මඟුල් මතක | දිනමිණ

මඟුල් මතක

 

පුංචි කාලෙ මතක දැන් මතක් කරනකොට පෙනෙන්නෙ පරණ චිත්‍රපටයක් වගේ බොඳවෙලා. එහෙම බොඳවෙලා පෙනෙන මතක අතරෙ තියෙනවා මගුල් ගෙදරක මතක. ඒ "කැන්දන් ඒමේ මඟුල් ගෙදරක්". මං තට්ටු දෙකේ ලා තැඹිලිපාට ගවුමක් ඇඳලා අම්මගෙ වටේ රවුම් බාගෙක හැඩේට කැරකෙමින් ඉන්නවා. ගවුම ඇතු‍ෙළන් කටු කටු වගේ ඇගේ ඇනෙනවා දැනෙනවා. ලස්සනට ඉන්න ටිකක් දුක් විඳින්න වෙනවා කියලා පුංචිකමට වුණත් තේරුම් අරගෙන මම ගවුමෙ අපහසුව ගැන අම්මට නොකියා ඉන්න තීරණය කරනවා. ඉඳලා හිටලා "මනමාලි ඇන්ටි තාම නැත්තෙ ඇයි?" කියලා අම්මගෙ කනට කිට්ටු කරලා අහනවා. මගේ වචන වටපිට උදවියට ඇහුණේ නෑ කියලා සැක ඇරගන්න වගේ අම්මා වටපිට බලනවා. ඔරලෝසුවේ දිග කටුව වට කීපයක් ගියාට පස්සෙ රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා."මනමාල ජෝඩුව එනවා" කියලා කට්ටිය කලබලෙන් එහාට මෙහාට දුවනවා.

මනමාලි ඇස් ගිනිකණ වැටෙන රතුපාට සාරියක් ඇඳලා මනමාල මහත්තයත් එක්ක ගෙට ගොඩවෙනවා. දොර උළුවස්සෙ මල් රතිඤ්ඤා වැලක් එල්ලලා තියෙනවා. ජෝඩුව ගෙට ගොඩවෙනකොටම ජාතික ඇඳුම ඇඳපු තරුණ මහත්තයෙක් ගිහින් මල් රතිඤ්ඤා වැලේ නූලෙන් අදිනවා. රතිඤ්ඤා පොකුරෙන් පාට පාට වෛවාරණ කොල කෑලි මනමාල ජෝඩුවගෙ ඔළුවට වැටෙනවා. එයාලා ඒවා අතින් පිහිදාන ගමන් හිනා මූණෙන් ගෙට ගොඩවෙනවා. මනමාල මහත්තයාගෙ අම්මා පිච්ච මල් දාපු වතුර වීදුරුවක් අරන් ඇවිත් මනමාල ජෝඩුවටම උගුර උගුර පොවනවා. ඊට පස්සෙ එයාලා ගිහින් රතුපාට ඇන්තූරියම්වලින් හැඩ කරපු සෙටි බැක් එකක් තියෙන සෙටි එකේ ඉඳගන්නවා.

මංගල සභාව පටන්ගන්නෙ ඊට ටිකකට පස්සෙ. විවාහ ජීවිතේ යහපත්ව ගත කරන්නෙ කොහොමද කියලාත්, දරු මල්ලො හුඟාරියක් හිටියාම බොහොම හොඳ විත්තියත් ටිකක් තලතුනා මහත්තුරු දෙතුන් දෙනක් කතා පවත්වලා මනමාල ජෝඩුවට කියලා දෙනවා. ඒ කතා අහලා මනමාලි ඇන්ටි ලජ්ජාවෙන් වගේ බිම බලාගෙන ඉන්නවා.

