විග්නේශ්වරන් අධිකරණයට අපහාස කළැයි නඩු විභාගය අවසන් කරයි | දිනමිණ


 

විග්නේශ්වරන් අධිකරණයට අපහාස කළැයි නඩු විභාගය අවසන් කරයි

නෙල්කා මැදගෙදර

අභියාචනාධිකරණ නියෝගයකට අනුව කටයුතු නොකිරීමෙන් උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාස කර ඇති බවට විභාග වන නඩු කටයුත්ත අවසන් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (16) තීරණය කළේය.

මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට සිය සේවාදායකයා අපේක්ෂා නොකරන බැවින් නඩු විභාගය අත්හිටුවන ලෙස පැමිණිලිකාර උතුරු පළාතේ හිටපු ඇමැති බී. ඩෙනිෂ්වරන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව නඩු විභාගය අවසන් කිරීමට මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය.

උතුරු පළාතේ ධීවර, ප්‍රවාහන, ග්‍රාමීය සංවර්ධන ඇමැතිවරයාව සිටි බී.ඩෙනිෂ්වරන් මහතා එම ධුරයෙහි නැවත පිහිටුවන ලෙස අභියාචනාධිකරණය මීට පෙර උතුරු පළාත් මහ ඇමැතිවරයාට නියම කළේය.

එම නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු තිදෙනකු අධිකරණයට අපහාස කර ඇති බවට බී. ඩෙනිෂ්වරන් මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

මෙම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී අදාළ අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම් ඉල්ලා අස්කර ගන්නේ නම් සහ ඇමැති ධුර වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන්නේ නම් මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට සිය සේවාදායකයා සූදානම් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එම කොන්දේසිවලට එකඟ නොවන බව සී.වී. විග්නේෂ්වරන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග්ඊශ්වරන් මහතා ප්‍රකාශ කිරීම නිසා නඩුව විභාග කිරීමට අධිකරණය තීරණය කළේය.

ඒ අනුව පළමු සාක්කි විමසීම පසුගිය 15 දින සිදු කරන ලදී.

එහි වැඩිදුර සාක්කි විභාගය ඊයේ (16)ට නියමිතව තිබුණි.

නව අදහස දක්වන්න