පුහුණුකරුවන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් විනාශ කළා | දිනමිණ


 

පුහුණුකරුවන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් විනාශ කළා

ෆවුස් මොහොමඩ්

චමනී සෙනෙවිරත්නගෙන් සාජා නුවර සිට ‘දිනමිණ’ට විශේෂ හෙළිදරවුවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ හිටපු ඇතැම් පුහුණුකරුවන්ගේ අයුතු යෝජනාවලට අවනත නොවීමත්, තේරීම් කමිටුවට ඔවුන් සිදු කළ බලපෑම් විවේචනය කිරීමත් නිසා තමා ඇතුළු දස්කම් අතර සිටි බොහෝ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් ඉවත්වීමට සිදු වූ බව මීට වසර 6කට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්ව විදෙස්ගත වූ හිටපු විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩිකා චමනී සෙනෙවිරත්න පළමුවරට අනාවරණය කළාය.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරන 38 හැවිරිදි චමනී සෙනෙවිරත්න රටවල් දෙකක ජාතික කාන්තා කණ්ඩායම් නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසත් විරල වාර්තාවකට හිමිකම් කියන්නීය.

සාජා නුවර සිට පසුගියදා ‘දිනමිණ’ට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ හිටපු පුහුණුකරුවන් කිහිපදෙනකුගේ එවැනි අයුතු යෝජනා නිසා ඇය සහ තවත් විශිෂ්ට ක්‍රීඩිකාවන් කිහිපදෙනකුටම මේ ඉරණම අත් වූ බවය.

“මම ලංකාව දාලා ගියේ 2014දියි. ලංකාවේ ක්‍රිකට්වලින් ඉවත් වුණේ පුදුමාකාර පීඩනය හා කලකිරීම නිසයි. දස්කම් අතර සිටියදී පවා එවකට සිටි පුහුණුකරු මට තැනක් දුන්නේ නෑ. ක්‍රීඩාවෙන් අයින් වෙද්දී මම ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුම්වල හොඳම ක්‍රීඩිකාවන් පස්දෙනා අතර සිටියා. මම අවුරුදු 14ක් රට වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්. ඒ නිසා සමුගැනීමේ තරගයක් ඉල්ලා සිටියත් ඒකත් ප්‍රතික්ෂේප කළා.” අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩිකා චමනී දැඩි ආවේගයෙන් යුතුව එසේ කීවාය.

“මේක සිද්ධ වුණේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එක්තරා පුහුණුකරුවෙක් ජාතික කාන්තා පිලේ පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුවයි. එයාගේ අයුතු යෝජනාවට අවනත නොවීම නිසා මටත්, තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකටත් පන්න පන්නා පහර දුන්නා. අපි දෙදෙනාම එයා නියෝජනය කළ කෝල්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්. පසුකාලීනව කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ තවත් තුන්ඉරියව් ක්‍රීඩිකාවකට මේ ඉරණම අත්වුණා. නමුත් ඉදිරියට ඇවිත් මේ ගැන හෙළි කරන්න ගොඩක් අය බයයි. එයාලාට හානියක් වේවි කියලා” ඇය කීවාය.

“මේ කියන පුහුණුකරු ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ එවකට සිටි ප්‍රධානියා සමඟ පෙර දින රාත්‍රියේ මත්පැන් පානය කරමින් පසු දින තෝරා ගැනීමට නියමිත කණ්ඩායමට එක්විය යුතු ක්‍රීඩිකාවන් කවුරුන්දැයි සාකච්ඡා කළා. පුහුණුකරුගේ අයුතු යෝජනාවට අවනත නොවූ ක්‍රීඩිකාවන් කපා දැමීම සිද්ධ වුණේ ඒ විදියට සමාජ ශාලාවල මත්පැන් තොලගාමින් සිදු කළ සාකච්ඡවලදියි. තේරීම් කමිටුව ඔහුගේ කීමට අනුව කටයුතු කළා. මේ පුහුණුකරු යම් යම් විදෙස් සංචාරවලදී දැඩි ලෙස බීමත්ව අවිනීත ලෙස හැසිරෙමින් අයුතු යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවන් ද තිබුණා.” චමනී සෙනෙවිරත්න කියා සිටියාය.

“මම ජාතික පිලට එක්වුණේ 1997 වසරේදියි. මගේ පළමු පුහුණුකරු ගයි ද අල්විස් මහතා තමයි ඇත්තටම අපිට හිටපු හොඳම පුහුණුකරු වුණේ. පසුව පැමිණි නිහාල් කොඩිතුවක්කු මහතාගෙනුත් හොඳ සේවයක් ඉටු වුණා. නමුත් ඉන් පසු ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ බොහෝ පුද්ගලයන්ට පෞද්ගලික න්‍යාය පත්‍ර තිබුණා.” ඇය කීවාය.