ඊට පස්සෙ මනමාල ජෝඩුව ලොකු තට්ටු ගානක කේක් එකක් කපනවා. මම ලොකු කේක් ගෙඩියෙන් කේක් කෑල්ලක් ලැබෙනකල් බලන් හිටියට ඇත්තටම ලැබෙන්නෙ පාට කොළේකින් ඔතපු වෙනම ජාතියක කේක් කෑල්ලක්. මම ඒ ගැන දුකෙන් ඉන්න විත්තිය තේරිලා ලොකු කේක් එක බොරු කේක් එකක් විත්තිය අම්මා කියලා දෙනවා. එච්චර උජාරුවට බොරු කේක් හදන්නෙ මොකටද කියලා පුංචි කමට මං කල්පනා කරනවා. දවල්ට කන්න කලින් දෙන එන්සල් ඇටේ හපපුවාම මම අකැමැති රහක් දැනෙනවා. ඒක දෙන්නෙ කට සුවද ගහන්න විත්තිය අම්මා කියනවා.

ඔය සියලු සිදුවීම් අස්සෙ බඩු පුරවපු ලොකු ලොරියක් මගුල් ගෙදර දිහාට එනවා. හැමෝගෙම ඇස් ඒ ලොරියෙ ඇලවෙනවා. ඒ ගෙනාවෙ මනමාලි ඇන්ටිගෙ දෑවැද්දය කියලා එදා නැතත් පස්සෙ කාලෙක මම තේරුම් ගන්නවා. මංගල්ලෙ අහවර වෙනකොට හිතට වගේම ගතටත් හරිම තෙහෙට්ටුයි.

මනමාලි ඇන්ටි අපේ අම්මගෙ යාළුවෙක් වෙච්චි හින්දා මාස දෙක තුනකට සැරයක් මම ඇන්ටිව දකිනවා. ලස්සනට හිටපු ඇන්ටිගෙ මූණ දිග ඇදිලා කෙඩෙත්තු ගති පිරෙන්න ගන්නවා. ජීවිතේ හරි මහන්සියි කියලා ඇන්ටි වචනෙන් නොකියුවට ඇන්ටිගෙ මූණ ඒකට සාක්ෂි දරනවා.

කාලෙත් එක්ක මනමාලි ඇන්ටිගෙ ජීවිතේ මංගල්ලෙන් පස්සෙ ලස්සන නොවිච්චි විත්තිය මම දැන ගන්නවා."දරුවො නිසා ඉවසගෙන හිටියා" කියලා කොණ්ඩෙත් සුදුපාට වුනාට පස්සෙ කාලෙක මනමාලි ඇන්ටි හිතේ දුක වචන කරල හිස් අවකාශෙට මුදා හරිනවා. ගත වෙච්ච ජීවිත කාලෙ ගැන විස්සෝපයක් මනමාලි ඇන්ටිගෙ මූණෙ තියෙනවා.

මං ලොකු ගෑනු ළමයෙක් වෙලා රස්සාවක් කරන්න පටන් ගත්තට පස්සෙ අනන්ත මංගල උත්සවවලට ආරාධනා ලැබෙනවා. යාළුවෙක් වෙච්ච නටාලි කොළඹ ලොකු හෝටලේක කසාද බැඳලා, කැන්දන් ඒමේ මංගල්ලෙ කොළඹ තව ලොකු හෝටලේක ගන්නවා. මංගල්ලෙට බැංකු ණයකින් ගත්ත සල්ලි වියදම් කරලා එයාලා කුලියට පදිංචියට යනවා.

නටාලි ලොකු රස්සාවක් කරන හින්දා එයා ලොරියකින් අලුත් ගෙදරට බඩු ගෙනියන්නෙ නෑ. එයාගෙ පඩි සල්ලිවලින් ගෙදරට ගැළපෙන බඩු සල්ලිවලට ගන්නවා. ඒත් "දෑවැදි ගෙනාවෙ නෑ" කියලා වටපිටේ උදවිය ඇහෙන නෑහෙන සද්දෙන් කියන කතන්දර එයාට ඇහෙනවා කියලා එයා දුක් ගැනවිලි කියන වෙලාවට මං අහගෙන ඉන්නවා.

