කොමළ පාන කැට­බුලා | දිනමිණ

කොමළ පාන කැට­බුලා

පා පොඩිති බිම තබා පිය­වර මනිනා ළදැ­රි­යක් "ම" සිතේ සක්මන් කර­න්නීය. ඕ සිනා නඟ­න්නීය. කොමළ පාන්නීය. මුකුළු කර­න්නීය. හැඩ බල­න්නීය. නැළ­වෙ­න්නීය. විටෙක හඬ­න්නීය. තවත් විටෙක මුර­ණ්ඩු­කම් පාන්නීය.

මේ මොන ­යම් දෙයක් කළ ද ඈ නම් සුකු­මා­ල­මය. සුන්ද­රය. ළගන්නා සුලු ය. දෑස් නොපි­යවා ඈ දෙස බලා සිටි­න්නට සිත් වේ. එවන් කිරි සිනා නංවන ළදැ­රි­යක් හා මේ දිය ඇල්ල සමාන යැයි විටෙක සිතෙයි.

ඕ තොමෝ අන් කිසි­වක් නොව නමින් "කැට­බුලා" දිය ඇල්ලයි. අසල පිහිටි "කැට­බුලා" නමැති තේ වත්ත නමින් මේ සුකො­මළ දිය ඇල්ල ද නම් වෙයි. කැට­බුලා වත්ත පිහි­ටියේ මධ්‍යම කඳු­ක­ර­යේය.

ඉහළ කොත්මලේ ජලා­ශ­යෙන් මුදා­හ­රින ජලය කඳු හෙල් අත­රින් ඇවි­දින් පහ­ළට ඇදී යයි. මහ­නු­වර - නාව­ල­පි­ටිය මාර්ගයේ කිලෝ­මී­ටර් 07ක් පමණ ගමන් කළ විට කැට­බුලා වතු­යාය හමුවේ.

කැට­බුලා වතු යාය හරහා තල­ව­කැලේ දෙසට ඇදෙන මාර්ගය අත­ර­ම­ඟදී අපට මේ දිය ඇල්ල හමු වේ. දිය ඇල්ල කඩා හැලෙන මාව­තට ඉඩ දී ඒ හරහා අපූරු ආරු­ක්කු­වක් ආකා­ර­යට තනා ඇති පාල­මකි.

මේ මඟේ ගමන් ගන්නා ආග­න්තු­ක­යන්ට මෙය කදිම සුන්දර දසු­නකි. එසේ හෙයින් එවැනි බොහෝ දෙනා මෙහි මඳක් නැවැතී කැට­බුලා දිය ඇල්ලෙහි සුන්ද­ර­ත්වය නැරැ­ඹී­මට අම­තක නොක­රති.

එයි­නුදු සෑහී­ම­කට පත් නොවන ඇතැම් සංචා­ර­කයෝ පාලම අස­ලින් පහ­ළට ඇති කෙටි අඩි පාර දිගේ පහ­ළට බසින්නේ කැට­බුලා දිය ඇල්ල සමී­ප­යට යෑමටය. දිය ඇල්ල විසින් රැගෙන එන සුපි­රි­සුදු දිය දෝත­කින් මුව, දෙපා හා දෑත් දොවා පහ­සක් ලබා­ග­න්නට ඇත­ම්හු උත්සාහ ගනිති. එසේම මෙහි සෞන්ද­ර්ය­යෙන් වශී­කෘත වන ඇතැම්හු සිය සේයා පට­ල­වල සට­හන් තබා රැගෙන යෑමට ද අම­තක නොක­රති.

පහළ සිට බැලූ කල්හි මහා ප්‍රතා­ප­වත් පෞරු­ෂ­යක් මේ ඉස­ව්වට ලැබෙයි. ඒ පාලම නිමවා ඇති පෞරා­ණික හැඩ­ත‍ල­යෙනි. ළදැ­රි­යක් පා පොඩිති තබ තබා පිය­වර මනි­න්නාක් මෙන් ඉහළ සිට ඇද­හැ­ලෙන දිය ඇල්ලේ දිය විහිදී පහ­ළට පිය­වර තබ­මින් ගලා යයි.

වි‍ශ්වයේ ඇති වෙනත් කිසිදු ශබ්ද­යක් දැන් ඇසෙන්නේ නැත. ඇසෙන්නේ දිය හඬම පමණි. මේ ආස්වාදය හා ඒකාත්මික වී සිටිය යුතුය. අවට ඇති දැවැන්ත වන­ස්ප­තිහු මේ සියලු දෑ දැක බලා ගනි­මින් ඈ හා නිබ­ඳව වෙළී ගැලී සිටි­න්නාක් වැන්න.

මේ මහා සෞන්ද­ර්යයෙන් වශී­කෘත වූව­කුට නම් කාල හෝරාව ගෙවී යන අයුරු නොවැ­ට­හෙන නමුත්, සොබා­ද­හමේ නිහඬ යථා­ර්ථය විසින් කාලය වේග­යෙන් කර­කවා දමයි. කොත­රම් සුන්දර, සුකො­මළ ආශ්ච­ර්ය­වත් වුවද කැට­බුලා වෙත ළඟා වීම පරිස්සමින් කළ යුත්තකි.

මන්ද­යත් වහා අන­තු­ර­කට අත වනන සුලුය. පෙණ පිඬු වැටී තෙත බරිත ගල්තලා ලිස්සා යන සුලුය. එසේ නොගි­හින් තම ජීවි­තය රැක­ග­නි­මින් සොබා­ද­හ­මට සමීප විය යුතු බව නොකි­යාම බැරිය.

ශ්‍යාමා සම­ර­සිංහ  ඡායාරූප - නිශ්ශංක විජේරත්න

නව අදහස දක්වන්න