අපි 20ට විරුද්ධයි | දිනමිණ


 

අපි 20ට විරුද්ධයි

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

ආණ්ඩුව හදිසියේ සිදු කිරීමට උත්සාහ කරන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් ද? යහපාලන රජය ඇති කළ ව්‍යවස්ථා සංශෝධන රට අස්ථාවර තත්ත්වයකට පත් කිරීමට හේතු වීද? යන කරුණු ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි.

එක්සත් ජාතික පක්ෂය පාක්ෂිකයන්ව අත්හැරලා දැම්මා.  ඒ හේතුව නිසාමයි පක්ෂය දියාරු වුණේ. තමන්ට අත දුන් ජනතාව ආරක්ෂා කරනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂය සිදු කළේ වෙනත් දේවල්. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් පාක්ෂිකයන් ආරක්ෂා කරන යුතුකම පැහැරහැරියා. මම අදත් උත්සාහ කරන්නෙ එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු කරන්නයි. ඒ වෙනුවෙන් මම රනිල් වික්‍ර මසිංහ මහතා හා කරු ජයසූරිය මහතා යන දෙදෙනාම  මුණ ගැසුණා.

 

l 19 වන සංශෝධනය ඉවත් කර නව රජය 20 වන සංශෝධනය ගෙන එනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?

20 වන සංශෝධනය සමගි ජන බලවේගය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. හේතුව තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගෙන එන්නටයි. 19 වන සංශෝධනයේ තාක්ෂණික අඩු පාඩු කිහිපයක්ම තිබෙනවා. එය අපිත් පිළිගන්නවා. ස්වාධීන කොමිෂන් සභාවල ගැටලු එහි සාමාජිකයන් ඉවත් කිරීම, ඔවුන්ගේ ක්‍රියාවල අඩු පාඩු අපිත් දුටුවා. ඒවා සම්බන්ධයෙන් සංශෝධන ගෙන ඒමේ වරදක් නැහැ. මැතිවරණ කොමිස‍මේ සාමාජිකයන් ප්‍රමාණය ගණපූරණය පිළිබඳව ප්‍රායෝගික ගැටලු තිබෙනවා. ඒ නිසා කළ යුතුව තිබෙන්නේ ඒ අඩු පාඩු සකස් කිරීම මිසක් 19 වන සං‍ශෝධනය විසික් කර 20 වන සංශෝධනය ගෙන ඒම නෙමෙයි. 19 වන සංශෝධනය ඉවත් කරලා 20 වන සංශෝධනය ගේන එක ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අතුගා දැමීමක් බවයි කියන්න තිබෙන්නේ. ඒ වෙනුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඒකාධිපති මුහුණුවරක් සවි කරන්න යන බව පෙනී යනවා. 1978 ව්‍යවස්ථාව එපා කිවු අය එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බහුභූත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බව හඳුන්වපු දේශපාලන පක්ෂය යළි වතාවක් එහි තිබෙන කාරණාවලට යන්න උත්සාහ කිරීම හාස්‍යයට කරුණක්.

 

l එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා හැටියට එක්සත් ජාතික පක්ෂය අද වැටී තිබෙන තත්ත්වය ගැන ඔබේ මතය කුමක් ද?

