නිලවරණ පැවැත්වීමට අපොහොසත් වූ ජාතික ක්‍රීඩා සංගම් 8කට අතුරු කමිටු | දිනමිණ


 

නිලවරණ පැවැත්වීමට අපොහොසත් වූ ජාතික ක්‍රීඩා සංගම් 8කට අතුරු කමිටු

ප්‍රින්ස් ගුණසේකර

නියමිත පරිදි නිලවරණ පැවැත්වීමට අපොහොසත් වූ හා පරිපාලනමය ගැටලුවලින් සමන්විත ජාතික ක්‍රීඩා සංගම් 8ක් වෙනුවෙන් අතුරු කමිටු පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඒ අනුව හෑන්ඩ්බෝල්, කැරම්, හොකී, බාස්කට්බෝල්, මල්ලවපොර, බෝල් බැඩ්මින්ටන්, ගොල්ෆ් හා බේස්බෝල් යන ජාතික ක්‍රීඩා සංගම් ඉදිරියේදී විසුරුවා හැරීමට නියමිතය. ඒ ඒ ක්‍රීඩා වලට අදාළව වෙන වෙනම අතුරු කමිටු සාමාජිකයන් පත් කිරීම හෝ තාවකාලික පියවරක් ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පත් කිරීම යන දෙකෙන් එකක් ක්‍රීඩා ඇමැතිවරයාගේ අභිමතය අනුව සිදු වේ.

මේ ක්‍රීඩා සංගම්වල නීත්‍යානුකූලභාවය අහෝසි වී ඇති බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති අතර, මේ වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ හා උපදෙස් ලබා ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා අදාළ ලිපිගොනු ජාතික ක්‍රීඩා සභාව වෙත යොමුකර තිබේ. මේ සම්බන්ධව ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රතිචාරය අද හෙටම ලැබීමට නියමිත අතර, අනතුරුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අතුරු කමිටු පත් කිරීම නිවේදනය කෙරේ.මේ සියලු ක්‍රීඩා සංගම් නිලවරණ නොපැවැත්වීමට හේතුව ලෙස කොරෝනා අර්බුදයෙන් කාලය ඉකුත් වීම දන්වා ඇති අතර, බෝල් බැඩ්මින්ටන් සංගමය පමණක් එම සංගමයේ සභාපතිවරයා මරණයට පත්වීමෙන් නිලවරණය පැවැත්වීමට නොහැකි බව දැනුම්දී ඇත. කොරෝනා අර්බුදය හේතුවෙන් කාලය ඉකුත්වීම පිළිගත නොහැකි බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එම සියලු සංගම් වෙත දන්වා යවා ඇත. එයට හේතුව වී ඇත්තේ කොරෝනා අර්බුදය ආරම්භ වූ වහාම ක්‍රීඩා පනතේ 31වැනි වගන්තිය සමඟ කියවිය යුතු ක්‍රීඩා ඇමැතිවරයා විසින් සාදන ලද නියෝග කිහිපයක් මාස 6ක කාලයකට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගැනීමය.

එම ගැසට් නිවේදනය අනුව පසුගිය මැයි මස 31 වැනිදා අවසන්වීමට නියමිතව තිබූ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගේ නිල කාලය හා විශේෂ මහා සභා රැස්වීම් පැවැත්වීමේ කාලය තවත් මාස 3කින් දීර්ඝ කෙරුනු අතර, නිලවරණ පැවැත්වීම අගෝස්තු මස 31 වැනි දිනට කලින් නිම කළ යුතු විය. ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා වලංගු වන මේ සංශෝධන සියල්ල 2021 ජනවාරි 1දා සිට යළිත් පෙර තිබූ පරිදිම ක්‍රියාත්මක බව අතිවිශේෂ ගැසට් නිවේදනයේම සඳහන්ව තිබිණි.

ක්‍රීඩා සංගම්වල අය වැය වාර්තා මූල්‍ය වර්ෂය අවසන්වී මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වුව ද නව සංශෝධනය අනුව එය මාස 6ක් දක්වා දීර්ඝ කොට ඇත. එම අය වැය වාර්තා විගණකාධිපති වෙත භාරදීමේ කාල සීමාව ද මාස 6ක් දක්වා දීර්ඝ කරමින් සංගම්වලට වඩාත් ලිහිල්භාවයක් ලබා දුන්නේය.

ක්‍රීඩා සංගම්වල නිලවරණ කමිටුව පත් කළ දින සිට දින 30ක් ඇතුළත එම කමිටුව විසින් ඡන්දදායක නාම ලේඛනය සකස් කළ යුතු වුව ද, නව සංශෝධනය යටතේ එම කාල සීමාව දින 75ක් කිරීමත් ක්‍රීඩා සංගමයක ඡන්ද විමසීම භාරව කටයුතු කරන නිලවරණ කමිටුව පත්කිරීමෙන් අනතුරුව එහි පත්වීම් දින සිට මාස දෙකකට නොඅඩු කාලයක් තුළ නිලවරණ කමිටුව නාම යෝජනා කැඳවිය යුතු වුවත්, නව සංශෝධනය අනුව ඒ සඳහා දින 75ක කාලයක් ලබාදී තිබිණි. මෙවැනි තත්ත්වයක් තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් නිලවරණ පැවැත්වීමට නොහැකිය යන මතය පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් නොවන බව පවසා ඇත.

නව අදහස දක්වන්න