අරුවක්කාළු කසල රඳවනයෙහි කටයුතු කඩිනම් කීරිමට උපදෙස් | දිනමිණ

අරුවක්කාළු කසල රඳවනයෙහි කටයුතු කඩිනම් කීරිමට උපදෙස්

කැළි කසල ගැටළුවට විද්‍යාත්මක මෙන්ම පරිසර හිතකාමී විසඳුමක් වශයෙන් පුත්තලම අරුවක්කාළු සනීපාරක්ෂක කසල රඳවනයෙහි කටයුතු ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙසින් කඩිනම් කෙරෙයි
 
මේ අනුව දිනකට කසල ටොන් 1200 ක් අරුවක්කාළු විද්‍යාත්මක සනීපාරක්ෂක කසල රඳවනයෙහි තැන්පත් කර එමඟින් බලශක්තිය සඳහා ස්වභාවික වායුව සහ වගා කිරීම සඳහා ජලය අතුරුඵල වශයෙන් ක‍්‍රියාත්මක කෙරෙන කසල රඳවනයෙහි වැඩ කටයුතු 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට කොළඹ අගනගර ආශ‍්‍රිත ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය (Metro Colombo Solid Waste Management) බලාපොරොත්තු වෙයි.
 
කැළණියේ සිට විශේෂ ආරක්ෂිත දුම්රියකින් කිලෝමීටර් 160 ක් දුරින් පිහිටි අරුවක්කාළු වෙත කසල රැගෙන යයි 
 
කැළණියට මෙම කැළි කසල කොළඹ මහා නගර සභාව හා පළාත් පාලන ආයතනවලින් ලබාදෙන්නේ එය වර්ගීකරණයකට ලක් කිරීමෙන් අනතුරුවයි.
 
ජාතික කර්තව්‍යයක් සේ සලකා මෙම ව්‍යාපෘතියට මහජනතාවට ද සහාය ලබාදිය හැකි අතර තම නිවසේදීම කැළි කසල වර්ගීකරණයකට ලක්කර පළාත් පාලන ආයතනවලින් සිදුකරන කසල එකතු කිරීමේ ක‍්‍රියාවලියට යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
කැළණියේ සිට සුරක්ෂිතව දුම්රිය මාර්ගයෙන් ගෙන එනු ලබන කැළි කසල අරුවක්කාළු සනීපාරක්ෂක කසල අංගනයේදී රදවා ගනු ඇත.
 
දුම්රිය පෙට්ටි 30 බැගින් සමන්විත විශේෂ ආරක්ෂිත දුම්රිය 2 ක් මෙම කසළ ප‍්‍රවාහනය සඳහා යොදාගනු ලබන අතර එක් දුම්රියකින් ටොන් 600 ක කසල ප‍්‍රමාණයක් එක්වරකට ගෙන යා හැකිය.
 
මෙම සනීපාරක්ෂක කසල රඳවනයෙහි ක‍්‍රියාකාරීත්වය ආරම්භ වී වසර 2 ක පමණ කාලයක් ගතවන විට ස්වභාවික වායුව නිපදවිය හැකි අතර එමඟින් ලැබෙන බලශක්තිය මෙම ව්‍යාපෘතියේ ශක්ති ජනනයට සහ ජාතික විදුලිබල පද්ධතියට ද ලබාදීමට සැලසුම් කර තිබේ.
 
විදුලි බලය නිපදවීමට, අප ජලය පවිත‍්‍ර කිරීමට හා මෙහි පර්යේෂණාගාරයේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම මෙහිදී අමතර ආදායම් ලබාගත හැකි මාර්ග වශයෙන් ද හැඳින්වීමට පුළුවණි.
 
කැළි කසල අර්බුදයට විද්‍යාත්මක, පරිසර හිතකාමී දීර්ඝ කාලීන විසඳුමක අවශ්‍යතාවය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණු අතර මෙම ක‍්‍රියාවලිය සඳහා මුලින්ම අවධානය යොමු කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන කාලයේදීය.
 
මෙම කරුණු අනාවරණය වුයේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරුන් ඇතුළු පිරිසකගේ නිරීක්ෂණයට ඊයේ (14) වැනිදා අරුවක්කාළු සනීපාරක්ෂක කසල අංගනය ලක්වූ අවස්ථාවේදීය.
 
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප‍්‍රකාශ කළේ අරුවක්කාළු කසල අංගනයේ ඉදිකිරීම් තවත් වසරක කාලයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි
 
කැළි කසල අර්බුදයට නිසි විද්‍යාත්මක පරිසර හිතකාමී විසඳුමක් ලබා දී ප‍්‍රයෝජනවත් අතුරුඵල ලැබෙන පරිදි පරිසර හිතකාමී සනීපාරක්ෂක කසල රදවන ලෝකයේ දියුණු බොහෝ රටවල සුලබව දක්නට ලැබෙන බවත් මෙය මෙරට කැළි කසල ගැටළුවලට සාර්ථක විසඳුමක් ලැබෙන ව්‍යාපෘතියක් බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.
 
මෙම මුළු ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඇ.ඩො.මි. 120 කි.
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කොළඹ අගනගර ආශ‍්‍රිත ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය රජයේ ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක‍්‍රියාත්මක කරනු ලබයි.
 
 
 
 
 
 
 
 
 

නව අදහස දක්වන්න