එක්සත් ජාතික පක්ෂය මේ රටේ පැරැණිතම සහ ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් පසුගිය වසර ගණනාව තුළ හෙමින් හෙමින් එක්සත් ජාතික පක්ෂය දියවීමකට පත් වුණා. ඒකට හේතු ගණනාවක් තිබ්බා. ජනතාවගේ හැඟීම් නිවැරැදිව හඳුනා නොගැනීම එක් හේතුවක්. එමෙන්ම කාලයට අවශ්‍ය පරිදි නායකත්වය වෙනස් නොකිරීම තවත් හේතුවක්. එක්සත් ජාතික පක්ෂයට හරියාකාරව ඉදිරියට යන්න සැලසුමක් නොතිබීමත් තවත් හේතුවක්. පක්ෂය කඩා වැටීමට හේතු වුණේ මේ කාරණා. මේ කරුණු නිසා එක්සත් ජාතික පක්ෂය බිඳවැටුණා. දැන් පක්ෂය ගොඩගන්න නම් නව මාවතකට යොමු විය යුතුයි. මේ යන ක්‍රමයට නම් ඒ සඳහා ඉඩක් නැති බවයි පෙනී යන්නේ. එක්සත් ජාතික පක්ෂය වටා රොක් වී සිටින ජනතාව බොහෝ දෙනා කිව්වෙ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට භාරදෙන්න කියලා. නමුත් ඒ ඉල්ලීම ඉටු කරන්න එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කිහිපදෙනෙක් ඉඩ දුන්නෙ නැහැ. එක්සත් ජාතික පක්ෂය දියවීමේ සම්පූර්ණ වගකීම එම කණ්ඩායම භාරගත යුතු බවයි මගේ මතය. සමගි ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරය වටා ජනතාව එකතු වුණා. එක්සත් ජාතික පක්ෂයට දැන් කරන්න තියෙන්නෙ සමගි ජන බලවේගයට එකතු වීම පමණයි. එහෙම කළොත් විතරයි එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා වෙන්නෙ. විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් 250000 ක් පමණ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදී තිබුණා. ඔවුන් සියලු දෙනා යළි සමගි ජන බලවේගය වටා එකතු කර ගන්න දේශපාලන වශයෙන් දැනටමත් අපි කටයුතු කරමින් සිටිනවා.

 

l එක්සත් ජාතික පක්ෂයේ ඔබ මහ‍ ලේකම්වරයා ලෙස සිටියා නම් මෙවැනි තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂයට උදා නොවේවී යැයි ඔබ විශ්වාස කරනවා ද?

ඉතා සරලව කියන්න තියෙන්නෙ මම පක්ෂයේ මහ ලේකම්ව සිටියා නම් පක්ෂයට මේ දේ සිදු වන්නෙ නැහැ කියලයි. හොඳම උදාහරණය තමයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා 2014 දී දෙවරක්ම එකට එකතු කළේ මමයි. බෙදුණු පක්ෂය යළි එකතු කරපු මම මේ ආකාරයෙන් වීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පාක්ෂිකයන් හොඳින් දන්නවා. අවාසනාව වන්නේ පාක්ෂිකයන් ගැන නොසලකා කණ්ඩායම් බලයට එක්සත් ජාතික පක්ෂය පත් වීමයි. එක්සත් ජාතික පක්ෂය පාක්ෂිකයන්ව අතහැරලා දැම්මා. ඒ හේතුව නිසාමයි පක්ෂය දියාරු වුණේ. තමන්ට අත දුන් ජනතාව ආරක්ෂා කරනවා විනා එක්සත් ජාතික පක්ෂය සිදු කළේ වෙනත් දේවල්. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් පාක්ෂිකයන් ආරක්ෂා කරන යුතුකම පැහැර හැරියා. මම අදත් උත්සාහ කරන්නෙ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කරන්නයි. ඒ වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ මහතා, කරු ජයසූරිය මහතා යන දෙදෙනාම මුණ ගැසුණා සාකච්ඡා කළා. ඒත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. සුපුරුදු මඟහැරීම නම් සිදු වුණා. ඉන් සිදු වන බරපතළ ප්‍රතිවිපාක වත්මන් පක්ෂයේ නායක වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතුයි. අනාගතයේ මේ පක්ෂ දෙක එකට එකතු කර වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නායකත්වයට පත් කරන්න මම මැදිහත්ව කටයුතු කරන්න සූදානම්.

 

l එක්සත් ජාතික පක්ෂය කඩාවැටීමට බැඳුම්කර ගනුදෙනුව සහ පාස්කු ප්‍රහාරය හේතු වුණා නේද?

