ පියා, සීයා එම ජනතාව වෙනුවෙන් ඉටු කළ වගකිම මම ඉටුකරනවා. ඒ වගකීම මට බරක් නෙවෙයි. මගේ දෙවුර මත පැවරී ඇති ඒ වගකීම මට කිසිදු බරක් නෙවෙයි.

පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය (ස ජ බ)

වතුකරයේ ජනතාව කියන්නේ බොහෝ දුක්ගැහැට විඳින පිරිසක්. තොණ්ඩමන් මැතිතුමා හැම වෙලාවෙම එතුමාගේ ජනතාව වෙනුවෙන් හඬ නැඟුවා. විග්නේශ්වරන් මන්ත්‍රීවරයා හැම වෙලාවෙම ජාතිවාදය ගැන කතා කරනවා. නමුත් මම ඔබතුමාට කියනවා, ඔබතුමා තොණ්ඩමන් මහතාගේ ජීවිතය කියන පොතෙන් පිටුවක් අරන් කියවන්න.

අධිකරණ ඇමැති අලි සබ්රි මහතා -තොණ්ඩමන් මහතා පරිපූර්ණ නායකයෙක්. එතුමාට හොඳ ගතිගුණ තිබුණා. පසුගිය හැන්සාඩ්වල තිබෙනවා එතුමන් කළ කතාවන්. එහිදි එතුමා කියලා තිබුණා ඔහු ආදර්ශයට ගන්නේ මහත්මා ගාන්ධි මැතිතුමාය කියලා. ඒ කියන්නේ අහිංසාවාදී ගති ලක්ෂණ තිබුණ නායකයෙක් තමයි තොණ්ඩමන් මහතා. අපි වැඩ කරගෙන යද්දි එවැනි නායකයන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. 2015 දී ආණ්ඩුව පැරදුනම අනිත් පැත්තට පැන්නේ නැහැ. ඉතා ඉවසිලිවන්තව ඉදිරිය දිහා බලාගෙන තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා (ශ්‍රී.ල.පො.පෙ)- 2015 සිට පසුගිය ආණ්ඩු සමයේ තොණ්ඩමන් මහතාගේ කාර්යභාරය ගැන ගෞරවයෙන් සිහිපත් කරනවා. තොණ්ඩමන් ඇමැතිවරයා යෝජනා කළේ බුදුපිළිම ඉවත් කරන්න නො‍ෙවයි. බොහෝ ප්‍රදේශවලට විශ්විද්‍යාල, අධ්‍යාපන පීඨ ලබා දෙන්නයි. එතුමා සෑම විටම උත්සාහ කළේ සියලූම ජාතීන්ගේ සාම්ප්‍රදායන් එකට එකතු කරගෙන ඉදිරියට යන්නයි.

පත් කළ මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර් මහතා (ස ජ බ)- අපේ රටේ ජීවනාලිය වන වතු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තොණ්ඩමන් පවුල කැපවී සිටියා. ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ තොණ්ඩමන් මහතාත් ඒ ආකාරයටම වතු ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. වැවිලි ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතියි වෙනුවෙන්ද තොණ්ඩමන් පවුල කැපවුණා. අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තොණ්ඩමන් තුන්වන පරම්පරාව. ඒ නිසා සීයාගේ, පියාගේ අඩිපාරේ යමින් අහිංසක වතුජනතාව වෙනුවෙන් කටයුතු කරන ලෙස මම ජීවන් කොණ්ඩමන් මහතාගෙන් ඉල්ලා සිටිනවා.

පත් කළ මන්ත්‍රී තිස්ස විතාරණ මහතා (ශ්‍රීලපොපෙ)

