හොකී තොටිල්ල කැලෑ වැදිලා | දිනමිණ

හොකී තොටිල්ල කැලෑ වැදිලා

මෙරට හොඳම හොකී ක්‍රීඩාංගණය හොකී ක්‍රීඩාවේ තොටිල්ල ලෙස විරුදාවලිය ලැබූ මාතලේ පුරවරයේ ක්‍රීඩාව වර්තමානය වනවිට දැඩි පසුබෑමකට ලක්වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. වාර්තාගත ඉලක්ක කරා යෑමට බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය එකල ජාතික ක්‍රීඩා උලෙළ පැවැත්වීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළ ද, වර්තමානයේ එහි ක්‍රීඩාවක් පැවැත්වීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඒ මහතා කීවේය.

පසුගිය වසර 5ක කාලයක් එම ක්‍රීඩාංගණය වසා තැබීමෙන් මාතලේට එම තත්ත්වය උදා වූ බව ද, මාතලේ ක්‍රීඩා නිලධාරීන් හා පුහුණුකරුවන් අද වනවිට සිය පෞද්ගලික වියදමින් ක්‍රීඩාව යළි නඟා සිටුවීමට කටයුතු කරමින් සිටින බව රෝහණ කුමාර දිසානායක මහතා කියා සිටියේය.

මාතලේ තානායමේදී පසුගියදා පැවැති ක්‍රීඩකයන් සහ ක්‍රීඩා නිලධාරින්ගේ හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා මේ අදහස් පළ කළේය.

‘මාතලේ ක්‍රීඩකයන් අද කිසිවක් කරකියාගත නොහැකිව අසරණ තත්වයට පත් වෙලා අතරමංවෙලා ඉන්නවා. ක්‍රීඩාව බිංදුවට වැටිලා. 2012දී එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩාව නැංවීමට අතිවිශාල මුදලක් ලැබී තිබුණා. බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමටත්, පිහිනුම් තටාකය හා ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහාත් ඒ මුදල් ලැබී තිබුණා. මේ මුදල් මධ්‍යම ආණ්ඩුවෙන් අනුමත වූවත්, පළාත් සභාව හරහා ලබාගත යුතුව තිබුණා. මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඒ මුදල් අනුමත වුණා. නමුත් 2015දී රජය වෙනස් වීමෙන් පසු එය නවතා දැමුවා.‘ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාතලේ නගරයේ සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය යළි නඟා සිටුවීම සඳහා කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

වසර 5ක් පුරා බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය වසා දමා ඇති අතර, එහි ගෘහස්ථ ක්‍රීඩාංගණය අද වනවිට ගිනි නිවීමේ හමුදාවේ නවාතැන බවට පත්වී ඇතැයි මාධ්‍ය හමුවට පැමිණ සිටි පුහුණුකරුවෝ චෝදනා එල්ල කළහ.

එහි පිහිනුම් තටාකය හා ගෘහස්ථ ක්‍රීඩාංගණය මෙතෙක් ජනතා අයිතියට පවරා නැති බවද මෙහි දී අනාවරණය විය.

නව අදහස දක්වන්න