“මේ වගේ තත්ත්වයක් මත කොහොමද අපේ කාන්තා ක්‍රිකට් පිල දියුණු කරන්නේ. අපේ කාන්තා ක්‍රිකට්වල මේ වගේ ගැටලු ගොඩක් තියෙනවා. කළමනාකරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් හා පුහුණුකරුවන් අතර නිතරම ගැටුම් ඇති වුණා. සමහර වෙලාවට හිටපු කළමනාකරුවන් සාධාරණ විදිහට කටයුතු කළාම පුහුණුකරුවන්ට ඒවා රිස්සුවේ නෑ. එවැනි අවස්ථාවලට මුහුණ දුන් කළමනාකරුවන් දෙන්නෙක් තමයි ඒ.ආර්.එම්. අරූස් සහ රොෂාන් ඉද්දමල්ගොඩ මහත්වරු. ඔවුන්ට නිකරුණේ චෝදනා එල්ල වුණා. ඒවා පුහුණුකරුවන් සිදු කළ කුමන්ත්‍රණ. අරූස් මහතා එක්තරා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකගෙන් අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනාවත් එවකට සිටි පුහුණුකරුවකුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. පුහුණුකරුවන් තේරීම් කමිටු නිලධාරීන් එක්ක එකතුවෙලා මත්පැන් සාද පවත්වමින් තමයි කණ්ඩායම තීරණය කළේ. ඔවුන්ට හිතැති ක්‍රීඩිකාවන් පිරිසක් නිතරම කණ්ඩායමට නම් කරන්න කටයුතු කළා. ඔවුන්ගෙන් තමයි කණ්ඩායමේ අභ්‍යන්තර දේවල් දැනගන්නේ. ඒ ක්‍රීඩිකාවන් කේලම් කියන්න පුරුදු කළා. මේ පුහුණුකරුවන්ගේ පුහුණු කිරීම ඉතා ඉහළ මට්ටමක තිබුණත්, චරිතය නම් ගන්න දෙයක් නෑ.” චමනී පැවැසීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශාරීරික යෝග්‍යතා සහතිකලාභීයකු වන චමනී සිය ක්‍රීඩා දිවිය අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ජීවිතාරක්ෂක නිලධාරිනියක ලෙස එරට බලපත්‍රයකට හිමිකම් කී අතර, ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් පිලට එක් වූයේ ද එහිදී ජීවිතාරක්ෂක නිලධාරිනියක ලෙස රැකියාවක නිරතවන අතරතුරදීය.

“එක්සත් අරාබී එමීර් රාජ්‍ය ජාතික පිලට එක්වීමට නම් එහේ අවුරුදු 3ක් ක්‍රීඩා කළ යුතුව තිබුණා. මට ඒ අවස්ථාව ලැබුණා. පසුව 2017දී මම එරට ජාතික කණ්ඩායමට එක් වුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා පිලට තවත් ලාංකික ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක්ම ක්‍රීඩා කරනවා.” ඇය කීවාය.

“මම කැමැතියි ආපහු ලංකාවට ඇවිත් කාන්තා ක්‍රිකට්වලට දායකත්වය ලබා දෙන්න. ඒක පාසල් මට්ටමෙන් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් කැමතියි. විශේෂ ක්‍රිකට් දස්කම් ඇති බාලිකා විදුහල් දෙකක් විදියට නුගේගොඩ අනුලා විදුහලටත්, ගම්පහ රත්නාවලී විදුහලටත් මම කැමැතියි.” ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දෙවැනි මට්ටමේ (Level 2) පුහුණුකාරියක ද වන ඇය කීවාය.

මේ වන විට සාජා නුවර සාජා ඉන්වෙස්ට්මන්ට් අධිකාරියට (Shurooq - Sharjah Investment and Development Authority) අයත් Al Montazah සමාගමේ ජීවිතාරක්ෂක හා පිහිනුම් උපදේශිකාවක ලෙස සේවය කරන චමනී සිය ක්‍රීඩා දිවියට සහයෝගය ලබා දෙන එම සමාගමේ සාමාන්‍යධිකාරී Khalid Ibrahim Al Qaseer මහතා ඇතුළු එම සමාගමේ කළමනාකරුවන් වන Amine Mechergui සහ Hussain Shamlan මහත්වරුන්ටත්, කණ්ඩායම් භාරව කටයුතු කරන Umangi de Soyza සහ Amro Elyasad මහත්ම මහත්මීන්ට සිය ස්තූතිය පුද කළාය.

නව අදහස දක්වන්න