23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් අද සිට | දිනමිණ


 

23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් අද සිට

යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය අද (16) ආරම්භ වෙයි.

කොරෝනා වංසගතයෙන් පසු ශ්‍රී ලංකාව තුළ සංවිධාන කරන දෙවැනි විශාලතම තරගාවලිය වන මෙය එක්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර, ඔක්තෝබර් මස 11 වැනිදා නිමා වීමට නියමිතය. මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට විශාලතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ තුන්දින තරගාවලියේ සුපිරි අට සහ පළඟ ශූරතා තරග පැවැත්විණි.

කොරෝනා අවදානම හේතුවෙන් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව තරග පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ සියලු තරග අධීක්ෂණය කිරීමේ හැකියාවක් නොමැති බැවින් තරගයක සත්කාරක කණ්ඩායමට මේ පිළිබඳ වගකීම පැවැරී තිබේ. කණ්ඩායම්වල නායකයන් සහ පුහුණුකරුවන්ට සෞඛ්‍ය රෙගුලාසි පිළිපැදිය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදෙස් දී ඇති අතර, අහඹු ලෙස තෝරා ගන්නා තරග පරීක්ෂා කිරීමට උත්සාහ කරන බව තරග කමිටු සභාපති බන්දුල දිසානායක මහතා පවසයි.

පසුගිය වසරේ තරගාවලියට එක් වූ කණ්ඩායම් සංඛ්‍යාව 24ක් වන අතර, මෙවර තවත් කණ්ඩායම් දෙකක් එක් කිරීමට කටයුතු කර තිබේ. මේ කණ්ඩායම් 26 කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිතය. එහිදී ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩවලට කණ්ඩායම් 7 බැගින් ද ‘බී’ සහ ‘සී’ සඳහා කණ්ඩායම් 6 බැගින් ද ඇතුළත් කර ඇත.

‘ඒ’ - ‘ඩී’ කාණ්ඩයේ කණ්ඩායමක් මූලික වටයේදී තරග 6කටත්, ‘බී’ සහ ‘සී’ කාණ්ඩයේදී එක් පිලක් තරග 5කටත් ක්‍රීඩා කිරීමට නියමිතය. එක් දිනකදී තරග 12ක් පැවැත්වෙන අතර, මූලික වටයේ තරග ඔක්තෝබර් 4 වැනිදා නිමාවට පත් වෙයි. ඉන් අනුතුරුව ඒ ඒ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අර්ධ අවසන් වටයට පිවිසෙයි. එම තරග ඔක්තෝබර් මස 7 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ. පසුගිය මස නිමාවූ තුන්දින තරගාවලියට එක්වූ යොවුන් ක්‍රීඩකයන් මෙන්ම පසුගිය වසරේ පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නියෝජන කළ ක්‍රීඩකයන් ද එක් වන බැවින් මේ තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

අවසන් වරට පැවැති තරගාවලියේදී හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

මෙවර තරගාවලියට එක් වන කණ්ඩායම්

‘ඒ’ කාණ්ඩය

යුද හමුදාව, නාවික හමුදාව, බී.ආර්.සී., බදුරලිය, පොලීසිය, නුගේගොඩ, සෙබස්තියනයිට්ස්

‘බී’ කාණ්ඩය

හලාවත මේරියන්ස්, ගුවන් හමුදාව, රාගම, ලන්කන්, මීගමුව, පාණදුර

‘සී’ කාණ්ඩය

කෝල්ට්ස්, එන්.සී.සී., සැරසන්ස්, කළුතර නාගරික, වරාය අධිකාරිය, මුවර්ස්

‘ඩී’ කාණ්ඩය

එස්.එස්.සී., ටැමිල් යුනියන්, බ්ලූම්ෆීල්ඩ්, සී.සී.සී., ගාල්ල, කරුණෑගල යූත්, කැන්ඩි කස්ටම්ස්

අද පැවැත්වෙන තරග

යුද හමුදාව - නුගේගොඩ (පනාගොඩ), නාවික හමුදාව - පොලීසිය (වැලිසර), බී.ආර්.සී. - බදුරලිය (බී.ආර්.සී.), හලාවත මේරියන්ස් - පාණදුර (කටුනායක), ගුවන් හමුදාව - මීගමුව (කටුනායක), රාගම - ලන්කන්, කෝල්ට්ස් - මුවර්ස් (කෝල්ට්ස්), එන්.සී.සී - වරාය අධීකාරිය (එන්.සී.සී.), කළුතර නාගරික - සැරසන්ස් (සරේ), එස්.එස්.සී. - කුරුණෑගල යූත් (එස්.එස්.සී.), ටැමිල් යුනියන් - ගාල්ල (පී.සරා), බ්ලූම්ෆීල්ඩ් - සී.සී.සී. (බ්ලූම්ෆීල්ඩ්)

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න