ව්‍යවස්ථා සංශෝධනයක විවේචන - අඩුපාඩු සලකා බලන්නේ ඉතිහාසයේ මුල් වරටයි | දිනමිණ


 

ව්‍යවස්ථා සංශෝධනයක විවේචන - අඩුපාඩු සලකා බලන්නේ ඉතිහාසයේ මුල් වරටයි

  • වෙන අය කරන්නේ තමන්ට ඕනෑ දේ විතරයි
  • අපේ පොළොවේ තෙල්, ගෑස් ගොඩ ගත්තොත් ලංකිකයන් රට රැකියාවලට යවන්න ඕනෑ නෑ ඇමැති උදය ගම්මන්පිල

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ප්‍රසිද්ධ කර තිබෙන ලේඛනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවේචනාත්මක අදහස් සැලකිල්ලට ගනිමින් එහි ඇති අඩුපාඩු සොයා බැලීමට කමිටුවක් පත් කළ බවත් ගැසට් පත්‍රය මඟින් මේ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ පසු එහි අඩුපාඩු සොයා බලා නිවැරදි කිරීමට ආණ්ඩුවක් පියවර ගෙන තිබෙන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරයීය මහ­ානායක ස්වාමීන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර තිබෙන ලේඛනය අධ්‍යයනය කිරීමට අගමැතිවරයා විසින් පත් කරන ලද නව පුද්ගල කමිටු වාර්තාව අද (16) ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඒ මහතා කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, නව ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගය ගැසට් කළ පසු ඒ සම්බන්ධයෙන් විවේචන කොපමණ ඉදිරිපත් වුවත් ආණ්ඩුව කරන්නේ ඒවාට කන් නොදී තමන්ගේ ස්ථාවරය නිවැරදි බව කියන්නට කටයුතු කිරීම වුවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට අදාළ විවේචනවලට ඇහුම්කන් දී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපති හා අගමැති පියවර ගෙන තිබෙන බවත්ය.

අලුතින් බලයට පත් වූ ආණ්ඩුව ශීතකරණයකින් එළියට ගත් අයිස් කැටයක් හා සමාන යැයි කියමනක් තිබෙන බවත් ඉන් අදහස් වන්නේ කාලයත් සමඟ අයිස් කැටය දිය වී යන්නා සේ ආණ්ඩුවට ඇති ජනප්‍රසාදයද හීන වී යන බව වුවත් වත්මන් ආණ්ඩුව මැතිවරණයෙන් මැතිවරණයට ජනප්‍රසාදය තව තවත් ඉහළින් දිනා ගැනීමට සමත් වූ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. පවතින මැතිවරණ ක්‍රමය යටතේ තුනෙන් දෙකක බලයක් සහිතව ජයග්‍රහණය අත් කර ගැනීම ඉතාමත්ම අසීරු බවත් මෙවැනි මැතිවරණ ක්‍රමයක් පවතින කිසිඳු රටක මේ ආකාරයේ ජයග්‍රහණයක් පක්ෂයකට ලබා දී නොමැති බවත් කී ඒ මහතා, ජනතාව ලබා දී තිබෙන සුවිශාල ජයග්‍රහණය නිසා දැන් කළ යුතුව තිබෙන්නේ වැඩ කිරීම බවත් නිදහසට කරුණු කීමට කිසිඳු අවස්ථාවක් නොමැති බවත් අවධාරණය කළේය.

හෙතෙම පෙන්වා දුන්නේ, මෙරට පොළොවේ තෙල් හා ගෑස් සම්පත තිබෙන බැවින් තමන් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ තෙල් හෝ ගෑස් සම්පත්වලින් එකක් හෝ ගොඩගෙන බවයි. ලාංකිකයන්ගෙන් ලක්ෂ 15ක පමණ පිරිසක් මැදපෙරදිග රටවල රැකියා කරමින් දුක් විඳින බව කී ඒ මහතා, එම රටවල් ආර්ථික අතින් දියුණු වී තිබෙන්නේ තෙල් සම්පත නිසා බවත් කී ඒ මහතා, අපේ තෙල් සම්පත ගොඩ ගැනීමට හැකි වුවහොත් මේ සියලු දෙනාට රැකියා ලබා දීමට අපට හැකි වනු ඇති බවද කියා සිටියේය.

සිරිමාවෝ මැතිනියගේ පාලන සමයේ පටන් මේ රටේ තෙල් ගොඩගැනීම සම්බන්ධව කතාබහ කළත් තෙල් හෝ ගෑස් ගොඩ ගත් කෙනකු නොමැති බවද කී ඇමැතිවරයා, පොළොව යට තිබෙන මේ සම්පත ගොඩ ගැනීමට තමන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව තරයේ අවධාරණය කළේය.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න