ශ්‍රී ලංකාව වටා මුහුද සුරක්ෂිතයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න | දිනමිණ


 

ශ්‍රී ලංකාව වටා මුහුද සුරක්ෂිතයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න

මාතෘ භූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදෙන දායකත්වය සුවිශේෂය. ඊට අමතරව නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය තුළ සිදු වන විවිධ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් මෙරටට අයත් මුහුදු සීමාව ආරක්ෂා කිරීම සඳහා ද දක්වන දායකත්වය ඉතා විශාලය. ලෝකයේම ගෞරවාදරයට පාත්‍රව සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්මන් ක්‍රියාදාමය මෙන්ම මෙතෙක් පැමිණි ගමන් මඟ, ඉදිරි සැලසුම් ආදිය සහ නාවික හමුදාපති දක්වා පැමිණි ගමන් මඟ සම්බන්ධයෙන් වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සමඟ ‘දිනමිණ’ කළ සංවාදයකි මේ.

 ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්මන් වගකීම කුමක් ද?

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර ගැනීම පිණිස කැපවීමෙන් කටයුතු කරන, ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාවන්ගෙන් සහ පුහුණුවෙන් ලද ආභාසයෙන් අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සහාය වෙමින් සිටිනවා. දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති යුද්ධය සාර්ථක ලෙස අවසන් කරන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල දායකත්වයක් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම යුද හමුදාව ගොඩ බිම සටන් කරන විට නාවික හමුදාව සයුරේ සිට ත්‍රස්තවාදය මැඬ පැවැත්වීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා.

මේසා විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙන නාවික හමුදාව අද වන විට රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකරමින් ඉන්නවා. විශේෂයෙන්ම අද වන විට මුහුදේ දී සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියා නවතාලන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් වෙළෙඳාම ඇතුළු නීති විරෝධී ක්‍රියා සියල්ල නතර කරන්න පියවර ගෙන තිබෙනවා. නාවික හමුදාවේ මෙහෙයුම් හේතුවෙන් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් විශාල වශයෙන් අද වන විට අවම වී තිබෙන බව කියන්න කැමැතියි.

තෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පසුගිය දා ශ්‍රී ලංකාවට අයත් නැඟෙනහිර මුහුදු කලාපයේ දී ගිනි ගැනීමකට ලක්වුණා. මේ නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වූ අතර එම නෞකාව බේරා ගැනීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කළ ක්‍රියාන්විතය පිළිබඳව කතා කරමු.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 38කට ඈතින් ගිනි ගැනීමකට ලක් වූ "එම්.ටී නිව් ඩයමන්ඩ්" තෙල් ප්‍රවාහන නෞකාව කුවේට් සිට ඉන්දියාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබුණා. එය පසුගිය 03 වැනිදා ගිනි ගැනීමකට ලක් වුණා. ඒ වන විට නැව තුළ බොර තෙල් මෙට්‍රික් ටොන් 270,000ක් සහ නැවේ භාවිතය සඳහා රැගෙන ගිය ඩීසල් මෙට්‍රික් ටොන් 1700 ක් ද තිබුණා. මෙම නෞකාව ගිනි ගැනීමකට ලක්වූ මොහොතේ සිට පැය තුනකට අඩු කාලයක දී අපේ නෞකාවකට එම ස්ථානයට ළඟා වන්නට හැකි වුණා. ඒ සමඟම අනතුරට පත් නෞකාවේ සිටි තුවාල ලැබූ නැවියකුගේ ජීවිතය බේරා ගන්න හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව ඒකාබද්ධව මේ නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීම වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළා. කාර්ය මණ්ඩලයේ 23 දෙනාගෙන් 22 දෙනකු නිරුපද්‍රිතව බේරා ගන්න අපිට හැකියාව ලැබුණා.

