පක්ෂයේ මතයට පටහැණි ප්‍රකාශ එපා | දිනමිණ

පක්ෂයේ මතයට පටහැණි ප්‍රකාශ එපා

පොහොට්ටුවේ ලේකම් මන්ත්‍රීන්ට ලියයි

පක්ෂයේ මතයට පටහැණිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා එම පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත. යම් කිසි මන්ත්‍රීවරයකුට පක්ෂයේ මතයට පටහැනි මතයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් එය කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ යුතු වන අතර, එසේ නොමැතිව කටයුතු කිරීම පක්ෂයේ විනය කඩ කිරීමක් ලෙස සලකන බවත් දන්වා ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මැතිවරණ තුනේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූයේ පක්ෂය ආරම්භයේ සිට පවත්වාගෙන ආ විනයත්, සියලු සාමාජිකයන් එක මතයක පිහිටා කටයුතු කිරීමත්, සියලු දෙනා පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුගතව කටයුතු කිරීමත් නිසා වන බව ප්‍රධාන ‍ලේකම්වරයා සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

ඒ අනුව පක්ෂයේ මහජන නියෝජිතයන් ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමේදී සහ මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී පක්ෂයේ පොදු මතයට අනුගතව සහ පක්ෂයේ ක්‍රියාපිළිවෙතට එරෙහි නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මේ මඟින් අවධාරණය කර ඇත.

ධනුෂ්ක ගොඩකුඹුර

 

නව අදහස දක්වන්න