ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ‘ඔන්ලයින් ක්‍රමයට’ | දිනමිණ


 

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ‘ඔන්ලයින් ක්‍රමයට’

30ක් තෝරා ගැනීමට 150කට ලංසු

දෙස් - විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසි කිරීම ලබන මස 1දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ‘ඔන්ලයින් ක්‍රමයට’ සිදු කෙරෙයි.

ලොව විවිධ ස්ථානවල සිටින කණ්ඩායම් අයිතිකරුවන් හා ඔවුන්ට අදාළ අනුග්‍රාහක ආයතන එක්ව ලංසු තබන ක්‍රීඩකයන් සජීව ලෙස එසැනින් මුදල තීරණය කොට මිළට ගැනීම මෙදින සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් මෙලෙස නවීන තාක්ෂණය ඔස්සේ වෙන්දේසි කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පල්ලේකැලේ ක්‍රීඩාංගණය, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණය හා රංගිරි දඹුලු ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොට පැවැත්වෙන අතර, තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 30කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙති. කණ්ඩායම් 5ට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනා බැගින් තෝරා ගැණෙන අතර, අතිරේක ක්‍රීඩකයන් කිහිපදෙනකු ද නම් කළ හැක.

විදෙස් ක්‍රීඩකයන් 450කට අධික පිරිසක් සිය කැමැත්ත පළ කළ ද එයින් දක්ෂ ක්‍රීඩකයන් 150ක් ලැයිස්තුගත කර වෙන්දේසියට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතී. පාකිස්තාන ක්‍රීඩක සහිඩ් අෆ්රිඩි, ෂොයිබ් මලික්, මොහොමඩ් අමීර්, මොහොමඩ් අෆීස්, වහාබ් රියාස්, කොදෙව් ක්‍රීඩකයන් වන ක්‍රිස් ගේල්, ෂැනන් ගේබ්‍රියෙල්, ඩැරේන් බ්‍රාවෝ, ඩැරන් සමී එංගලන්තයේ ජොනී බෙයාස්ටෝ, ලූක් රයිට්, රවී බොපාරා, දකුණු අප‍්‍රිකාවේ ෆැෆ් ඩු ප්ලෙසී, වර්නන් පිලැන්ඩර්, නවසීලන්තයෙන් කොලින් මුන්රෝ, ඉන්දියාවේ මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, ඉර්ෆාන් පතාන්, යූෂුප් පතාන් හා බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් වැනි ක්‍රීඩකයන් මේ ලැයිස්තුවට ඇතුළත් විදෙස් ක්‍රීඩකයෝ වෙති.

මේ ක්‍රීඩකයන් අතුරින් සහිඩ් අෆ්රිඩි, ක්‍රිස් ගේල්, ෆැෆ් ඩු ප්ලෙසී වැනි ක්‍රීඩකයන්ට අමෙරිකානු ඩොලර් 60000 බැගින් ලංසු තබා ඇති අතර, ෂොයිබ් මලික් අමෙරිකානු ඩොලර් 50000කට හා මොහොමඩ් අමීර්, මොහොමඩ් අෆීස් හා වහාබ් රියාස් වැනි ක්‍රීඩකයන් අමෙරිකානු ඩොලර් 40000 බැගින් ලංසු තබා ඇති බව වාර්තා වේ. මේ තරගාවලියට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ඉදිරිපත්ව ඇත්තේ පාකිස්තානයෙන් වන අතර, එම පිරිස 20කට ආසන්න වේ.

ලංකා ප්‍රිමියර් ලීග්හි උපදේශන භූමිකාවන් සඳහා පාකිස්තානයේ සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම්, ෂොයිබ් අක්තාර්, බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන් වන බ්‍රයන් ලාරා සහ විවියන් රිචර්ඩ්ස් එක්ව සිටිති.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නව විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් වන ලංකා ප්‍රිමියර් ලීග්, අලෙවිකරණ සහ සංවිධාන අයිතිය ඩුබායිහි ක්‍රීඩා අලෙවිකරණ නියෝජිතායතනයක් වන අයි.පී.ජී වෙත ලබා දී ඇත. එම ආයතනය මගින් කණ්ඩායම් හිමිකාරීත්වය, ක්‍රීඩාංගණයේ අනුග්‍රාහක අයිතිවාසිකම් සහ රූපවාහිනී හා ගුවන් විදුලි නිෂ්පාදන කටයුතු හා මාධ්‍ය අයිතීන් උදෙසා පෙනී සිටියි. මේ සමාගම මීට පෙර දකුණු අප්‍රිකාව, පාකිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සමඟ මෙවැනි තරගාවලි අලෙවිකරණ සිදු කර ඇත. එයට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ තරගාවලි වෙනුවෙන් ද වගකීම් දරා තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය අගෝස්තු 15 සිට සැප්තැම්බර් 4 දක්වා පැවැත්වීමට යෝජනා කර තිබුණ ද කෙරෝනා වයිරස වසංගතය හේතුවෙන් නොවැම්බර් දක්වා කල් දැමීමට සිදු විය.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න