20 බහුතර ජනතාවටයි | දිනමිණ


 

20 බහුතර ජනතාවටයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගැන මතු වන විවිධ මතවාද දහනවවන සංශෝධනයේ දුර්වලතා මොනවාද? සහ තවත් දේශපාලන කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි.

විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙන්නේ රට ඉස්සරහට රැගෙන යෑමට උදවු කිරීමට නොවෙයි; රට  අස්ථාවරව කඩා වැටෙන රටක් බවට පත් කිරීමටයි.  ඒකට දහනව වන සංශෝධනය හොඳට අඩුම කුඩුම  සපයනවා. අද  විපක්ෂය දුර්වල නිසා ඒක ඔවුන්ට වාසියක්. දහනව වන  සංශෝධනය මඟින් දියාරු ආණ්ඩුවක් පවත්වා ගෙන ගොස් ජනතා අප්‍රසාදය ඇති කර අවුරුදු පහකින් බලය ලබා ගැනීමයි විපක්ෂයේ කූට  සැලසුම වෙලා තියෙන්නේ.

l දහනව වන සං‍ශෝධනයට ඔබ ඇතුළු පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් අති බහුතරය සහාය දුන්නා. අවුරුදු හතරකට පෙර එයට සහාය පළ කළ ඔබ ඇතුළු පිරිස විසිවන සංශෝධනයට කොන්දේසි විරහිතව සහය පළ කරන බවක් පෙනෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

දහනව වන සංශෝධනය ඇති කිරීමේ මූලික අරමුණ වුණේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර නැතිනම් විධායක ජනාධිපතිවරයා නාමික ධූරයක් බවට පත් කර පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීමයි. ඒත් දහනව වන සංශෝධනයේ ඇතැම් අංගවලට අධිකරණයෙන් අනුමැතිය ලැබුණේ නැහැ. ඒ නිසා දහනව වන සංශෝධනය පූර්ණ වශයෙන් ඉදිරිපත් කරන්න එවක පැවැති ආණ්ඩුවට හැකියාව ලැබුණේ නැහැ. ඒ තත්ත්වය නිසා ආරම්භයේ ඉඳන්ම දහනවය අංග විකල සංශෝධනයක් බවට පත් වුණා. එදා සිටි ජනාධිපතිතුමාට ෂර්ට් එක අයිති වුණා එදා සිටි අගමැති තුමාට කලිසම අයිති වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ රටම විකට චිත්‍රපටයක් වීම. රටේ බලය කේන්ද්‍ර දෙකක් වටේ කැරැකුණා. ඇත්තෙන්ම ඒ තත්ත්වය රටක් විදිහට කිසිසේත්ම හොඳ තත්ත්වයක් නොවෙයි. ජනාධිපති අගමැති රණ්ඩුව නිසා රට අනාරක්ෂිත වුණා. සහරාන් වැනි අන්තවාදී නිදහසේ වැඩ කළේ මේ තත්ත්වය නිසයි. අපිට දවස් පනස් දෙකේ ආණ්ඩුව වෙලාවේ තේරුණා කථානායකවරයාටත් විධායක බලය බෙදී ගිහින් කියල. මේ හැම දෙයක්ම තහවුරු කළ ප්‍රධාන කරුණ වුණේ දහනවය සංශෝධනය අසාර්ථකයි කියන කරුණයි. ඇත්තෙන්ම රටක් මේ විදිහට අයාලේ යෑම හොඳ දෙයක් නොවෙයි. මේ හැම දෙයක්ම ගැන සාධාරණව සලකා බලා තමයි අප තීරණය කළේ විසිවන සංශෝධනයට සහය දී දහනවය අහෝසියට දායක වෙන්න ඕනැ කියල.

 

l ඔබ කියන්නේ විසිවන සංශෝධනය කියන්නේ රටේ ඇතිව තිබෙන හැම ප්‍රශ්නයකටම විසඳුක් කියල ද?

මම එහෙම කියන්න ඉක්මන් වෙන්නේ නැහැ. ඒත් ජනතාව මුලින් ජනාධිපතිතුමාට වැඩි ඡන්ද ලක්ෂ දාහතරක ජයග්‍රහණක් ලබා දුන්නේ දහනවවන සංශෝධනය අහෝසි කිරීමටයි. ඉන් පසු ජනතාව මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් දුන්නා මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියල. ඒ නිසා විසිවන සංශෝධනය සිදු කිරීමට රටේ විශාල ජනමතයක් ලැබිල තියෙනවා. අපි ඒ ජනමතයට ගරු කර විසිවන සංශෝධනයට සහාය දිය යුතුයි කියන තැන අපි ඉන්නේ.

