2012 බන්ධනාගාර කැරැල්ලට ගෝඨාභය පටලවන්නැයි මම කිවුවේ නැහැ | දිනමිණ

2012 බන්ධනාගාර කැරැල්ලට ගෝඨාභය පටලවන්නැයි මම කිවුවේ නැහැ

2012 වසරේ සිදු වූ බන්ධනාගාර කැරැල්ලට හිටපු ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පටලැවීමට ක්‍රියාකරන්නැයි කිසි දිනක පවසා නොමැති බව හිටපු අධිකරණ ඇමැතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (14) පැවසුවාය. අධිකරණ ඇමැතිනියව සිටි සමයේදී කිසිදු නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමක් කර නොමැති බවත්, අතුකෝරල මහත්මිය සඳහන් කළාය. බොරු සාක්ෂි මත නඩු පවරමින් දේශපාලන පළිගැනීමක් කර ඇති බවට හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා පැවරූ පැමිණිල්ලේ වගඋත්තරකාරියක ලෙස සාක්ෂි දෙමින් හිටපු ඇමැතිනිය එසේ පැවසුවාය.

දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහත්වරු ඉදිරියේ සාක්ෂි මෙහෙයවිය.

හිටපු අධිකරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සාක්ෂි දෙමින් මෙසේද පැවසුවාය.

මෙම පැමිණිලිකාර එමිල් රංජන් මහතා මාව දිනක් හමුවීමට පැමිණියා. ඇප ලබා ගත් පසු වැඩ තහනම ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කළා. මා එම කරුණ පිළිබඳව සොයා බැලීමට විෂයභාර අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළා. අමාත්‍යාංශ ලේකම්වරයාට මා කිසිදු බලපෑමක් ඒ සම්බන්ධයෙන් කර නැහැ.

කිසිම බන්ධනාගාර අධිකාරිවරයෙක් එමිල් රංජන් මහතා පිළිබඳව මා සමඟ සාකච්ඡා කර නැහැ.

බන්ධනාගාර සිද්ධියට ගෝඨාභය මහතා පටලවන්න කියා මම කිසිදාක කියලා නැහැ. කිසිදු නඩු කටයුත්තක් පිළිබඳව මා ඇඟිලි ගැසීම් කර නැහැ. එමිල් රංජන් මහතා සමඟ මම කිසිදු රාජකාරි හෝ දේශපාලනික වශයෙන් සම්බන්ධයක් නැහැ.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න