අපි ඒ ස්ථානයට ළඟා වනවිටත් එම නෞකාවේ සිටි එක් අයකු මිය ගොස් සිටියා. කෙසේ නමුත් අපි සෙසු කාර්ය මණ්ඩලය මුදා ගත්තා. මේ සම්පූර්ණ මෙහෙයුම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා 5ක් සහ වේග ප්‍රහාරක යාත්‍රා 6ක් සම්පූර්ණයෙන්ම දායක වුණා. නාවික හමුදාවට අමතරව ගුවන් හමුදාව ඉටු කළ කාර්ය භාරයත් මෙහිදී කෘතවේදීව සිහිපත් කරනවා. ඔවුන් නව තාක්ෂණය යොදා ගනිමින් ගිනි ගන්නා නෞකාවට ගුවනේ සිට රසායනික ද්‍රව්‍ය හෙළන්නට පියවර ගත්තා. ඒ වගේම මේ කාර්යයේ දී ඉන්දීය වෙරළාරක්ෂක බළකායත් සහාය වුණා. මේ වනවිට එම නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 60ක් පමණ ගැඹුරු මුහුදට රැගෙන යන්න පියවර ගෙන තිබෙනවා.

අනතුරට පත් නෞකාවේ ගබඩා කර තිබූ ඉන්ධන යම් හෙයකින් කාන්දු වීමකට ලක් වූයේ නම් කලාපයේ දරුණුම සමුද්‍රීය දූෂණය බවට පත්වන්නට ඉඩ තිබූණා. නමුත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බළකාය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් ගින්න සම්පූර්ණයෙන් මැඬ පැවැත්වීමට හැකියාව ලැබුණා.

යම් හෙයකින් නැව පුපුරා ගියේ නම් ප්‍රදේශයේ සිටින තල්මසුන්, කැස්බෑවුන්, ඩොල්ෆින් ඇතුළු මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් ඇති බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අඟවා තිබුණා. කෙසේ වුවත් අනතුර වළක්වා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ කණ්ඩායම්වලට හැකියාව ලැබුණු බව කියන්න කැමතියි.

ඉන්දීය ධීවරයන් පැමිණ නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝනය කරනවා. මේ වෙනුවෙන් නාවික හමුදාවේ මැදිහත්වීම කෙසේ ද?

අද වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම් අවම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් යම්තාක් දුරට එය සිදුවන බව කියන්න ඕනෑ. පසුගිය කාලයේ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගේ යාත්‍රා නාවික හමුදාව භාරයට ගත්තා. ඊට අමතරව ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ද ගෙන තිබෙනවා. මේ ආකාරයට මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවරයන් අත්අඩංගුවට ගැනීම සහ නීතිමය පියවර ගැනීම හේතුවෙන් අද වනවිට එවැනි ආකාරයේ පැමිණෙන අය අවම වී තිබෙනවා. කෙසේ වුවද දැනටත් යම් විදියකට ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල නාවික හමුදාව මැදිහත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වනවිට ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අපි උතුරු මුහුදු සීමාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා වසංගතය දැඩිව ව්‍යාප්ත වී තිබෙන පසුබිමක එරට ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන අවස්ථාවල අපි විශේෂ අවධානයකින් යුතුව මෙහෙයුම් කරනවා. කෙසේ හෝ අපගේ මුහුදු සීමාවට පැමිණ නීති විරෝධී ලෙස මසුන් මරන අවස්ථාවල අපි ඔවුන්ව පලවා හරින්න පියවර ගෙන තිබෙන අතර ඒ අනුව අපේ ධීවරයන්ට අසාධාරණයක් නොවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

පශ්චාත් යුද සමයේ දී රටේ අනාගතය වෙනුවෙන් නාවික හමුදාවෙන් ලැබෙන දායකත්වය කුමක් ද?

