ගලගොඩඅත්තේ හිමිට එරෙහි නඩු විභාගයකින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත් වෙයි | දිනමිණ


 

ගලගොඩඅත්තේ හිමිට එරෙහි නඩු විභාගයකින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත් වෙයි

නෙල්කා මැදගෙදර

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද නියෝගය උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනකුට එරෙහි නඩු විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ඊයේ (16) ඉවත් විය.

පෞද්ගලික හේතුවක් මත ‍තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරු පෙත්සම් විභාගය සඳහා නම් කරන බව සඳහන් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්. ඩී. නවාස් සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරු හමුවෙහි මෙම නඩුව කැඳවනු ලැබිණි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනී ස්කන්ධරාජා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙහි වගඋත්තරකරුවෝ වූහ.

මුලතිව් ගුරුකන්ද ‍රජමහා විහාරාධිපති හිමියන් අපවත් වූ අවස්ථාවේදී එම ආදාහන කටයුතු කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබා දෙන ලදී.

එම නියෝගයට අවනත නොවීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කර දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි.

ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටියේය.

නඩු විභාගය ඔක්තෝබර් මස 20 දිනට කල් තැබිණි.

නව අදහස දක්වන්න