හරි මඟ යා යුතු මංතීරු නීතිය | දිනමිණ

හරි මඟ යා යුතු මංතීරු නීතිය

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

පසුගිය 14 වනදා අසන්නට ලැබු‍ණු විශේෂිතම ප්‍රවෘත්තිය වූයේ කොළඹ නගරය ආසන්නයේ ඉතා දැඩිව ඇති වූ මාර්ග අවහිරතාවයන්ය. තම සේවා ස්ථානයන් කරා යන්නන් මෙන්ම පාසල් වෙත යන දරු දැරියන් රැගත් පාසල් වෑන් රථ ද එක පෙළට කොළඹ නගරයට ඇතුළුවන මාර්ගවල මෙන්ම නගරය ඇතුළත මාර්ගයන්හි ද සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදී යන බවක් දක්නට ලැබිණි. තම රැකියා ස්ථාන කරා නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ නිසා ද තම පෞද්ගලික කටයුතු උදෙසා නිශ්චිත වූ වේලාවට අදාළ ස්ථානයන්ට යෑමට නොහැකි වූ නිසා ද බොහෝ දෙනකුට ඔවුන්ගේ දෛනික කාලසටහන වෙනස් කරගැනීමට ද සිදු විය.

කොරෝනා නිසා ලැබුණු නිවාඩු සමය අවසන් වන විට තත්ත්වය තවත් උග්‍රවිය. බස්නාහිර පළාත තුළ පවතින මාර්ග තදබදයට පිළිතුරක් ලෙස රථවාහන පොලිසිය මඟින් සඳුදා දිනයේ සිට මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ මෙම තත්ත්වය මතය. මෙය අලුතින් නිර්මාණය කරන ලද හෝ පැනවූ නීතියක් නොවන අතර, නිරන්තරයෙන් සිදු වූයේ පැවති නීතිය ක්‍රියාත්මක නොවීම් පමණි. මංතීරු නීතිය ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය නොවන අතර, එය 2019 වසරේදී ද කිහිපවරක් අත්හදා බැලීමට කටයුතු කළේය. කෙසේ වෙතත් මේ වන විට ඇස්තමේන්තු කර ඇති ආකාරයට බස්නාහිර පළාත තුළ පමණක් සිදුවන මාර්ග තදබදයන් නිසා වාර්ෂිකව අහිමිව යන මුදලේ වටිනාකම රුපියල් බිලියන 300කට ආසන්නය.

නීතිය ක්‍රියාත්මක වන හැටි

මේ ආකාරයට හදිසි දැනුම්දීමක් මත මං තීරු නීතිය ක්‍රියාත්මක කළ නිසා බොහෝ රියැදුරන් විස්සෝපයට පත්ව සිටි අතර තවත් පිරිස් සිදු වන්නේ කුමක්ද යන්නවත් තේරුම්ගැනීමට නොහැකිව සිටිති. මංතීරු නීතිය සම්බන්ධව බහුතරයකට අවබෝධයක් නොමැති වුවද එය නීති කිහිපයක එකතුවකි. එය මෝටර් රථ සහ වාහන පනතට අදාළ වන අතර, මෙම නීතියට අනුව සෑම විටම බස්රථ ඇතුළු බර වාහන මාර්ගයේ වම් පැත්තෙන් ගමන් කළ යුතු අතර, වේගවත්ව මෙන්ම සැහැල්ලු වාහන මාර්ගයේ දකුණු පසින් ගමන් කළ යුතුය. යම් ආකාරයකින් රිය­ැදුරු දකුණු පස මංතීරුව අවහිර කරමින් තම වාහනය ධාවනය කිරීම මං තීරු නීතිය කඩ කිරීමක් වන අතර, මං තීරු කිහිපයක් ඇති විට මං තීරු හරහා අපරීක්ෂාකාරීව තම වාහනය ධාවනය කිරීම ද මෝටර් රථ හා වාහන පනතට අනුව එය අපරීක්ෂාකාරීව රිය පැදවීමේ වරදකි.

