ඩොලර් මිලියන 300ක් වැය කර අනුරපුර නව ඖෂධ ආයෝජන කලාපයක් | දිනමිණ


 

ඩොලර් මිලියන 300ක් වැය කර අනුරපුර නව ඖෂධ ආයෝජන කලාපයක්

රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන

අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක නව ඖෂධ ආයෝජන කලාපයක් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් වැය කරමින් ස්ථාපිත කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

දේශීය ආයෝකයෝ 25 ක් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටිති.

රජයේ රෝහල්වල වරින් වර ඇති වන ඖෂධ හිඟයට විසඳුමක් ලෙස මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත් මෙරටට අවශ්‍ය ඖෂධවලින් සියයට 50 ක් ඉදිරි වසර තුනදී රට තුළම නිෂ්පාදනය රජයේ ඉලක්කය බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසුවේය.

රට තුළ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පසුගියදා (10) ප්‍රකාශ කෙළේය.

රට අභ්‍යන්තයේ අලුතින් නිෂ්පාදනය කරන ඖෂධ සහනදායී මිලකට රෝගී ජනතාවට ලබාදීම සිදු කරන බවත් මෙරටට අවශ්‍ය ඖෂධවලින් සියයට 85 ක ප්‍රමාණයක් මේ වන විට පිටරටින් ගෙන්වීම සිදු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ආනයනය කරන ඖෂධ සඳහා වසරකට රජය රුපියල් මිලියන 150 කට වඩා වැය කරන අතර දේශීය ඖෂධ නිෂ්පාදනයෙන් රජයට වාර්ෂිකව මිලියන 60 ක ඉතිරියක් සිදු කර ගත හැකි යැයි ද, ආසියානු කලාපයේ වැඩියෙන්ම ඖෂධ ආනයනය කරන රට වශයෙන් ශ්‍රී ලංකාව වාර්තා වී ඇතැයි ද ඇමැතිවරයා කීය.

දේශීයව ඖෂධ නිෂ්පාදනය සඳහා දායක වීමට දේශීය පෞද්ගලික අංශයේ ආයෝජකයින් කිහිපදෙනෙක් කැමැත්ත පළ කර ඇති බවත් විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් අක්කර 400 ක ආයෝජන කලාපයක් ඉදි කිරීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා විදේශ මහා පරිමාණ ආයෝජකයින් එකඟතාවය පළ කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

අලුතින් ඖෂධයක් ලියාපදිංචි කිරීමට වසරක් වැනි කාලයක් ගත වන අතර එම ක්‍රමවේදය අහෝසි කරමින් ඉතා කෙටි කාලයකින් ඖෂධයක් ලියාපදිංචිය සඳහා වන නෛතිකමය සංශෝධනයන් හැකි ඉක්මණින් කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවැසුවේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්ම මහත්මීහු සහභාගි වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න