යුද්ධයක් අවසන් කළ රටක් ලෙස සංවර්ධනය අතින් ඉදිරියට යන්න ඕනෑ. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව අපි මානුෂීය මෙහෙයුමක් කළේ රටේ හෙට දවස සහ අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන්. එදා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා අද අපේ රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරනවා. එතුමා යුද්ධය අවසන් කරන්න සුවිශේෂී නායකත්වයක් ලබාදුන්නා. විශේෂයෙන්ම මෙහෙයුම් පැවැති ප්‍රදේශවලට නිරන්තරයෙන් ගමන් කරමින් අවශ්‍ය වෙලාවට නිවැරදි මඟ පෙන්වීමක් ලබාදුන්නා. යුද්ධය සාර්ථක ලෙස අවසන් කරන්නට එය බෙහෙවින්ම බලපෑවා.

නමුත් අද අපේ රටේ සාමකාමී වාතාවරණයක් ස්ථාපිත වී තිබෙනවා. එවැනි පසුබිමක අපි රටේ සංවර්ධනය වෙත යොමු විය යුතු වෙනවා. රටේ සංවර්ධන ක්‍රියාදාමයට ද නාවික හමුදාවේ දායකත්වය ලබාදෙනවා. සමුද්‍රය ආරක්ෂා කරන අතරතුර අපි රට තුළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද දායක වෙනවා. ඒ වගේම රටට විපතක් සිදුවන හැම අවස්ථාවක ම ශ්‍රී ලංකා නාවික හමුදාව ඉහළින්ම දායකත්වය ලබාදෙනවා. පසුගිය කාලයේ සිදු වූ ගංවතුර තත්ත්වයන් පිළිබඳව අපේ අවධානය යොමු කරන්න පුළුවන්. ජීවිත බේරා ගන්න, පීඩාවට පත් ජනතාවට සහන සලසන්න නාවික හමුදාව පියවර ගත්තා. මේ ආකාරයෙන් රටට යම් ආකාරයකට දායකත්වයක් අවශ්‍ය ඒනෑම අවස්ථාවක ශ්‍රී ලංකා නාවික හමුදාව එම කාර්යය ඉටුකරන්න සූදානමින් ඉන්නවා.

රටේ ජාතික ආරක්ෂාව සහ අනෙකුත් කටයුතු වෙනුවෙන් නාවික හමුදාවෙන් ලැබෙන දායකත්වය කෙසේ ද?

මෙහිදී බුද්ධි අංශවල දායකත්වය ඉතා වැදගත්. බුද්ධි අංශවල දායකත්වයක් නොමැතිව මත්ද්‍රව්‍ය, හෙරොයින් වැනි නීති විරෝධී දෑ අල්ලන්න අපහසුයි. ඒ නිසා හැකි උපරිමයෙන් අපි බුද්ධි අංශ මේ සඳහා දායක කර ගන්නවා. රේඩාර්වල සහාය ලබාගන්නවා. ශ්‍රී ලංකාව වටේම පිහිටි වෙරෙළ ආවරණය වන ආකාරයෙන් රේඩාර් සවිකර තිබෙනවා. මේවායින් නිරීක්ෂණය වෙනවා. ඒ වගේම අපේ මුහුදු කලාපයේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාල ප්‍රමාණයේ නැව් යොදා ගන්නවා. ඇත්තටම තහනම් දෑ විශාල ප්‍රමාණයේ නැව්වලින් රැගෙන විත් කුඩා ප්‍රමාණයේ ධීවර බෝට්ටුවලට බෙදා හරිනවා. මේවා සම්බන්ධයෙන් අපි නිරීක්ෂණය කරනවා. අපි නාවික බුද්ධි අංශයට අමතරව අනෙකුත් බුද්ධි අංශ සමඟ සමීපව කටයුතු කරනවා. එහෙත් මුහුදේ සිදුවන දෑ සම්බන්ධයෙන් වැඩි යමක් කරන්න වෙන්නේ නාවික හමුදාවටයි.