රථ වාහන පොලිසිය පවසන පරිදි ඊයේ දිනයේ වුවද වැඩි වශයෙන් මං තීරු නීති කඩ කළ පිරිස් වශයෙන් හඳුනාගෙන ඇත්තේ ත්‍රි රෝද රථ රිය­ැදුරන් සහ යතුරුපැදි කරුවන්ය. සඳුදා දිනයේ ආරම්භ කළ මෙම මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහාය ලැබුණු අතර, ඩ්‍රෝන කැමරා යොදාගනිමින් නීති කඩකරන්නන් හඳුනාගැනීමට ද පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටී. කෙසේ වෙතත් මේ ආකාරයට ආරම්භ කළ මංතීරු නීතිය මූලිකවම ක්‍රියාත්මක කරනු ලැබුවේ කොළඹ නගරය ආසන්නයේ අධික මාර්ග තදබදයක් ඇති මාර්ග 4ක් මුල් කරගනිමිනි. එනම් බේස්ලයින් මාර්ගයේ නව කැලණි පාලමේ සිට ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට සිට හයිලෙවල් පාරේ බේස්ලයින් හන්දිය දක්වා කොටසත් ශ්‍රී ජයවර්ධනපුර හන්දියේ පොල්දූවේ සිට රාජගිරිය ගුවන්පාලම, ආයුර්වේද හන්දිය, ඩී.එස්. හන්දිය, හෝර්ටන් වටරවුම, පුස්තකාල හන්දිය, ලිබර්ටි වටරවුම දක්වාත්ය. එමෙන්ම අනෙක් මාර්ගයන් දෙක වන්නේ ගාලු පාරේ විලියම් මංසන්ධියේ සිට ඩික්මන් පාර, බම්බලපිටිය, කොල්ලුපිටිය, ගාලුමුවදොර, ගාලුමුවදොර වටරවුම, එන්.එස්.ඒ.වටරවුම ද හයිලෙවල් මාර්ගයේ අනුලා විද්‍යාලය, හයිලෙවල් බේස්ලයින් හන්දිය, පාක් රෝඩ් හන්දිය, තිඹිරිගස්යාය හන්දිය, තුම්මුල්ල වටරවුම, ග්ලාස් හවුස් හන්දිය, පුස්තකාල හන්දිය, පිත්තල හන්දිය යන කොටස්ය.

නැවත අරඹමු මහ මඟ විනය

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ බස්නාහිර පළාත් සහ රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරන්නේ මූලිකම අවස්ථාවේ නිසා පළමු දිනය තුළදී එහි ප්‍රතිඵලයක් ගැනීමට නොහැකි වුවද ඉදිරි දින දෙක තුළ යම් සාර්ථකත්වයක් අපේක්ෂා කළ හැකි බවයි. තව ද, පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ දිසාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කරනු ලබන්නේ ‘නැවත අරඹමු මහමග විනය’ යන තේමාව යටතේ රථවාහන හැසිරවීම සඳහා නිලධාරීන් 1500ක් පමණ යොදවා ඇති බවත් කාන්තා නිලධාරිනියන් ද 150ක් මේ වෙනුවෙන් සම්බන්ධ කර ඇති බවයි. තව ද, සඳුදා සිට බදාදා දක්වා යන දින තුන තුළ කිසිදු ආකාරයේ දඩ මුදලක් රියැදුරන්ගෙන් අය නොකරනු ලබන බවත් බදාදායින් පසු දින සිට නඩු මාර්ගයන්ට නොගොස් වැරදි සිදු කරන රියැදුරන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් මෙම නීතිය අකුරට ක්‍රියාත්මක කරමින් හෝ නිවැරදි මං තීරුවෙහි ගමන් කිරීම මාර්ග අනතුරු අවම කරගැනීමට මඟ සලසනු ඇත. විනයානුකූල රියැදුරෙකු ලෙස මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම ඔබගේ පූර්ණ වගකීමක් බව මතක තබාගත යුතුය. ‘මංතීරු’ නීතිය දැන් අකුරටම ක්‍රියාත්මකය. මේ රියැදුරන් ගණනාවක් ඒ පිළිබඳ දක්වන අදහස්ය.

