එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස් වෙයි | දිනමිණ

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩුව පවතින නියෝජ්‍ය නායක ඇතුළු තනතුරු ගණනාවක් සම්බන්ධයෙන් වන යෝජනා සලකා බැලෙන තීරණාත්මක පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) හවස සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.

නියෝජ්‍ය නායක ධුරයට අමතරව පක්ෂයේ සභාපති, භාණ්ඩාගාරික ඇතුළු තනතුරු ගණනාවක් පුරප්පාඩුව පවතින අතර, ඒවා සඳහා සුදුස්සන් ගැන සලකා බැලීමද අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදු කිරීමට නියමිතය. එම තනතුරු දැරූවන් සමඟි ජන බලවේගයට එක් වීම නිසා පුරප්පාඩු පවතින අතර, එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව මාස දෙකකට වඩා එම තනතුරු පුරප්පාඩුව පැවතිය නොහැක. අදාළ තනතුරු සම්බන්ධයෙන් පක්ෂයේ සියලු දෙනාගේ එකඟතාව පළ වූ සැනින් පත් කිරීම් සිදු කරන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

නියෝජ්‍ය නායකයා පත් කිරීම ගැන එකඟතාවකට එළැඹීමට නොහැකි වුවහොත් පමණක් ඡන්දයක් පැවැත්වෙනු ඇතැයි හෙතෙම පැවසීය.

තෝරා පත් කර ගනු ලබන නියෝජ්‍ය නායකයා නායකත්වයේ අනුප්‍රාප්තිකයා ලෙස කටයුතු කිරීමට නියමිතය. දැනට පැවති සාකච්ඡා අනුව එළඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසු අනුප්‍රාප්තිකයාට නායකත්වය පැවරීමට අදහස් කර ඇති අතර, පළාත් සභා මැතිවරණය ඉක්මනින් නොපැවැත්වුණොත් ලබන ජනවාරි මස අනුප්‍රාප්තිකයාට නායකත්වයේ බලය පැවරීම බොහෝ දුරට සිදු වනු ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු, පක්ෂ මහ ලේකම් ධුරය පූර්ණ කාලීන තනතුරක් ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරිම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සිදු කිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ශිරෝමි අබයසිංහ සහ මැදකොළඹ සමූහ ආරියරත්න ගණේගොඩ

නව අදහස දක්වන්න