මනාප ඡන්ද ක්‍රමය කඩිනමින් වෙනස් කර: ආසනයේ ජනතාවට වගකියන මන්ත්‍රීවරයකු පත් කර ගත හැකි මැතිවරණ ක්‍රමයකට අවධානය | දිනමිණ

මනාප ඡන්ද ක්‍රමය කඩිනමින් වෙනස් කර: ආසනයේ ජනතාවට වගකියන මන්ත්‍රීවරයකු පත් කර ගත හැකි මැතිවරණ ක්‍රමයකට අවධානය

විදේශ සබඳතා ඇමැති  දිනේෂ් ගුණවර්ධන

මනාප ඡන්ද ක්‍රමය කඩිනමින් වෙනස් කර ඒ ඒ ආසනයේ ජනතාවට වගකියන මන්ත්‍රීවරයකු පත් කර ගතහැකි ආකාරයේ මැතිවරණ ක්‍රමයක් මේ රටේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව විදේශ සබඳතා ඇමැති හා පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මනාප ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ඡන්දය දුන් ජනතාව හා ඔවුන්ගේ ප්‍රදේශයේ හෝ නිවැරැදිව හඳුනා නොගන්නා බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මහරගම, ගොඩිගමුව ජයමාවතේ පිහිටි අභිනවයෙන් ඉදි කළ ප්‍රජාශාලා ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ උත්සව සභාවකදීය. ඇමැතිවරයාගේ විමධ්‍යගත මුදලින් රුපියල් ලක්ෂ 15ක් වැය කර ඉදි කළ මේ ප්‍රජාශාලාව ජය මාවතේ එකමුතු සුබසාධක සමිතියට පවරා දීම ද මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

වත්මන් ඡන්ද ක්‍රමය අනුව තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ගම්බිම් ගැන මන්ත්‍රීවරු දන්නේ නෑ. මේ නිසා ජනතාවට අසාධාරණයක් වෙනවා. මොකද තමන් ඡන්දය දුන් මන්ත්‍රීවරයාගෙන් ගමට හෝ තමන්ට වැඩක් කරගන්න බැරිව යනවා. අප මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න දීර්ඝ කාලයක පටන් සටන් කරනවා. වත්මන් ජනාධිපතිවරයා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න එකඟව සිටිනවා. ජනතාවට සෘජුව වගකියන මන්ත්‍රීවරයකු පත් කරගත හැකි ඡන්ද ක්‍රමයක් අපේ රටේ ස්ථාපිත කරන්න ඕනෑ.

ඒ වගේම ගමේ වැඩට රජයෙන් වෙන් කරන මුදල් ප්‍රයෝජනයට ගෙන ගමේ වැඩේ ගමට ඕනෑ විදියට කර ගන්න ගමේ සමිතිවලට කොන්ත්‍රාත්තුව බාර දෙන්න ඕනෑ. එහෙම නොවුණාම වැඩේට යොදා ගන්න තියෙන මුදල් අතරමඟ අනවශ්‍ය ලෙස වැය කරනවා. එයින් රජයට විශාල පාඩුවක් සිද්ධ වෙනවා. ගමේ වැඩේ ගමේ සමිතියට බාර දුන්නාම ඒ ගමේ මානව සම්පත්වල ප්‍රයෝජනයත් අරගෙන ගමේ හැමදෙනා එකතුව ශ්‍රමදානයෙන් වැඩට හවුල් වී ව්‍යපෘතියේ ඇස්තමේන්තු වටිනාකමටත් වඩා වටිනා වැඩක් නිමකර ගමට දායාද කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම නිසි පරිදි ක්‍රියාවට නංවා උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ගමේ ව්‍යාපෘති ගමේ සමිතියට කොන්ත්‍රාත් දීම කළයුතුම දෙයක් වෙනවාවැයි පැවසීය.

ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න