ලෝකයම රකින ඕසෝන් වියන | දිනමිණ


 

ලෝකයම රකින ඕසෝන් වියන

ඕසෝන් ස්තරය සුරැකීමේ අන්තර්ජාතික දිනය යෙදී තිබෙන්නේ අදටය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සෑම වසරක ම සැප්තැම්බර් 16 වැනිදා ඕසෝන් ස්තරය සංරක්ෂණය කිරීමේ අන්තර්ජාතික දිනය යැයි නම් කරන ලද්ද්දේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනි. එම දිනය ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වූයේ 1987 වසරේ දී මොන්ට්‍රියල් ප්‍රඥප්තියට ලෝක ජාතීන් අත්සන් කිරීමත් සමඟය. මොන්ට්‍රියල් ප්‍රඥප්තියට ලෝකයේ රටවල් 197ක් අස්සන් කිරීම සිදු වී තිබෙන්නේ 1987 සැප්තැම්බර් මාසයේ 16 වැනිදා ය.

සෑම වසරකම ඕසෝන් ස්තරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය පැවැත්වෙන්නේ කිසියම් තේමාවක් මුල් කරගෙන ය. මේ වසරේ තේමාව “ ජීවය සඳහා ඕසෝන්” යන්නය. එහි අරුත, පෘථිවිය මත පවත්නා ජීවය සඳහා ඕසෝන් තීරණාත්මක සාධකයක් වන බව ය. අනාගත පරම්පරාවල පැවැත්ම උදෙසා ඕසෝන් ස්තරය ආරක්ෂා කළ යුතු බව ද ඉන් අවධාරණය කෙරේ.

ඕසෝන් යනු කුමක් ද?

ඕසෝන් ස්තරය ගැන කතා කිරීමේදී නිරවුල් කරගන්නට ගැටලු කිහිපයක් ඇත. ඕසෝන් යනු කුමක්ද?, ඕසෝන් ස්තරය යනු කුමක් ද?, ඕසෝන් ස්තරය ආරක්ෂා කළ යුත්තේ ඇයි? ඕසෝන් ස්තරයට හානි සිදුවන්නේ කෙසේ ද? යනු ඉන් කිහිපයකි.

ඕසෝන් යනු ඔක්සිජන් පරමාණු ත්‍රිත්වයකින් සැදුණු වායුවකි. සමස්ත වායු පරිමාවෙන් 0.0000007%කට ආසන්න ප්‍රමාණයක් ඕසෝන් බැව් විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඕසෝන් ස්තරය වශයෙන් හඳුන්වන්නේ ඕසෝන් ඉහළ සාන්ද්‍රණයක් සහිත කලාපයන් ය. ස්වාභාවික වායු කලාපයේ ඕසෝන් පිහිටා තිබෙන්නේ ස්තර ගෝලයක් වශයෙනි. පොළොව මතුපිට සිට කිලෝමීටර 20ත් කිලෝමීටර 50ත් අතර දුර ප්‍රමාණයක් ඇතුළත එය පිහිටා තිබේ.

ලෝ පුරා පැතිර ඇති ඕසෝන් ස්තරයේ ඝනකම තැනින් තැනට වෙනස් ය. සාමාන්‍යයෙන් තුනී ස්තරයක් තිබෙන්නේ සමකය ආසන්නයේ බව සඳහන් වේ. එම ස්තරය ධ්‍රැව ආසන්නයේදී ඝනකම් ස්වභාවයක් උසුලයි. ඕසෝන් ස්තරයේ ඝනකම මේ අන්දමට වෙනස් වීම කෙරෙහි බලපා ඇත්තේ වායුගෝලීය සංසරණ රටා සහ සූර්ය කිරණවල තීව්‍රතාවයි.

ඕසෝන් ස්තරය පෘථිවිය මත ජීවයේ පැවැත්මට හේතු වේ. ඒ, සූර්යයාගෙන් නිකුත් කෙරෙන අහිතකර පාරජම්බුල කිරණ පොළොවට පතිත වීම වැළැක්වීමට දායක වෙමිනි. ඕසෝන් ස්තරයෙන් කෙරෙන එම ක්‍රියාව සමාන වන්නේ ඉහළා තැබූ කුඩයක් අපව අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා කරන ක්‍රියාවට ය.

පෘථිවියේ ආරම්භය

පෘථිවිය මත ජීවය ආරම්භ වීම සහ ඕසෝන් ස්තරය අතර ඍජු සම්බන්ධයක් ඇත. පෘථිවියේ ආරම්භ අවධියේදී ඕසෝන් නොතිබෙන්නේට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. එනිසා සූර්යයාගේ සිට පැමිණෙන අහිතකර කිරණවලින් (පාරජම්බුල කිරණවලින්) නැහැවෙමින් පෘථිවිය පවතින්නට ඇත. එකල මෙහි කිසියම් ජීවියකු වූයේ නම් එම ජීවියා සිටියේ ඉතා ගැඹුරු සාගරයේ විය හැකි ය. එයට හේතුව පාරජම්බුල කිරණ සාගරයේ නොගැඹුරු ප්‍රදේශ දක්වා ගමන් කිරීමය. එනිසා සාගරයේ නොගැඹුරු කලාපවල ජීවය නොතිබෙන්නට ඇතැයි විශ්වාසයක් තිබේ. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ආරම්භ වූයේ මෙයට වසර 600කට පමණ ඉහතදී ය. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියෙන් අතුරුඵලයක් ලෙස ඔක්සිජන් බැහැර කෙරෙන බැවින් අනුක්‍රමයෙන් ඕසෝන් ස්තරය නිර්මාණය වීම ආරම්භ වන්නට ඇත. ඕසෝන් ස්තරය වර්ධනය වීමත් සමග පාරජම්බුල කිරණ පෘථිවිය මත පතිත වීම අඩු වන්නට ද ඇත. ජීවීන්ට හිතකර පරිසරයක් මෙහි නිර්මාණය වීමත් සමඟ ම ජීවය ද වර්ධනය වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

ඕසෝන් ස්තරය පිළිබඳව මුලින්ම තතු අනාවරණය කර ගත්තේ 1913දී පමණ ය. ඒ සඳහා මුල් වූයේ ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයන් දෙපළක් වන චාර්ල්ස් ෆැබ්‍රි සහ හෙන්රි බුස්සන් ය. ඉන්පසු කාලයක දී ඕසෝන් වායුවේ ස්වභාවය, එයින් මිනිසාට ඇති ප්‍රයෝජන මෙන්ම ජීවයේ ආරම්භය සහ ඕසෝන් වායුව අතර ඇති සම්බන්ධය පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නා ලදී.

තාක්ෂණික දියුණුවෙන් වන හානි

මිනිසා පෘථිවිය මත පහළ වී තාක්ෂණික දියුණුව අත්පත් කරගන්නා විට ඕසෝන් ස්තරයට හානි පැමිණෙන්නට විය. නයිට්‍රජන් ඔක්සයිඩ් නිසා ඕසෝන් ස්තරයට හානි සිදු වන බව මුලින් ම හෙළි වූයේ 1970දී පමණ ය. ක්ලෝරෝෆ්ලූරෝකාබන (chlorofluorocarbons) නිසා ඕසෝන් ස්තරයට සිදු වන හානි පිළිබඳව 1974දී අනාවරණය කර ගැනිණ. ශීතකරණ හා වායු සමනය භාවිතයේදී, සුවඳ විලවුන් භාවිතයේදී, තීන්ත භාවිතයේදී, පළිබෝධ නාශක ඉසින අවස්ථාවන්හිදී වායු ගෝලයට එකතුවන ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්, ඕසෝන් ස්තරයේ පැවැත්මට හානිකර ය. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් ගිනි නිවන උපකරණ භාවිතයේදී ද ද්‍රාවකයක් හා පිරිසුදු කාරකයක් ලෙස භාවිත කිරීමේදී ද වායුගෝලයට එකතු වේ. එම රසායනිකය ද ඕසෝන් ස්ථරයට හානි පමුණුවයි. පිරිසුදු කාරකයක් ලෙස භාවිතයට ගන්නා මෙතිල් ක්ලෝරෆෝම් ද ඕසෝන් ස්තරය පළුදු කරන බව විද්‍යාඥයෝ පවසති.

