රැකියා අවස්ථා හා අධ්‍යාපනය අතර මතුව ඇති පරස්පරය ඉවත් කීරීමට අවධානය | දිනමිණ

රැකියා අවස්ථා හා අධ්‍යාපනය අතර මතුව ඇති පරස්පරය ඉවත් කීරීමට අවධානය

මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල ආයතන තුළින් ලබාදෙන අධ්‍යාපනයත්, නූතන රැකියා අවස්ථාවනුත් අතර පවත්නා පරස්පරය ඉවත් කළ යුතු බවත්, එසේ නොවනතාක් සිදුවන්නේ පවත්නා ක්‍රමයට එරෙහිවන මුළුමහත් සමාජය සමඟ කනස්සල්ලෙන් පසුවන රැකියා විරහිත තරුණ පරපුරක් බිහිවීම බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා  සඳහන් කරයි
 
නුගේගොඩ අනුලා විද්‍යාලයේ රුපියල් මිලියන 48ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ අභිනවයෙන් ඉදිකරන ලද සිවුමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ(16) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර එහි දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
 
කටපාඩම් කරගත් දේ විභාගයක දී ලියා සමත්වන උගතුන් වෙනුවට, ඉගෙනගත් දේ ප්‍රායෝගිකව  යොදාගත හැකි, විචාරශීලී චින්තනයෙන් සහ විශ්ලේෂණ හැකියාවෙන් පොහොසත් බුද්ධිමතුන් බිහිකිරීම වෙනුවෙන්  මෙරට අධ්‍යාපනය සකස් විය යුතුබව ද  එය විෂයභාර අමාත්‍යවරුන්ට පමණක් කළ හැකි දෙයක් නොවන බව ද, සියලු දෙනාගේ අදහස් යෝජනා  අනුව බිම්මට්ටමේ සිට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, “පාසලක ශක්තිය හා වටිනාකම තක්සේරු කරන්න ගොඩනැගිලිවලින් බෑ. එතැනින් එළියට හිතන්න ඕනේ. ගුරුවරුන් තෘප්තිමත්ව දරුවන්ට උගන්වන්න ඕනේ. රස්සාවට උගන්වනවා වෙනුවට දරුවන්ට ආදරයෙන් උගන්වන ගුරුවරුන් පාසලේ සිටිය යුතුයි. ඒ ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි”යනුවෙන් පැවසීය.
 
රටේ විවිධ ක්ෂේත්‍ර වෙත උගත් බුද්ධිමත් විශිෂ්ට මානව සම්පත් ගොඩනