දිනක වැටලීම්වලින් මත්ද්‍රව්‍ය තොග සමඟ සැක 422ක් දැලේ | දිනමිණ

දිනක වැටලීම්වලින් මත්ද්‍රව්‍ය තොග සමඟ සැක 422ක් දැලේ

බස්නාහිර පළාතේ දිනකදී කළ වැටලීම්වලින් හෙරොයින් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 422ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විශේෂ වැටලීම බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පෙරේදා (13) උදේ 6 සිට ඊයේ (14) උදේ 5 දක්වා සිදු කර ඇත. ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් හෙරොයින් ග්‍රෑම් 183 මිලි ග්‍රෑම් 239ක් සමඟ සැකකරුවන් 156ක්, ගංජා ග්‍රෑම් 468 මිලි ග්‍රෑම් 120ක් සමඟ සැකකරුවන් 110ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3185ක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට ගෙන ඇත.

තව ද නීති විරෝධී මත්පැන් බෝතල් 735ක් සමඟ සැකකරුවන්114ක්, ගෝඩා බැරල් 8ක් සමඟ සැකකරුවන් 7දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

තීරුබදු රහිත සිගරට් 87ක්, මාවා කිලෝ 5ක්, මත්පෙති 168ක්, මදන මෝදක ග්‍රෑම් 29ක්, ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සම්බන්ධ සැකකරුවන් 11ක්, සූදු සෙල්ලම් කිරීම සම්බන්ධව සැකකරුවන් 7ක් ඇතුළු සැකකරුවන් 23ක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සම්බන්ධව කළ වැටලීම් වලදී මීගොඩ පොලිස් ස්ථානයෙන් හෙරොයින් ග්‍රෑම් 5ක් සමඟ සැකකරුවකු ද, හෝමාගම පොලිස් ස්ථානයෙන් හෙරොයින් ග්‍රෑම් 10 බැගින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න