නිරෝධායන කාල සීමාවේදී විදේශිකයන්ට වෙරළ ක්‍රීඩාවල යෙදීමට අවස්ථාවක් | දිනමිණ


 

නිරෝධායන කාල සීමාවේදී විදේශිකයන්ට වෙරළ ක්‍රීඩාවල යෙදීමට අවස්ථාවක්

සැලැස්ම නිර්මාණය කිරීමට සංගම් 4ක් කැඳවයි

කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් හෝටල්වල නිරෝධායනය වන කාල සීමාවේදී වෙරළ ආශ්‍රිත ක්‍රීඩාවල යෙදීමට හා විනෝදාස්වාදය ඇති කිරීමේ සැලැස්මක් නිර්මාණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙයි. වෙරළ ආශ්‍රිත ක්‍රීඩා සම්බන්ධව සිදු කළ හැකි ක්‍රියාකාරකම් සොයා බැලීමට හා යෝජිත වැඩ පිළිවෙලට අදාළ මූලික සැලැස්මක් සකස් කිරීමට වෙරළ ක්‍රීඩා වලට සෘජුව සම්බන්ධ ක්‍රීඩා සංගම් 4ක් අද ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා ඇත. ඒ අනුව බීච් වොලිබෝල්, බීච් කබඩි, දුනු විදීම හා රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවලට සම්බන්ධ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීහු සැලැස්ම සැකසීම සඳහා කැඳවා තිබේ.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා විසින් කැඳවීම සිදු කර ඇති අතර, මේ විශේෂ සාකච්ඡාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධානීහු ද එක් වෙති. මේ නව සංකල්පයෙන් සංචාරක ව්‍යාපාරය ක්‍රීඩාව හරහා ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ‘දිනමිණ’ට පැවැසීය.

“ඇමැතිතුමා ක්‍රීඩා ආර්ථිකයක් කෙරෙහි දැඩි අවධානය යොමු කොට තිබෙනවා. මේ කොරෝනා අවස්ථාවේ ක්‍රීඩාව හරහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න ඇමැතිතුමාගේ අවධානයට ලක් වුණා. බොහෝ විදේශිකයන් නිරෝධායන කාල සීමාවේ වෙරළ ආශ්‍රිත හෝටල්වල නතර වී සිටිනවා. ඒ නිසා වෙරළ ක්‍රීඩා වෙත ඔවුන් යොමු කිරීම අපේ අරමුණයි. අදාළ ජාතික සංගම් හරහා විශේෂ සැලැස්මක් හා බීච් ක්‍රීඩා පිටි නිර්මාණය කිරීම කළ යුතුයි. මේ සැලැස්ම සකසා අවසන් වූ වහාම අප අදාළ හෝටල් හිමියන් සමඟ කතා කරනවා. සියලු දේ ඉක්මණින් හා විධිමත් ලෙස නිමා කිරීමට අවශ්‍ය කටයුතු යොදනවා” එදිරිසූරිය මහතා පැවැසීය. කොරෝනා වයිරස නිරෝධායන කාල සීමාවේදී වෙරළ ආශ්‍රිත ක්‍රීඩාවල යෙදීමට හා විනෝදාස්වාදය ඇති කිරීමේ සැලැස්ම සාර්ථක කිරීමෙන් මෙරටට පැමිණෙන විදේශිකයන්ට විශාල විශ්වාසයක් ගොඩනැඟීමට හැකි වන අතර, ශ්‍රී ලංකාවට පැමිණීම කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට ද හේතු වනු ඇත.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න