අවුරුදු දෙක තුනකින් නටාලි එයාගෙ මහත්තයා එක්ක නීත්‍යනුකූලව තිබිච්චි බැදීම ලිහලා දානවා. වෙන්වීමට හේතුව "නොගැලපීම" කියලා නටාලි කියුවත්, අපහාස උපහාස කතන්දර හතර වටෙන් ඇහෙනවා. "ගෑනු වුණාම ඉවසන්න ඕනෙ" කියලා අලුත් තාලෙට අඳින පලදින අපේම යාළුවෙක් නටාලිට මූණටම කියනවා. "ජීවිතේම දුක් විදින්න ඕනෙ නෑ." නටාලි සිතුවිලි තරුණ කාලෙම වචන කරපු හන්දා එයාගෙ ජීවිතෙන් බාගයක්ම ඉතිරි වෙනවා.

"අම්මලා හරි කලබලයිනෙ. සම්බන්ධයක් ගැන දැනගත්ත ගමන්ම කසාද ප්ලෑන් කරනවා. මනුස්සයාව හරියට අඳුනගන්න වෙන්නෙත් නෑ. හරියට නිකන් හඳපානෙ පැනලා යයි කියලා බයේ වගේ". නටාලි බැදීම් ලිහලා දැම්මට පස්සෙ දවසක හිනාවෙලා කියනවා. අලුත් තාලෙ මංගල්ලවල හැඩේ වෙනස් වුණාට මිනිස්සුන්ගෙ සිතුවිලි රටාව වෙනස් කරන්න කිසිම අලුත් පන්නෙකට බැරිවෙලා තියෙන විත්තිය මම එයාට මතක් කරලා දෙනවා.

මූදුවලින් එහා රටවල උදවිය වෙනස් විදිහට කසාද බඳිනවා. ගෙදර පසුපස මිදුලෙ (Backyard) එයාලා මංගල සාද පවත්වනවා. ඒ උත්සවවල සතුටු සිනා ඉතිරෙනවා. දෑවැදිවල බර නැති හන්දා හිත්වල සැහැල්ලුව පිරිලා තියෙනවා. අවුරුදු දහ අටෙන් පස්සෙ වෙනම ජීවත්වෙන්න යන නිසා එයාලා ජීවිතයක් තනියම ගත කරන එකේ වියහියදම් බරපතලකම් ගැන හොඳට දන්නවා. කැපෙන සහකරුවෙක් තෝරාගනිද්දි හුඟ වෙලාවට එයාලා ඉස්සෙල්ලා එකට ජීවත්වෙලා ගැළපීම් නොගැළපීම් පාස්සගන්න බලනවා. එහෙම අමාරු නම් කලින්ම හිත් නොහොඳ කරගන්නෙ නැතුව එකිනෙකාට සමුදෙනවා. හොඳටෝම ගැළපෙනවා නම් විතරක් ඇඟිල්ලට මුද්දක් දානවා. පොතේ ලියලා කසාද බඳිනවා. එහෙම කසාද ලිහෙන්නේ හරි කලාතුරකින්.

අපේ රටේ උදවිය, "අපෝ සංකර චාරිත්‍ර" කියලා මූදුවලින් එපිට ජීවිත දිහා අපුලෙන් බලනවා. ඊටත් පස්සෙ චාරිත්‍රවලට මුල් තැන දීලා කසාද බඳිනවා. එක්කො කසාද ලිහෙනවා එහෙම නැත්නම් මනමාලි ඇන්ටි වගේ "දරුවො" නිසා කසාදෙ රැකගෙන ජීවිතේ දුක් විඳින්නම වියදම් කරනවා. අහම්බෙන් කිරියි පැණියි වගේ ගැළපෙන ජෝඩු සන්තෝසෙන් ජීවත්වෙනවා.

කාලෙ වෙනස් තාලෙ අලුත් ලෝකෙක මඟුල් තුලා අලුත් පන්නෙට සිද්ධ වෙනවා. ඒත් හිතන පන්නෙ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.

 

 

 

දසුනි හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න