‘දුප්පතා කබලෙන් ළිපට වැටෙන තීරණයක්’

ත්‍රිරෝද රථ රියැදුරු - ඩබ්.එස්.අනිල්(කොටිකාවත්ත)

‘‘මේක ට්‍රැෆික් වැ‍ඩිවෙන වැඩක්. කලින් කොටිකාවත්තේ ඉඳන් රාජගිරියට ගියාට වඩා දෙගුණයක් තරම් දැන් වෙලාව වැඩිපුර ගතවෙනවා. රුපියල් 200ක හයර් එකක් ගිහින් ආපහු ‘පාක්’ එකට එද්දි ඒ ගාණ තෙල්වලට පිච්චිලා ඉවරයි.’’

උදේ 8 ට වැඩට ඉන්න ඕන කෙනා දැන් 6ටවත් ගෙදරින් යන්න වෙයි. පටු පාරවල්වල වාහන එක පෙළට ගියාම එහෙමනේ වෙන්නේ. කොයි පැත්තෙන් වුණත් තැළෙන්නේ පොඩි මිනිහාමයි. අනෙක ‘මංතීරු’ කතාව හැම පාරටම අදාළත් නැහැනේ. අනෙක මිනිස්සු හයර් යෑමත් මේ නිසා දැනටමත් අඩු වෙලා.

මංතීරු ප්‍රමුඛතාවය බස්රථ වලට

බස්වලට නම් ප්‍රමුඛතා මංතීරු දීලා තියෙනවා. ඒත් පොඩි මිනිහාගේ අනෙක් වාහනේ වන ත්‍රීවිලරයට එහෙම පහසුකමක් නෑ. බස් පස්සෙන් ගාටන්නයි දැන් ත්‍රීවිලර් එකටත් වෙලා තියෙන්නේ.

ත්‍රිරෝද රථ රිය­ැදුරෙක් එසේ පවසද්දි යතුරුපැදිකරුවකුගේ අදහස්

කෙබඳු වේද? මේ කොහිලවත්ත පදිංචිකරුවෙක් වන තුෂාර චින්තක කියන කතාවයි.

‘මං තීරු නීතිය ක්‍රියාවට නැංවීමේ වරදක් නැහැ. ඒත් රෝද 4 ට වඩා රෝද 2 ට පොඩි ඉඩක් යන බව බලධාරීන් අමතක කරන්න හොඳ නෑ. එක පෙළට යතුරු පැදි පාරේ ගාල් කළොත් ඇති වන තත්ත්වය මං අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.

අවිස්සාවේල්ල - කොළඹ පරණ පාර අවුරුදු 7 ක් තිස්සේ තවම හදනවා. ඒත් වැඩ ඉවර නෑ. ඉතින් ලේන් 2 ගණනේ පාරවල් හරියට හැදුවොත් හරි. ඒත් තවම කොළඹට තදාසන්න පාරවල් හුඟක් පටුයි. මං රෝද 4 කින් ඊයේ (15) උදේත් කොළඹ ගිහින් ආවේ. ඒ ගමනටත් වෙනදාට වඩා හුඟක් වෙලා ගිය එකයි මේ නිසා වුණේ.

යතුරුපැදිකරුවකුගේ විස්තරය එසේ වන විට බර වාහන ගණයට ගැනෙන ලොරි රථ රියැදුරකු අපට හමුවිය. ඔහු බුත්ගමුව පදිංචි චමින්ද කුමාරය. මේ හෙතෙම දරන අදහසයි.

‘‘තීරණය හොඳයි. පාරවල් ටිකත් හදන්න.’’

මං තීරු නීතිය හොඳ දෙයක්. ඒත් ඒක ඒ විදියට කරන්න ඕනි. බරවාහන රිය­ැදුරන්ට සියලු මාර්ග නීති අකුරට ක්‍රියාත්මකයි. ඒත් කාර් - වෑන්වලට එහෙම නොවෙන තරම්. ඒවා වම - දකුණ දෙපැත්තෙන්ම යනවා. ට්‍රැෆික් ඇති කරන්නේත් ඒ අයමයි.

අපි ඕවර්ටෙක් කළත් පොලිසිය ලියනවා. පොලිසිය අපට හරිම තදින් කටයුතු කරන්නේ. බරවාහන රියැදුරා රටේ සංවර්ධනයට වැඩි දායකත්වයක් දක්වන කෙනෙක්. අපට දිරි දීමයි බලධාරීන් කරන්න ඕනෑ. ඉතින් මාර්ග නීති මහපාරට ඇවිත් ඇත්ත තත්ත්වය සොයා බලා මිසෙක ආවාට ගියාට හදන්න හොඳ නෑ.