ඇන්ටාක්ටිකාවට ඉහළ අහසේ ඕසෝන් ස්ථරයේ සිදුරක් නිර්මාණය වී තිබෙන බව විද්‍යාඥයන්ගේ අවධානයට පළමුවෙන්ම ලක් වූයේ 1985දී පමණ ය. මෙම සිදුර කාලයත් සමග විශාල වන බවත් 2003 වනවිට එම සිදුර ඉහළම විශාලත්වයට පැමිණ තිබෙන බවත් විද්‍යාඥයන්ට අවබෝධ විණ.

පැවැත්මට බාධා

ඕසෝන් ස්තරයට හානි පැමිණීම මිනිසාට මෙන්ම පෘථිවිය මත වසන සෙසු සත්ත්ව සහ ශාක විශේෂවල පැවැත්මට විශාල බාධාවක් ඇති කරයි. පාර ජම්බුල කිරණවලට නිරාවරණය වීම නිසා සම රැළි වැටීම, පිලිස්සීම, සමේ පිළිකා ඇතිවීම, ඇසේ සුද ඇතිවීම, ඇස් අන්ධ වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණීම, ජාන විකෘතිවීම, ජාන විකෘති වීම නිසා පිළිකා ඇතිවීම, ශ්වසන රෝග ඇතිවීම වැනි අහිතකර තත්ත්වවලට මිනිසාට මුහුණදෙන්නට සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට වසරකට මිලියන 12ත් 15ත් අතර පුද්ගලයෝ පිරිසක් ඇසේ සුද ඇතිවීමේ රෝගී තත්ත්වයට මුහුණ දෙති. එයින් 20%ක් සිදුවන්නේ අධික සූර්යයාලෝකය ඇස මත පතිත වීම නිසා බව පර්යේෂණවලින් තහවුරුව තිබේ.

ඕසෝන් ස්තරයට හානි වීමෙන් පාර ජම්බුල කිරණ ගලා ඒම නිසා ශාක ප්ලවාංග විනාශ වී යයි. එමඟින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට හානි කෙරේ. මත්ස්‍ය සහ උභය ජීවී විශේෂ විනාශයට පත්වීමෙන් ජෛව විවිධත්වයට හානි සිදු වේ. ඕසෝන් ස්තරයට හානි සිදු වීම භෝගවල ඵලදාව අඩු වීමටත්, ශාක වර්ධනය හීන වීමටත් හේතුවකි.

මෙම රසායනිකයන් මඟින් ඕසෝන් ස්තරය මත ඇති කෙරෙන බලපෑම නවතා ගැනීමට හෝ අවම කරගැනීමට හෝ විශේෂ වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත. ඒ අතර ප්‍රධාන වන්නේ ඕසෝන් ස්තරයට හානිකර රසායනිකයන් වෙනුවට ආදේශක හඳුන්වා දීමයි. ශීතකරණවලදී හයිඩ්‍රොෆෝලෝරෝ කාබන්, ඇමෝනියා හඳුන්වා දීම, ෆෝමින් නිෂ්පාදනයේදි හයිඩ්‍රොක්ලෝරෝ‍ෆ්ලෝරෝ කාබන් භාවිතය, ඉසින කාරක ලෙස හයිඩ්‍රොකාබන් භාවිතය, ක්ලෝරෝෆ්ලූරෝකාබන වෙනුවට හඳුන්වාදීම ඒ අතර ප්‍රධාන ය. ගිනි නිවන උපකරණවල ඇති, ඕසෝන් ස්තරයට හානි ගෙන දෙන රසායනික ද්‍රව්‍යවලට කාබන්ඩයොක්සයිඩ්, ජලය සහ නිෂ්ක්‍රිය වායු වැනි ආදේශක හඳුන්වා දී තිබේ. මෙතිල් බ්‍රෝමයිඩ් වෙනුවට කෘෂිකාර්මික කටයුතු සඳහා සමෝධානිත පළිබෝධ පළිබෝධ කළමනාකරණය හඳුන්වාදීම, සූර්යතාපනය හඳුන්වාදීම, මෙටාම් සෝඩියමි, ඩැසෝමේට් වැනි ඕසෝන් හිතකාමී පළිබෝධ නාශක හඳුන්වාදීම ඉතා වැදගත් පියවර ය.