එක්සත් ජාතික පක්ෂය බිඳවැටීමට කාරණා ගණනාවක් බලපෑවා. 2015 බලය ලැබුණේ හොරකම, දූෂණය, වංචාව පිටු දකින්නයි. හොරුන්ට වංචාකාරයන්ට දඬුවම් දෙන්න ජනතාව වරමක් දුන්නා. අවාසනාවට වගේ ඒ ජනවරම එක්සත් ජාතික පක්ෂයේ පාලකයන්ට අමතක වුණා. මිනිසුන් කතාවට කිව්වෙ හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරු විසින් අල්ල ගත්තා කියලා. ඒ නිසා බරපතළ ලෙස මේ සිදුවීම් සියල්ලම බලපෑවා. මහජන විශ්වාසය බිඳ වැටුණා. බැඳුම්කර ගනුදෙනුවේ ක්‍රියාකාරිත්වයේ රහසක් නැතිව යහළු මිත්‍රයෝ ආරක්ෂා කරන්න ගත් පියවර නිසා අවසානයේදී දුක් විඳලා ගොඩනගපු ආණ්ඩුව බිඳවැටුණා. ඒ වගේමයි බැඳුම්කරයේ පමණක් නොවෙයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් තදබල ලෙස ආණ්ඩුවට එරෙහිව බලපෑවා.

 

l ආණ්ඩුවේ ගමන ගැන ඔබේ මතය කුමක් ද?

ආණ්ඩුවේ ප්‍රමුඛතම පරමාර්ථය ඉලක්කය විය යුත්තේ රටේ ආර්ථිකය නංවාලීමයි. මේ වනවිට රට අභියෝග ගණනාවකට මුහුණදී තිබෙනවා. ලෝකයේ බලපෑම වගේම අපිට පාස්කු ප්‍රහාරයත් බලපෑවා. ර‍ටේ ප්‍රධාන ආර්ථික මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය. පාස්කු ප්‍රහාරයත් සමඟ එය නැවතුණා. ඒ ‍වගේමයි කොවිඩ් 19 සමඟ අපිට විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා. මේ බරපතළ අභියෝග ජයගන්න ආණ්ඩුවට සැලසුමක් තිබෙන බව පෙනෙන්න නැහැ. අපි මේ බව කියන්නෙ කාරණා ඇතිව. ලෝකය පුරා කොවිඩ් හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්න රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග අපිත් අනුගමනය කළ යුතුයි. ඒ වගේම නාස්තිය දූෂණය හොරකම පිටු දැකීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. කොවිඩ් වසංගතය නිසා කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න ජාතික සැලසුමක් අවශ්‍යයි. ඒක කොටස් කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කළ යුතුයි. කෙටිකාලීන, මධ්‍යකාලීන, දීර්ඝකාලීන ව්‍යාපෘති ඉදිරිපත් කළ යුතුයි. අපි දැන් විනිමය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අපේ ආර්ථිකය ණය සහ පොලී ගෙවන්නත් ප්‍රමාණවත් නැහැ. ණය සහ පොලී ගෙවන්න ආදායම දෙගුණයකින් වැඩි කරන්න ඕන. අපිට ලැබෙන ආදායම අඩු වෙමින් තිබෙනවා.

 

l වත්මන් ආණ්ඩුව ගෙන යන යහපත් කාරණාවලදී සමඟි ජන බලවේගයේ සහාය ලබා දෙනවා ද?

ඇත්තටම ඔව්. ආණ්ඩුව රටේ පොදු ජනතාව වෙනුවෙන් ඉටු කරන සෑම සාධනීය පියවරකටම සමගි ජන බලවේගය සහාය දෙනවා. ආණ්ඩුව ගන්නා යහපත් ක්‍රියාමාර්ගවලට අපි හරස් වෙන්නෙ නැහැ. ඉතා පැහැදිලිව කියන්න ඕන රටේ ජාතික ආරක්ෂාව පොදු යහපත වෙනුවෙන් අපි ආණ්ඩුව සමඟ ඉන්නවා. ආණ්ඩුව කරන කුඩු, පාතාලය ඉවත් කිරීම වැනි පොදු ඕනෑම ක්‍රියාවකට අපේ සහාය ලබා දෙනවා. පසුගිය කාලයේ ජාතික ආණ්ඩු සංකල්පය ගෙන කළ විනාශය අපි දුටුවා. තවදුරටත් එවැනි විනාශ කිරීම අප අනුමත කරන්නේ නෑ. අපි හැමවිටම පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් අදහස් උදහස් ලබා දෙන්න සූදානම්. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් උදව්කරන්න අප පසුබටවන්නේ නෑ.

 

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න