මාර්ග නීති අකුරට ක්‍රියාත්මකයි

මේ දෝෂ දර්ශනයට ලක් වන සැහැල්ලු වාහන රියදුරන් නියෝජනය කරමින් අප මෝටර් රථ රියදුරකු හමුවීමු. ඒ නුවරඑළියේ පදිංචිකරුවකු වන එම්. මාධවන්ය. ඔහු කියන වෙනස් කතාව මෙසේය.

‘වැඩේ හොඳයි - ඔහොම යං’

පාර පුරා දුවන්න දෙන්න හොඳ නැහැ

මැලේසියාව, සිංගප්පූරුව රටවල මං වැඩ කළා. ඒ රටවල රිය­ැදුරන් විනයක් ඇතිව රිය පදවනවා. ඒත් ලංකාවේ අය පාර පුරා යන තත්ත්වයක් තියෙන්නේ. ඒ රටවල කැමරාවලින් නිරීක්ෂණය කරලා, අදාළ රථය අයිතිකරුට දඩ කොළය ගෙදරටම එනවා. තවම ලංකාවේ එහෙම තත්ත්වයකුත් නැහැනේ. මේ නිසා අනතුරු අඩු වෙනවා. නුවර - කොළඹ පාර උදාහරණයකට ගමුකෝ. ඒ පාරේ ඕවර්ටෙක් කරන්න බැහැ. ඒත් සමහරු බැරි දේ කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා. ඉතින් මිනිත්තු 5ක් විතර පරක්කු වුණාට කමක් නෑ. ආරක්ෂාව ඊට වඩා වටිනවා නේ. බර වාහනවලට වෙනම වේලාවක් දීමත් මේ වගේම වැදගත්. ඉඟුරු කඩේ හන්දිය, ඔරුගොඩවත්ත හන්දියේදි එහෙම අපි ඒ කටුක අත්දැකීම විඳිනවා. සිග්නල් ලයිට්වල ටයිම් එකත් දැනට වඩා අඩු කිරීමට අවධානය යොමු කළ යුතුයි.’’

ඉනික්බිතිව අප හමු වූයේ ඒ.සනත් කුමාරවය. වතුරුගම පදිංචි ඔහු ගම්පහ - කොළඹ බස් රියදුරෙකි.

‘තීරණය හොඳයි - ඩීසල් ටිකක් හරි ඉතිරි වෙයි’

‘බස්වලට පාරේ වමෙන්නේ යන්න තියෙන්නේ. ඒත් සමහර බස් රියදුරන් දකුණෙනුත් යන්න හුරුවීම හොඳ දෙයක් නෙවෙයි. අනෙක මේ තීරණය දවස පුරාම ක්‍රියාත්මක වෙන්නේ නෑ. මාර්ග තදබදය වැඩි වෙලාවටයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් පොලිසියටත් හොඳයි. අපිටත් හොඳයි.

කොළඹට ඇතුළුවන විටයි මේ තත්ත්වය දැනට තියෙන්නේ. ඒත් පෑලියගොඩින් එහාට ගියාම එහෙම නැහැ. ඒ ටිකේ ලොකු ‘බ්ලොක්’ එකකුත් නැහැනේ. ඒත් කිරිබත්ගොඩදි නිතරම ට්‍රැෆික්. ඒ තත්ත්වය වෙනස් කළොත් දුර ගමන් බස්වලටත් පහසුයි. මාවනැල්ල - කෑගල්ල වගේ කොළඹින් බැහැර ප්‍රදේශවලත් දැන් විකල්ප මාර්ග බවට තියෙනවා. ඒත් කොළඹ අවට එසේ නොවීම අසතුටුදායක තත්ත්වයක්...’