මෙවැනි පියවර අනුගමනය නොකළේ නම් ඕසෝන් ක්ෂයවීමේ මෙයට වඩා බොහෝ වැඩි වන්නට ඉඩ තිබිණ. එසේම පෘථිවිය මතට පැමිණෙන පාරජම්බුල කිරණ වැඩි වන්නටද ඉඩ තිබුණේ ය. විද්‍යාඥයන් පවසන්නේ ඇසේ සුද මතුවීමේ රෝගයෙන් පීඩා විඳින සංඛ්‍යාව අදට වඩා මිලියන 130කින් වැඩි වන්නට අවකාශය තිබුණු බවකි. චර්ම පිළිකා සහිත රෝගීන් අදට වඩා මිලියන 1.5කිනුත්, වෙනත් පිළිකා සහිත රෝගීන් අදට වඩා මිලියන 19කිනුත් ඉහළ යා හැකිව තිබුණු බව ඔවුහු පෙන්වා දෙති.

මොන්ට්‍රියල් ප්‍රඥප්තිය

ඕසෝන් ස්තරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක මොන්ට්‍රියල් ප්‍රඥප්තිය මෙහිදී ඉතා වැදගත් මෙහෙයක් සිදු කරයි. එහි අඩංගු කරුණුවලට අනුව ලෝකයේ රාජ්‍ය 197කට ආසන්න සංඛ්‍යාවක් එකාවන්ව ඕසෝන් ස්තරයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ නිසා ඕසෝන් ස්තරයට සිදුව ඇති හානිය අවම කරගන්නට හැකිව තිබේ. දැනට පළ කර ඇති අනුමාන කිරීම්වලට අනුව 2050 සහ 2070 අතර කාලයේදී ඕසෝන් ස්තරය 1980 වසරේදී පැවැති තත්ත්වයට පත් වනු ඇත. එසේ වූවත් රටවල් 11ක් මොන්ට්‍රියල් ප්‍රඥප්තියට අනුව ක්‍රියා නොකිරීම අභියෝගයකි. ඕසෝන් ස්තරයේ පැවැත්මට බාධාකාරී රසායනික සහිත ද්‍රව්‍ය අලෙවිය ලෝ පුරා තවමත් සිදු වේ. ඕසෝන් ස්තරයට අහිතකර වන ද්‍රව්‍ය ඇතුළත් නිෂ්පාදිත, සංවර්ධිත රටවලින් ඉවත් කර සංවර්ධනය වෙමින් පවත්නා රටවලට එවීමත් අවාසනාවන්ත තත්ත්වයකි. ලොව ඇතැම් රටවල් මෙතිල් බ්‍රෝමයිඩ් තවදුරටත් පරිශීලනය කිරීම ද විශාල ගැටලුවක් වී ඇත.

ඕසෝන් වියන සුරැකීම සඳහා ශ්‍රී ලංකාවත් ඉතා වැදගත් පියවර කිහියක් ගෙන තිබේ. වියානා සම්මුතියට සහ මොන්ට්‍රියල් සම්මුතියට ශ්‍රී ලංකාව අස්සන් කර එයට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් පියවරක් හැටියට හැඳින්විය හැකි ය. පරිසර අමාත්‍යාංශය යටතේ ජතික ඕසෝන් ඒකකය පිහිටුවීම, ඕසෝන් අහිතකර ද්‍රව්‍ය ශ්‍රි ලංකාවට ගෙන ඒම තහනම් කිරිම, රසායනික ද්‍රව්‍ය භාවිතා කර සුවඳ විලවුන් නිෂ්පාදන කරන ආයතනවලට ඕසෝන් හිතකාමි තාක්ෂණය හඳුන්වා දීම ඒ අතර කැපී පෙනෙයි.

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න