පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානය කළ හැකියි | දිනමිණ

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානය කළ හැකියි

නුවන් කොඩිකාර

- ලොව දියුණුම වරායන් ආදර්ශයට ගැනීමෙන් මෙරට සංවර්ධන ඉලක්ක කඩිනමින් ළඟා කරගන්නවා
- රට ආසන්නයෙන් යන අන්තර්ජාතික නැව්වලට සේවා සැපයීමට හැකි පරිදි සියලු වරායන් දියුණු කළ යුතුයි

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ලෝකයේ දියුණුම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන්, සංවර්ධන ඉලක්ක කඩිනමින් ළඟා කරගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බහලුම් 24,000ක් ප්‍රවාහනය කළ හැකි ලොව විශාලතම නෞකා ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පෙරේදා (15) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

රට ආසන්නයෙන් යාත්‍රා කරන අන්තර්ජාතික නෞකාවන්ට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව රාජපක්ෂ මහතා කීවේය.

රජය මැදිහත් වී ඉන්ධන ගබඩා ටැංකි ඉදිකර නැව් වලට ඉන්ධන සැපයීම කළ යුතු බවත්, විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමටත් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි විය.

විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අලුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

කොළඹ වරායේ නැඟෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතු බව ද හෙතෙම කීවේය. ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම් ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳ ද සාකච්ඡාවට ලක් විය.

ඇමැති රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීන් සහ වරාය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න