මුහුදට යන සෑම නාවිකයෙක්ම පුහුණු කර තිබෙනවා මුහුදේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්. බෝට්ටුවක් දුටු විගස කියන්න පුළුවන්. ධීවර බෝට්ටුවක් ද. නැත්නම් වෙනත් නීති විරෝධී ක්‍රියාවන්ට පැමිණෙන එකක් ද කියලා. ඒ වගේම නීති විරෝධී මිනිස් සංක්‍රමණ සම්බන්ධයෙන් ද අපේ අවධානය යොමු කළා. පසුගිය 2011, 2012 හා 2013 වසරවල තමයි වැඩි වශයෙන් සංක්‍රමණියකයන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටවලට ගියේ. එක බෝට්ටුවේ 60ක් 70ක් පමණ සිටියා. අපි අල්ලපු එක බෝට්ටුවක 110 සිටියා. නමුත් මේ ගිය ඒවායෙන් උපරිම යන්නේ 8 ක් තරම් පිරිසක්. ඒවා බැලූ බැල්මට අපිට පේන්නේ ධීවර බෝට්ටුවක් කියලයි. වසර දෙකකට පෙර බෝට්ටුවක් ගියා ඔස්ට්‍රේලියාවට. එහි ගියේ 6 දෙනෙක්. එය සාමාන්‍යයෙන් පවුලේ සාමාජිකයන් එකතුවෙලා බෝට්ටුවේ ගිහින් තිබෙන්නේ ඉන්දියාවෙන් කේරළ කංසා පැමිණීම තමයි දැන් තිබෙන තත්ත්වය. නමුත් අපි අද වනවිට කොවිඩ් තත්ත්වය හේතුවෙන් හොඳ නිරීක්ෂණයකින් පසුවෙනවා. ඉන්දියාවෙන් පැමිණෙන ධීවරයන්ගෙන් කොවිඩ් එන්න පුළුවන්. මේ නිසා අපි මේ සියල්ල සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

මේ දවස්වල ඉන්දීය ධීවරයන් අල්ලන්නේ නම් කොරෝනා තත්ත්වය සමඟ ඔවුන් දින 14ක් නිරෝධායනය කරන්න වෙනවා. ඉන්දියාවෙන් සංක්‍රමණිකයන් පැමිණෙන්නේ නම් කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා නාවික හමුදාව වැඩි අවධානයකින් පසුවෙනවා. මේ තත්ත්වය සමඟ වෙරළ කලාපයේ වැඩි වශයෙන් මුර සංචාර සිදු කරනවා. එම කලාපවලට වැඩිපුර නාවිකයන් යොදවා සිටිනවා. ධීවරයන් සහ ඒ ඒ ප්‍රදේශවල සමාජ ක්‍රියාකාරීන් මේ පිළිබඳ දැනුවත් කර තිබෙනවා.

අපේ රට රැකීමට උර දුන් නාවික සෙබළුන් රැක බලා ගැනීමට ඔබ ක්‍රමවේදයක් සකසා තිබෙනවද?

යුද්ධය අවසන් වී මේ වන විට වසර 11ක් පමණ වෙනවා. යුද්ධයට උර දී කටයුතු කළ නාවිකයන් බොහෝ පිරිසක් මේ වනවිට විශ්‍රාම ගොස් සිටිනවා. මෙතන ඉන්නවා වසර 20 කට වඩා සේවයක් කරමින් ගෞරවාන්විතව විශ්‍රාම ගිය කොටසක්. තවත් පිරිසක් ඉන්නවා ආබාධිත තත්ත්වයෙන්. තවත් පිරිසක් ඉන්නවා නාවිකයන්ගේ පවුලේ සාමාජිකයන්. මම අතිරේකව යමක් කරන්න කල්පනා කළා. නාවික හමුදාව විසින් මේ අයව බලා ගන්න. මේ සියලු සාමාජිකයන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රතිකාර ගන්න කොළඹ පිහිටි නාවික හමුදා රෝහල වෙත පැමිණෙනවා. ඇතැමුන් මාසයකට හෝ මාස දෙකකට වරක් පැමිණෙනවා. එවැනි අයට මීට පස්සේ මෙහේ එන්න අවශ්‍ය වන්නේ නැහැ. අපි ක්‍රමවේදයක් සකස් කොට තිබෙනවා ඒ අයට අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතම ප්‍රවාහනය කරන්න. රටේ ඕනෑම තැනකට මෙලෙස ඖෂධ ප්‍රවාහනය කරන්න පියවර ගෙන තිබෙනවා. නාවික හමුදාවේ අධ්‍යක්ෂ (සෞඛ්‍ය සේවා) සහ අධ්‍යක්ෂ (සුබසාධන) දෙදෙනාගේ සම්බන්ධීකරණයෙන් යුතුව වෙනමම කණ්ඩායමක් මේ වෙනුවෙන් යොදවන්න පියවර ගෙන තිබෙනවා.