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ වහලුන් ලෙස කාලයක් පුරා වතු ජනතාව යොදවාගෙන සිටියා. වතු ජනතාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් තොණ්ඩමන් පවුල විසින් ඉටු කර තිබෙනවා. ඒ වගේම ඒ වගකීම, වතු ජනතාව වෙනුවෙන් හඬ නැගීමේ වගකීම ජීවන් තොණ්ඩමන් මහතා වෙත පැවරී තිබෙනවා. එම වගකීම නිවැරදිව ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා- තොණ්ඩමන් ඇමැතිතුමාගේ දේශපාලන භුමිකාව තීරණාත්මක වූවක්. එතුමා සෑම මොහොතකම වගකීමෙන් කටයුතු කළා. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිම වෙනුවෙන් එතුමා කටයුතු කළා. තිස් අවුරුදු යුද්ධය වකවානුවේදීත් එතුමා බොහොම වගකීමෙන් කටයුතු කළා. ඒ වගේම ජාතිවාදී ගිනිදැල් කන්ද උඩරට වතුකරයටත් ඇතුල් වුණා නම් අද තත්ත්වය මිට වඩා වෙනස් වන්නට තිබුණා. ඒ නිසා එතුමා ඇගයීමට ලක්කළ යුතු නායකයෙක්. එතුමා කිසිම වෙලාවක ජාතිවාදි ගිනිදැල් වැපිරුවෙ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා මුලසුනට පැමිණියේය.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා(ශ්‍රීලපොපෙ)- ආරුමුගම් තොණ්ඩමන් මහතා කියන්නේ තමන්ගේ ආදරණීය ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ නායකයෙක්. ඒ වගේම එතුමා සෑම වෙලාවෙම නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිමට පියවර ගත්තා. එමෙන්ම ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ භූමිකාව මෙහෙයවීමේ වගකීම අද දරන්නේ ජීවන් තොණ්ඩමන් මහතායි.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඒ.එල්.එම් අතාවුල්ලා මහතා (ජාතික කොංග්‍රසය)- තොණ්ඩමන් මහතා යනු අපේ මිතුරෙක්. සුළුතර ජනතාවගේ නායකයෙක්. කඳුකරයේ ජනතාවගේ නිවාස ගැටළුව විසඳීම වෙනුවෙන් එතුමා විශාල වෙහෙසක් දැරුවා. එතුමා සෑම වෙලාවකම බැලුවේ තමන්ගේ ජනතාව වෙනුවෙන් කවර හෝ සහනයක් ලබා දීමටයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වරුණ ලියනගේ මහතා -

රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව 72000 කට ආසන්න පිරිසක් සිටිනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් නොව මධ්‍යම පළාත, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල සිටින වතු ජනතාව වෙනුවෙන් විශාල වගකීමක් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා වෙත පැවරී තිබෙනවා.

රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා- ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා ලෙස ආරුමුගම් තොණ්ඩමන් මහතා සෑම මොහොතකම එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය ලබාදුන්නා. එතුමා කිසිම අවස්ථාවක තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැහැ. එතුමා තමන්ගේ ජනතාව වෙනුවෙන් සිදු කළ සේවය අති විශාලයි. ඒ වගේම තොණ්ඩමන් මහතාට තම පියාගේ ආභාෂය නිවැරදිව ලැබී තිබෙනවා. ඒ නිසා ජීවන් තොණ්ඩමන් මහතාට විශාල වගකීමක් තිබෙනවා. තම සීයා, තම පියා වතු ජනතාව, වෙනුවෙන් ඉටුකළ සේවාව අඛණ්ඩව කරගෙන යාමේ වගකීම පැවරෙනවා.

වී හා ධාන්‍ය කාබනික ආහාර එළවළු පලතුරු මිරිස් ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා - ආරුමුගම් තොණ්ඩමන් මහතා මගේ පියාගේ සමකාලීනයෙක්. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ හිතවතෙක්. ජාතික සමඟිය වෙනුවෙන් කැප වී සිටි තොණ්ඩමන් මහතා වතු ජනතාවගේ අයිතින් වෙනුවෙන් සෑම මොහොතකම කටයුතු කළා.

වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා- එකම කැබිනට් මණ්ඩලයේ සිටි සගයෙක් ලෙස මම තොණ්ඩමන් මහතා වෙනුවෙන් මගේ ශෝකය ජීවන් තොණ්ඩමන් මහතාට පිරිනමනවා. තොණ්ඩමන් මහතා කිසිම වෙලාවක ප්‍රචණ්ඩ දේශපාලනය අනුමත කළේ නැහැ. ඔහුව විවිධ දේ වෙනුවෙන් පෙලඹවීමට ඇතැමුන් උත්සාහ කළා. නමුත් ඔහු බුද්ධිමත් ලෙස කටයුතු කළා. ඒ වගේම උතුරේ වගේම කඳුකරයේ ජනතාවත් ආයුධ අතට ගත්ත නම් වෙනදේ හිතා ගන්නටත් අමාරුයි. ඒ නිසා ඔහු මේ රට වෙනුවෙන් ඉටුකළ සේවය අති විශාලයි. ඒ වගේම තොණ්ඩමන් මහතා ඉන්දියාව සමඟ සමීප සම්බන්ධතාවක් පැවැත්වූවා.

