වරායෙන් නවෝදය! | දිනමිණ


 

වරායෙන් නවෝදය!

ශ්‍රී ලංකාවේ වරාය කටයුතු ද නාවික කටයුතු ද ශීඝ්‍ර දියුණුවකට ලක් කළ යුතු යැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි. රටේ පිහිටීම අනුව ගතහොත් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවික කටයුතු පිළිබඳ ප්‍රමුඛයා බවට ද වරාය කටයුතු පිළිබඳ ප්‍රමුඛයා බවට ද පත් විය යුතුය. එහෙත් එය එසේ සිදු වී නැත. රට වටා ඇති වරායවල් දියුණු කළ හොත් ආසියාවේ වරාය කටයුතු පිළිබඳ ප්‍රමුඛයා බවට අපට පත් විය හැකිය. සිංගප්පූරුව, ඩුබායි දේශය හා කටාරය දියුණු වූයේ ද වරාය කටයුතු කේන්ද්‍ර කරගෙනය. ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව වරාය කටයුතුවලට සේම අන්තර්ජාතික වෙළෙඳාමට ද සම්බන්ධ කීර්තිමත් දේශයක් බටව පත්ව තිබූ බව ඓතිහාසික සාධකවලින් පෙනී යයි. අනුරාධපුර යුගයේ වරාය කටයුතු සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක ගවේෂණ ගණනාවක් සිදු වී ඇත.

ලෝකයේ ප්‍රධාන නාවික මාර්ග කිහිපයක් ශ්‍රී ලංකා මුහුදු සීමාව හරහා ගමන් කරයි. නැඟෙනහිර නාවික මාර්ගය, බටහිර නාවික මාර්ගය, ආසියා පැසිෆික් නාවික මාර්ගය, අරාබි මුහුදෙන් ආරම්භ වන නාවික මාර්ගය ඒ අතර ප්‍රධාන වෙයි. මෙකී මාර්ග ඔස්සේ යාත්‍රා කරන යාත්‍රාවලට පහසුකම් සැපයීමෙන් පමණක් වුව විශාල ආදායමක් ලැබිය හැකිය. නාවික ගමනාගමනය තාවකාලික එකක් නොවේ. ලොව පවතින තාක් හොඳම භාණ්ඩ ප්‍රවාහන මාධ්‍යය බවට පත්වන්නේ නාවික ගමන් යැයි සිතන්නට පුළුවන. දෙවන ලෝක යුද්ධයෙන් පසු භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශාල වශයෙන් නාවික යාත්‍රා යොදා ගැනිණි. සිංගප්පූරුව එහි වාසිය ලබා ගත්තේය. ශ්‍රී ලංකාව මේ ක්ෂේත්‍රය ගැන කල්පනා කළේ බොහෝ පසුවය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට කොළඹ, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල යන වරායවල් තවදුරටත් පුළුල් කරමින් වරාය කටයුතු දියුණු කළ යුතුය. බහලුම් හෙවත් කන්ටේනර් ඇසුරුම් ස්ථාන වැඩි දියුණු කරමින් ප්‍රතිනැව්ගත කිරීම් වැඩි කළ යුතුය. වේයන්ගොඩ, පෑලියගොඩ වැනි ප්‍රදේශවලින් මීට අවශ්‍ය බහලුම් ගාල් කිරීමේ ස්ථාන සපයා ගත හැකිය. අවශ්‍ය නම් ප්‍රවාහනය සඳහා දුම්රිය වුව යොදා ගත හැකිය. දෙවන ලෝක යුද සමයේ ආහාර හා යුද උපකරණ ගබඩා කළ ස්ථාන රැසක් වේයන්ගොඩ ප්‍රදේශයේ පවතී. එම ස්ථාන අදත් සුරක්ෂිතව පවතී. ඒවායින් ප්‍රයෝජනයක් ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැත. වරාය කටයුතු දියුණු කළහොත් ඒ ඔස්සේ තවත් ප්‍රදේශ ගණනාවක දියණුවක් අපේක්ෂා කළ හැකිය.

හම්බන්තොට වරායක් ඉදිකිරීමේ අදහස පැවැතියේ ඉංග්‍රීසි ආණ්ඩු සමයේ සිටය. කීර්තිමත් රාජ්‍ය සේවකයකු වූ ලෙනාඩ් වුල්ෆ් මේ බව වරින් - වර ඉංග්‍රීසි ආණ්ඩුවට දන්වා තිබේ. එහෙත් ආණ්ඩුකාරයා ඒ ගැන උනන්දුවක් දක්වා නැත. නිදහසින් පසුව ද මේ ගැන සාකච්ඡා පවත්වා ඇති මුත් වරායක් ඉදිවූයේ නැත. මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ හම්බන්තොටට වරායක් පමණක් නොව; ගුවන් තොටුපොළක් ද ලැබිණි. පසු කලෙක එජාප ආණ්ඩුව ගුවන් තොටුපොළ වී ගබඩාවක් කළ අතර, හම්බන්තොට වරාය විකුණා දැම්මේය. ඇතැම් පාලකයන්ගේ අදූරදර්ශී වැඩසටහන් නිසා ආර්ථිකයේ මර්මස්ථාන අපට අහිමි විය. දැන්වත් එම තත්ත්වය වෙනස්කොට රටේ සම්පත්වලින් උපරිම ප්‍රතිඵල නෙළා ගත යුතුය. අපේ සම්පත පිටරටට විකිණීම නැවැත්විය යුතුය.