නාවික හමුදාවේ ඉන්න කට්ටිය වගේම ඉවත්ව ගිය කට්ටිය බලා ගන්නත් අපිට අවශ්‍යයි. තමන්ගේ හොඳම කාලය නාවික හමුදාව වෙනුවෙන්, රට වෙනුවෙන් කැප කරලා ඒ අය විශ්‍රාම සුවයෙන් ඉන්නවා.

උපන් ප්‍රදේශය මෙන්ම පාසල් කාලය පිළිබඳව කතා කරමු?

මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. 1971 වසරේ තමයි මම කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණේ. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා 1983 වසරේ දී විභාගයෙන් සමත් වුණා. විශ්ව විද්‍යාලයට යන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. 1984 වසරේ දී පාසලෙන් ඉවත්වුණා. මගේ තාත්තාගේ ගම කඩුගන්නාව. මම රාජකීය විද්‍යාලට එන්න ඕන නිසා කොළඹට ආවා. මගේ අම්මාත් සහ තාත්තාත් දෙන්නාම වැඩකළේ පොලිස් දෙපාර්තමේන්තුවේ. තාත්තා වැඩකළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු අංශයේ. මගේ අම්මා මේ වනවිට ජීවතුන් අතර නැහැ. නමුත් තාත්තා අපේ ගෙදර ඉන්නේ. දැනට මම පදිංචි වී ඉන්නේ කොට්ටාවේ රුක්මලේ.

පොලිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පවුල් පරිසරයක් පැවැති ඔබ ශ්‍රී ලංකා නාවික හමුදාවට සම්බන්ධ වුණේ ඇයි?

මම ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුනේ 1985 වසරේ ජනවාරි මාසයේ දී නාවික හමුදාවේ 13 වැනි බඳවා ගැනීමට. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායමේ මම හිටියා. කනිෂ්ඨ කැඩෙට් නිලධාරියෙක් ලෙස පාසල් කණ්ඩායමට එක්වුණේ 1979 වසරේ දී. 1985 වසර දක්වා කැඩෙට් කළා. 1981 හා 1982 වසර දෙකේදීම හර්මන්ලෝස් දිනුවා. හර්මන්ලොස් කියන්නේ කැඩෙට්වල යා හැකි උපරිමය වෙනවා. මේ කාලයේ මම අවස්ථා දෙකක දී පාසල් කෙඩෙට් නිලධාරියකු වශයෙන් නිදහස් දින ආචාර පෙළපාළිය සඳහා ඉදිරිපත් වන්නට අවස්ථාව ලැබුණා. ඒ දෙකම තිබුණේ කොළඹ, ගාලු මුවදොර පිටියේ. එම පෙළපාළියේ ගමන් කරන විට අපට පිටුපසින් තමයි නාවික හමුදාව එන්නේ. ඉතිං මේ පෙළපාළියේ අපි යනවිට මේක මම දැක්කා. ඒ අවස්ථාවේ නාවික හමුදාව ගැන මට යම්කිසි අදහසක් ආවා.

මහින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න