පරිසර ඇමති මහින්ද අමරවීර මහතා- තොණ්ඩමන් මහතා අප සමඟ සමීපව ඇසුරු කළ වතු ජනතාව වෙනුවෙන් සෑම මොහොතකම පෙනී සිටි නායකයෙක්. එතුමා සමඟ අපි දේශපාලන වැඩවලට සම්බන්ධ වුණා. වතුකරයට අවශ්‍යම නායකත්වයක් තමයි තොණ්ඩමන් මහතා කියන්නේ. එතුමා මියයන මොහොතෙත් කතා කළේ වතු ජනතාවගේ වැටුප් වැඩිකර ගැනීම වෙනුවෙන්.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය- තොණ්ඩමන් මහතා කියන්නේ ප්‍රායෝගික දේශපාලන නායකයෙක්. කුඩා කල සිටම තම සීයාගේ ආභාසය ලැබූ තොණ්ඩමන් මහතා සීයාගේ අඩිපාරේ යමින් වතු ජනතාව වෙනුවෙන් තම සේවය ඉටු කළා.එතුමාගේ අභාවය වතු ජනතාවට වගේම එතුමාගේ බිරියට, දරුවන්ටත් විශාල පාඩුවක්.

අජිත් රාජපක්ෂ මහතා මුලසුනට පැමිණියේය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා (ශ්‍රීලපොපෙ)- තොණ්ඩමන් පරම්පරාව දිගුකාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. එතුමා පිළිබඳ බොහෝ දේ කිය වුණා.

ඉන්දියානු සම්භවයක් සහිත ජනතාවගේ පුරවැසිභාවය හා තොණ්ඩමන් පරම්පරාව අතර විශාල බැඳීමක් තිබෙනවා. ඒ ජනතාවගේ පුරවැසි භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගුවේ තොණ්ඩමන් පරම්පරාවයි. ආරුමුගම් තොණ්ඩමන් මහතා කියන්නේ නිහතමානි මිනිසෙක්. වතුකරය තුළ කවර හෝ ප්‍රතිසංස්කරණයක්, වෙනසක් නිර්මාණය වුනා නම් ඒ වෙනසට තොණ්ඩමන් පරම්පරාව දායක වී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (ශ්‍රීලපොපෙ) - වතුකරයේ ජනතාව වෙනුවෙන් තොණ්ඩමන් මහතා පෙනී සිටියා වගේම එතුමා සිංහල ජනතාව වෙනුවෙන්ද පෙනී සිටියා. එතුමාගේ මිත්‍රයින් අතර සිංහල මිත්‍රයන් පිරිසක් සිටියා. එතුමා ජනතාව අතර නායකයෙක් වුනා වගේම එතුමා මිතුරන් අතර මිතුරෙක් වුණා. ඔහු ක්‍රිකට් තරඟ නැරඹීමට විශාල ආශාවක් දැක්වූවා. ඔහු තරඟ නරඹන්නට යන්නේ සිංහල මිතුරන් සමඟ. උතුරේ තරුණයින් ආයුධ ගත්තා වගේ වතුකරයේ තරුණයන්ද ආයුධ ගත්තා නම් තත්ත්වය වෙනස් වෙන්නට තිබුණා. එතුමා වතුකරයේ තරුණයින් එයින් මුදා ගත්තා. වතුකරයේ ජනතාවගේ පුරවැසි භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එතුමා විශාල වෙහෙසක් දැරුවා.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා (ශ්‍රීලපොපෙ)- ජාතිවාදී අදහස් වලින් තොරව කටයුතු කළ නායකයෙක් ලෙස තොණ්ඩමන් මහතා හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම එතුමා විවිධ කුමන්ත්‍රණවලට හසු වූයේ නැහැ.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා - මාතලේ දිස්ත්‍රික්කයේ වතු ජනතාව ඇතුළු සමස්ත ජනතාව වෙනුවෙන් හා තොණ්ඩමන් මහතා වෙනුවෙන් මාගේ ශෝකය පිරිනමනවා. වතු ජනතාවට අලුත් ජීවිතයක් ලබාදීමට තොණ්ඩමන් මහතා විශාල වෙහෙසක් දැරුවා. මාතලේ වතු 22 ක ජනතාවට අවශ්‍ය පහසුකම් පවා ලබාදීමට තොණ්ඩමන් මහතා මහන්සි වුණා.