සිංගප්පූරුවේ නායක ලීක්වාන් යූ වරාය කටයුතු දියුණු කරමින් බහලුම් ක්‍රියාවලිය ආරම්භ කළේ 1972 දීය. එය දිනෙන් - දින දියුණුවට පත් විය. සිංගප්පූරු ආර්ථිකයේ ප්‍රධාන සාධකය වරාය බව කියනු ලැබේ. සිංගප්පූරුව වැනි කුඩා රටක බහලුම් ඇසිරීම් සඳහා ඇති ඉඩ කඩ සීමිතය. එහෙත් එය කළමනාකරණය කර ගැනීමට ඔවුන් සමත් වී ඇත. ශ්‍රී ලංකාව ගත හොත් බහලුම් ඇසිරීමේ ඕනෑතරම් ඉඩ කඩ පවතී. අපට එක වරායක් නොව වරාය කිහිපයක්ම බහලුම් කටයුතු සඳහා යොදාගත හැකිය. ත්‍රිකුණාමලයේ ස්වාභාවික වරායෙන් තවත් ආර්ථික ප්‍රයෝජන ලබා ගත හැකිය. එය වරාය මූලික කරගත් ලෝක සංචාරක කලාපයක් බවට පත් කිරීමේ ඉඩකඩ තිබේ.

ඉන්දියාව සිය වරාය කටයුතු පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබේ. එහි වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ වරායවල් හතළිස් පහක් ඇත. එයින් වරායවල් දහතුනක්ම ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධ ප්‍රධාන වරායවල් ලෙස පවතී. කල්කටා වරාය, චෙන්නායි වරාය, මුම්බායි වරාය, කොචින් වරාය. විශාඛාපට්නම් වරාය ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. ඉන්දියාව වරාය කටයුතුවලට උනන්දු වන්නේ රටේ මුහුදු සීමාවට බොහෝ දුරින් නාවික මාර්ග පිහිටා තිබියදීය. ඒ අතින් බලන විට ශ්‍රී ලංකාවේ පිහිටීම හැම අතින්ම වාසිදායකය. ඉන්දියාව කන්ටේනර් ප්‍රවාහනයේදී කොළඹ වරායේ අනුග්‍රහය ලබා ගනී. ඒ අපේ පිහිටීමේ වැදගත්කමට අනුව වරාය කටයුතුවලට ඇති පහසුව පෙන්වන සාක්ෂියකි.

සාගර ආර්ථිකයක් ගැන බොහෝදෙනා කතා කර තිබේ. පර්යේෂණ කර තිබේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ “හබ් එක” හෙවත් “කේන්ද්‍රය” යැයි පෙන්වා දුන් දේශපාලකයෝ ද සිටිති. එහෙත් අ‍ෙප් වරාය කටයුතු සේම නාවික කටයුතු ද පවතින්නේ මන්දගාමී තැනෙකය. ලෝක වෙළෙඳාම මෙන්ම නාවික ප්‍රවාහනය ද කාර්යක්ෂමය. වේගවත්ය. එහෙත් ඊට ගැළපෙන ලෙස අපේ වරායවල් දියුණු වී නැත. නාවික ක්ෂේත්‍රය ද දියුණු වී නැත. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එයයි. නාවික යාත්‍රා අලුත්වැඩියා කිරීම, ඉන්ධන ඇතුළු පහසුකම් සැපයීම වුව දියුණු කළ හැකි ක්ෂේත්‍රයකි. සැලැසුම්කරුවන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු විය යුතුය. ශ්‍රී ලංකාව සාගර කටයුතු පිළිබඳ අධ්‍යයන කරන විශ්වවිද්‍යාලයක් ද සහිත රාජ්‍යයකි. එහි උගතුන්ගේ සහයෝගය ද මේ සඳහා ලබා ගත හැකිය.

අනුරාධපුර යුගය ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකේ. එම යුගය තුළ අපේ වරාය කටයුතු හා ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා සාර්ථකව පැවැතිණි. ඉතිහාසයේ අත්දැකීම් සොයා නැවත ගොස් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හොඳ අවස්ථාවක් දැන් පැමිණ තිබේ.

නව අදහස දක්වන්න