හරවත් දෙයක් පාඨකයාට දීම අපගේ අපේක්ෂාවයි | දිනමිණ


 

හරවත් දෙයක් පාඨකයාට දීම අපගේ අපේක්ෂාවයි

බදුල්ල-මොනරාගල ප්‍රාෙද්ශීය මාධ්‍යවේදී වැඩමුළුවේදී කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් කියයි

පක්ෂ විපක්ෂ සැමටම  'දිනමිණ' පුවත්පතින් ඉඩක් ලැබුණා

'දිනමිණ' ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත්

 "ආණ්ඩුවේ හොරණෑව ලෙස අලවා තිබූ ලේබලය මුළුමනින්ම ගලවා දමා පක්ෂ විපක්ෂ සැමගේ මෙන්ම පාඨක ජනතාවගේ ද විශ්වාසය දිනාගත් පුවත්පතක් ලෙසට 'දිනමිණ' පුවත්පත ඉදිරියට ගෙනයෑමේ අභියෝගය අප ජය ගන්නවා. ඒ සඳහා කාර්ය මණ්ඩලයේ කැපවීම අගය කරනා අතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඔබගෙන් ද ලැබෙන සහයෝගය අප අගය කොට සලකනවා."

ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් මහතා එසේ කියා සිටියේ ලේක්හවුස් ආයතනයට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා බදුල්ලේදී පැවති වැඩමුළුවකදීය. ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා (12) පැවති මෙම වැඩමුළුව සඳහා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයන්හි ලේක්හවුස් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 25 දෙනෙක් පමණ සහභාගි වී සිටියහ. ධර්ම ශ්‍රී කාරියවසම් මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

පසුගිය කාලයේ 'දිනමිණ' පුවත්පත ගමන් කළේ එක්තරා සීමිත මාර්ගයකයි. රජයේ හොරණෑව පමණක් නොව විරුද්ධ පක්ෂවලට මඩ ගහන පත්තරයක් බවටත් පත් වී තිබුණා. දේශපාලන ගැති භාවයට වැටීම නිසා පත්තරය ජනතාවගෙන් දුරස් වුණා. පුවත්පත් අලෙවිය පහතටම වැටුනා. ජනතාවගෙන් දුරස් වූ පුවත්පත නව ආරකට සංවර්ධනය කොට පාඨක ජනතාවට දැනුම, ප්‍රවෘත්ති විනෝදාස්වාදය මෙන්ම හරවත් දෙයක් පාඨකයාට දීම අපේ අපේක්ෂාවයි. මෙතෙක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙමින් පැවති මෙම ආයතනය ඉදිරි මාස තුනක් ඉක්මවා යන විට ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම අපේ ඉලක්කයයි."

දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් මහතා,

"කුමන ආකාරයේ තාක්ෂණික ක්‍රම ශිල්ප අලුතින් එකතු වුණත් ප්‍රාදේශීය මාධ්‍යවේදියා පත්තරය වෙනුවෙන් කරන සේවය අනුව ඔවුන්ගේ අගය වෙනස් වෙන්නේ නෑ. ඔබ ඉහළට පහළට අදින හුස්ම පොද පවා අපට බලපානවා. වසර පහමාරක පමණ කාලය තුළදී පසුගිය රජයේ වැඩපිළිවෙළෙහි අවිධිමත් හා අදූරදර්ශී බව හේතුවෙන් පාඨක ජනතාවගෙන් 'දිනමිණ' පුවත්පත දුරස් වී ගියා. අපේ ඇතැම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවා සක්‍රිය බවෙන් ඉවත් වී තිබෙනවා. දැන් අපි අලුත් ගමනක් යනවා. ඊට අවශ්‍ය නායකත්වය හා උපදේශකත්වයත් සහයෝගයත් ලැබී තිබෙනවා. ආණ්ඩුවේ හොරණෑව ලෙස ජනතාව අතරට ගිය මතය මේ වන විට වෙනස් කරමින් සිටිනවා. මෙවර මැතිවරණයේදී අසාධාරණයක් නොවන පරිදි පක්ෂ විපක්ෂ සැමටම 'දිනමිණ' පුවත්පතේ ඉඩ ලබා දුන්නා. තව දින 100කින් ලබන්නා වූ 111 වැනි 'දිනමිණ' උපන්දිනය අපි සමරන්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත් අතුරින් ජනතා විශ්වාසය දිනාගත් අංක එකේ පුවත්පත ලෙසටයි. ඒ සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඔබ සැම ලබා දෙන දායකත්වය ද අපි අගය කරනවා."

මෙම වැඩමුළුව සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හා බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා,

"වසර 77ක්ම ශ්‍රී ලංකාව හැඳින්වූයේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වුවත් සංවර්ධනය වූ රටක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට අපේ දායකත්වය ලබා දිය යුතු වෙනවා. පසුගිය වසර පහ තුළදී සිදු වූ අකටයුතුකම් හේතුවෙන් සංවර්ධන වැඩ සියල්ල අසාර්ථක වුණා. හැම ක්ෂේත්‍රයක් ගැනම මුල සිට අගටම හොඳින් දන්නා රාජ්‍ය නායකයෙක් අපට සිටිනවා. මේ තරම් ශක්තිමත් රාජ්‍ය නායකයෙක් වර්තමානයේ මොන රටකවත් නෑ. අපි මේ රට හදන්න ලොකු උත්සාහයක් ගන්නා මේ අවස්ථවේදී මාධ්‍යවේදී ඔබගෙන් ලොකු දායකත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. ධනාත්මකව සිතන පතන පරපුරක් ඇති කරන්නට ඕනෑ. 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' කියන මට්ටමට අප යා යුතු වෙනවා. හදවතට එකඟව ජාතික ගීය ගායනා කිරීමට කුඩා කාලයේ සිටම දරුවන් යොමු කරවීම ඉතාම වැදගත්. ත්‍රස්තවාදයෙන් අප රට බේරගත්තා වගේම දැන් කළ යුතුව ඇත්තේ හොරුන්ගෙන් රට බේරා ගැනීමයි."

මෙම වැඩමුළුව සඳහා 'දිනමිණ' ප්‍රාදේශීය කර්තෘ ආසිරි මල්ලවආරච්චි, සම කර්තෘ ධනුෂ්ක ගොඩකුඹුර, විශේෂාංග කර්තෘ චතුර ගීතනාත් බණ්ඩාර, ඡායාරූප සම කර්තෘ විමල් කරුණාතිලක හා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සුසිල් කුමාර යන මහත්වරු ද සහභාගි වී සිටියහ. බදුල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම ලේක්හවුස් මාධ්‍යවේදී සෝමරත්න මහතා එහිදී ලේක්හවුස් ආයතනය පිළිබඳව දිගු කලක තොරතුරු දක්වමින් කියා සිටියේ තමාගේ ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමට මෙන්ම තමාව සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක් වීමට ලේක්හවුස් ආයතනය ද හේතු වූ බවයි.

ඡායාරූප

විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න