තැපැල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති එස් වියාලේන්ද්‍රන් මහතා- තොණ්ඩමන් මහතාගේ අභාවය වතු ජනතාවට පමණක් නොව සියලු ජනතාවට බලපානවා. ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නාමය අමරණීයයි. එතුමාගේ දේශපාලන ගමන් මග දිගුකාලීනයි. ඔහුගේ දේශපාලන ගමන් මඟ තුළ විවේචන ඇති. නමුත් තොණ්ඩමන් මහතා වතු ප්‍රජාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළා. කඳුරට දේශපාලනයේ පෞරුෂය ලෙස මාධ්‍ය මඟින් පවා එතුමාව හඳුන්වා තිබුණා. කඳුරට ජනතාව වෙනුවෙන් නිර්භයව සටන් කිරීමට හැකි නායකයෙක් අද අහිමි වෙලා තිබෙනවා.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා (ශ්‍රීලපොපෙ)- ආරුමුගම් තොණ්ඩමන් මහතා අපගෙන් සමුගත්තේ අපි කවුරුත් විශ්වාස නොකළ විදිහට. ජාතිවාදි ගිනි දැල් වලින් උතුර ගිනි ගත්තත් වතුකරය ඇවිලීමට එතුමා ඉඩ දුන්නේ නැහැ. වතු ජනතාවගේ මූලික අවශ්‍යතා ටික ලබාදීම වෙනුවෙන් එතුමා විශාල වෙහෙසක් දැරුවා. වතුකරයේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමටත් එතුමා වෙහෙසුනා.

(කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය)

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා -ආරුමුගම් තොණ්ඩමන් මහතා මම හඳුනාගත්තේ 2010 පාර්ලිමේන්තුවට ආවට පස්සේ. එතුමා මෙරට කම්කරු ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා. එතුමා මියයන මොහොත දක්වාම වතු ජනතාව වෙනුවෙන් සේවය කළා. ඒ වගේම එතුමා කිසිදු අවස්ථාවක ජාතිවාදි අදහස් ප්‍රකාශ කළේ නැහැ.

ඉඩම් කළමනාකරණ රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා- තොණ්ඩමන් මහතා වතු යටිතල පහසුකම් ඇමතිවරයා ලෙස විශාල සහයෝගයක් පොළොන්නරුව වෙනුවෙන් ලබා දුන්නා. සංහිඳියාවට, එතුමා හොඳ උදාහරණයක්. එතුමාට සිංහල, දෙමළ මුස්ලිම් සියලු දෙනාම හිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මහතා (ශ්‍රීලපොපෙ)- ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මම ආශ්‍රය කරලා නැහැ, නමුත් එතුමාගේ හැඩය මම දැනගත්තා.

යුද්ධය වතුකරයට යන එක වැළැක්වුණේ තොණ්ඩමන් මහතා වැනි අය නිසායි. එතුමා ඉටුකළ සේවය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට ජීවන් තොණ්ඩමන් මහතාට හැකි වේවි යැයි හිතනවා.

පත් කළ මන්ත්‍රී සුරේෂ් රාඝවන් මහතා (ශ්‍රීලපොපෙ)

වතු ජනතාව වෙනුවෙන් නායකත්වය ලබාදීම සඳහා හතරවැනි පරම්පරාව ලෙස ජීවන් තොණ්ඩමන් මහතා පත්ව සිටිනවා. ඔබතුමාගේ උර මත විශාල වගකීමක් තිබෙනවා. ඔබ ඔබතුමාගේ පියා, සීයා වෙනුවෙන් ඒ වගකීම ඉටු කළ යුතුමයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා -දීර්ඝ කතාවක් සකස් කරගෙන සිටියේ. නමුත් කාලය ප්‍රමාණවත් නැති නිසා මම රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතාට කාලය ලබා දෙනවා. ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් එතුමාගේ බිරිය, පුත් ජීවන්, දියණියන් දෙදෙනාට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ශෝකය පිරිනමනවා. ඒ වගේම තොණ්ඩමන් මහතා සෑම වෙලාවකම ප්‍රජාතන්ත්‍රවාදී මතවාද දැරු මිනිසෙක්. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටි මිනිසෙක්. රට වෙනුවෙන් පෙනී සිටි මිනිසෙක්. අද තොණ්ඩමන් මහතාට ශෝකය පිරිනැමීමටවත් දෙමළ නායකයන් නැහැ. අඩුම තරමේ දිගම්බරම් මහතාවත් ඇවිත් නැහැ. ත්‍රස්වාදය, යුද්ධය පැවැති වකවානුවේදී වතුකරයේ තරුණයින් ආයුධ අතට ගනීවි කියල සියලු දෙනාටම බයක් තිබුණා. නමුත් තොණ්ඩමන් මහතා එසේ සිදුවන්න ඉඩ දුන්නේ නැහැ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න