ජනාධිපතිතුමාව විශ්වාස කර තමයි ජනතාව ඡන්දය ලබා දුන්නේ ඒ නිසා අප ඔහුට වැඩ කිරීමට අවශ්‍ය බලය පැවරිය යුතුයි. එහෙම නැතිනම් වෙන්නේ රට ගොඩ ගන්න ලැබී තිබෙන මේ අවස්ථාවත් නිකරුණේ නාස්ති වී යාමයි.

 

l ඒත් විපක්ෂය නඟන ප්‍රධාන තර්කය බවට පත්වන්නේ මෙම සංශෝධනය නිසා රට තුළ ඒකාධිපති තත්ත්වයක් ඇති වෙයි කියල?

විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙන්නේ රට ඉස්සරහට රැගෙන යෑමට උදව් කිරීම නොවෙයි. රට අස්ථාවරව කඩා වැටෙන රටක් බවට පත් කිරීමයි. ඒකට දහනවවන සංශෝධනය හොඳට අඩුම කුඩුම සපයනවා. අද විපක්ෂය දුර්වල නිසා ඒක ඔවුන්ට වාසියක්. දහනවවන සංශෝධනය මගින් දියාරු ආණ්ඩුවක් පවත්වා ගෙන ගොස් ජනතා අප්‍රසාදය ඇති කර අවුරුදු පහකින් බලය ලබා ගැනීමයි විපක්ෂයේ කූට සැලසුම වෙලා තියෙන්නේ. එහෙම නැතිව ඒ අය කියන ප්‍රජාතන්ත්‍රවාදය වැනි අදහස් බොරු. ජනාධිපතිතුමා අලුත් අදහස් ඇති රටට අවංකව වැඩක් කරන්න ඕනෑ කමක් ඇති නායකයෙක්. ජනතාවට දෙවරක්ම ඔහුට ජනවරම ලබා දී තියෙනවා ව්‍යවස්ථා සංශෝධනයටත් ඉදිරියේ අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීමටත්. අප වැඩ කරන්නේ බහුතර ජනමතයට අනුව මිසක් ඒකාධිපති විදිහට නොවෙයි.

 

l අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ගැනත් ආණ්ඩු පාර්ශ්වයෙන් අදහසක් මතුව තිබෙනවා ද?

හැත්තෑ අට ව්‍යවස්ථාව දැනට දහනව වතාවක් සංශෝධනය වෙලා තියෙනවා ඉදිරියේ දී එය විසි වතාවක් බවට පත් වෙනවා. ඇත්තෙන්ම මෙම ව්‍යවස්ථාවට තවත් අණ්ඩ දමන්න බැහැ, පැච් දමන්න බැහැ ඒ තරමටම මේ ව්‍යවස්ථාව විකාරයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වෙනවා. ඒ ව්‍යවස්ථාව කඩිනම්ව ඉදිරිපත් කිරීම සුදුසු නැහැ එයට පක්ෂ විපක්ෂ සැමගේ අදහස් සිවිල් සංවිධානවල අදහස් ඇතුළත් විය යුතුයි. දාහත දහඅට දහනවය විස්ස ඇතුළු සැම සංශෝධනයකටම ප්‍රගතිශීලී යෝජනා එක් කළ යුතුයි. ඉදිරි අවුරුදු දෙක තුළ අලුත් ව්‍යවස්ථාව ඇති කර ජනතාටත් රටටත් හොඳ ආරම්භයක් දිය යුතුයි. මම විශ්වාස කරනවා ඒ කාර්යයට පක්ෂ විපක්ෂ සියල්ලන්ගේ සහාය ලැබෙයි කියලා.

 

l විසිවන සංශෝධනය කෙරෙහි එල්ල වන අනෙක් ප්‍රධානම චෝදනාවක් බවට පත්ව තිබෙන්නේ ද්විත්ව පුරවැසියයන්ට නැවත මැතිවරණවලට තරග කිරීමට අවස්ථාවක් ලබා දීම යන වගන්තියයි.මෙය එක් පුද්ගලයකු ගැන අවධානය යොමු කර ඇති කළ වගන්තියක් විදිහට චෝදනා එල්ල වෙනවා?

ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම වැරැදියි. හැත්තෑ අට ව්‍යවස්ථාවේ 26 ,2 කොටසේ සඳහන් වෙනවා “ශ්‍රීලංකාවේ පුරවැසියකුට සිය පුරවැසි භාවය හිමි වුයේ පරම්පාරාවෙන් වුවද පුරවැසි භාවය පිළිබඳ නීතියට අනුව ලියාපදිංචියෙන් වුවද සියලු කාර්ය සඳහා ශ්‍රීලංකාවේ පුරවැසියකු ලෙස පමණක් විස්තර කරනු ලබන්නේය.“ විදිහට. ද්විත්ව පුරවැසියකු ට රටේ ඡන්දය භාවිතා කරන්න පුළුවන්නම් ඔහුට ඡන්දය ඉල්ලීමට ඇති බාධාව කුමක් ද. යුද කාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා විදිහට විශාල කාර්යක් කළා. එදා ඔහු විශාල සේවයක් කළා රට වෙනුවෙන්. ද්විත්ව පුරවැසියන් නොවුණු රනිල් වික්‍රමසිංහලා මංගල සමරවීරලාට වඩා රටට ආදරයෙන් වැඩ කළා. රටට ආදරය කරන රටට වැඩ කරන්න කැමැත්තෙන් ඉන්න ද්විත්ව පුරවැසියන් දහස් ගණනක් ඉන්නවා. එවැනි අයට රටට සේවයක් කරන්න අවස්ථාවක් ලබා දීම වරදක් නොවෙයි. දහනවවන ව්‍යවස්ථා සංශෝධනය ඇති කළේ එක පුද්ගලයකු එක් පවුලක් ඉලක්ක කර ගනිමිනුයි. ඇත්තෙන්ම එදා පැවැති යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට තිබුණේ රාජපක්ෂ භීතිකාවක්.

 

l මරණ දඬුවමට ලක් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයකු විදිහට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම නිසා මෙරට නීතිය මෙන්ම අන්තර්ජාතික පිළිගැනීම බාල්දු වූ බවට විපක්ෂය සඳහන් කරනවා. ඒ චෝදනාව ගැන ඔබේ අදහස කුමක් ද?

ප්‍රේමලාල් ජයසේකර මහතා වරදකරුවකු බවට අධිකරණය විසින් නම් කළ පසු ඔහු අභියාචනාධිකරණයට පෙත්සමක් යොමු කළා උසාවි තීන්දුව සලකා බලා තමන්ට සාධාරණයක් කරන්න කියල. අභියාචනාධිකරණයට මේ පෙත්සම යොමු කළ මොහොතේ සිට ඔහු වරද කරුවකු විදිහට සැලකෙන්නේ නැහැ. අභියාචනාධිකරණය ලබා දෙන තීන්දුව අනුව තමයි ඔහු වරද කරුවකුද නිවැරැදිකරුවකුද යන්න තීරණය වන්නේ. ඒ තත්ත්වය තුළ ප්‍රේමලාල් ජයසේකර මහතාට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ නෛතික වරදක් නැහැ.

 

l දේශීය ආර්ථිකය නැවත පණ ගැන්වීමේ කාර්ය භාරය පිළිබඳව ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ උත්සාහය කෙතෙක් දුරට සාර්ථක වෙයිද.?

කොළඹ සිට බලන අය මේ අමාත්‍යාංශ බෙදීම විහිළුවක් විදිහට දකිනවා. ඒත් ජනාධිපතිතුමා ඉතා නිවැරැදිව විෂය තෝරා ගෙන පුළුල් විදිහට ඇමැති මණ්ඩලයක් පත් කර තිබෙනවා. මීට කලින් සම්ප්‍රදායිකව ඇමැතිවරුන් පත් කළත් මෙවර ජනාධිපතිතුමා නව දැක්මකින් අමාත්‍යාංශ බෙදා තිබෙනවා. මෙම නව රටාව රටේ අනාගත ආර්ථික දැක්මට ලොකු ශක්තියක් වේවි.

 

උදිත ගුණවර්ධන

නව අදහස දක්වන්න