සටහන - රජිත බස්නායක,නුවන් මහේෂ් ජයවික්‍රම

මාර්ග විනය රකිමු

කොළඹ නගරය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ සිතෙහි ඇත්තේ අප්‍රසන්න සහගත චිත්‍රයකි. ඊට ප්‍රධාන සාධකය වී ඇත්තේ නිබඳව එහි පවතින්නා වූ මාර්ග තදබදය බව නොරහසකි. රාජකාරියට, අධ්‍යාපනයට හෝ වෙනත් කටයුත්තකට කොළඹට එන ජනතාව මාර්ග තදබදයෙන් නිරන්තරයෙන් පීඩා විඳිති. පැය ගණන් මාර්ගයේ රස්තියාදු වීම කොළඹ සංකේතයක් වන තරමටම එහි මාර්ග තදබදය අධිකය. මාර්ග පටුවීම, වාහන අධික වීම, මාර්ග විනය පිරිහීම, අපිළිවෙළකින් යුත් මාර්ග සැලසුම් ආදී මෙකී නොකී හේතු රැසක් මෙම තදබදයට හේතු වී ඇති බව රහසක් නොවේ.

කොළඹ නගරයේ පවතින මෙම මාර්ග තදබදය හේතුවෙන් දෛනිකව මහමඟට දියවෙන ශ්‍රම පැය ගණන පමණක් ගත්ත ද ජාතික නිෂ්පාදනයට සිදුවන පාඩුව සුළුපටු නොවේ. එසේම මහමඟ දී දැවෙන ඉන්ධනවලටද දැවැන්ත ධනස්කන්ධයක් වැය කිරීමට සිදුව තිබේ. මේ නිසා කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කරලීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුනාගෙන තිබුණේ අද ඊයේ නොවේ. ඔහු එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. කොළඹ මාර්ගයේ විධිමත් රථවාහන සැලැස්මක් පළමුවෙන් ක්‍රියාවට නැංවුණේ එම යුගයේදීය.

පසුව එම සැලසුම් හමස් පෙට්ටියට ගියත් ගෝඨාභය රාජපක්ෂ මහතා නිරන්තරයෙන් ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවිය. 2019 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන විට රාජපක්ෂ මහතා ජනතාව හමුවේ තැබූ “ගෝඨාභය - රට හදන සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 56 වැනි පිටුවේ මේ සම්බන්ධයෙන් සටහන් තැබුණේ ඒ අනුවය. කොළඹ නගරයේ රථවාහන තදබදය සියයට 50කින් අවම කරලීම සඳහා වන සැලසුම් එමගින් ඉදිරිපත් කෙරිණි. මේ සතියේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මං තීරු නීතිය ක්‍රියාවට නැංවෙන්නේ ඒ අනුවය.

මාර්ගයේ පැහැදිලි ලෙසම මං තීරු බෙදා තිබුණත් ඒවා නොසලකා හිතුමතයේ ධාවනය කිරීමට රියැදුරෝ පෙළඹී සිටිති. එය නගරයේ මාර්ග තදබදය අධික වීමට එක් ප්‍රධාන හේතුවක් වී තිබේ. මාර්ග විනයක් සහිත රිය­ැදුරන් තමන්ට නියමිත තීරුවේ ධාවනය කරන්නේ නම් මාර්ග තදබදය අවම කරගැනීමට හැකියාව ලැබේ. මං තීරු නීතිය විටින් විට ක්‍රියාවට නැංවුණත් සාර්ථක නොවූයේ නීතියට අනුගත වීමට තරම් අපේ ඇතැම් රියැදුරන්ට අවශ්‍යතාවක් නොවූ නිසාය. එහෙත් මෙවර නීතිය දැඩිව ක්‍රියාවට නැංවීමට පොලීසිය සූදානමින් සිටියි.

ජාතියක් වශයෙන් අප ඉදිරියට යාමේදී විනය ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ කාරණයක් වේ. මහා මාර්ගයේ රිය ධාවනය කිරීමේදී පවා විනය වැදගත් වන්නේ ඒ නිසාය. මාර්ග තදබදය අවම කරලීමට පමණක් නොව මාර්ග විනය රැකීම අනතුරු වලක්වා ගැනීමටත් රුකුලක් වේ. එබැවින් අප ජාතියක් වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාවට නැංවෙන මෙම නව ප්‍රවේශයට අනුගත විය යුතුමය.

 

ධනුෂ්ක ගොඩකුඹුර

නව අදහස දක්වන්න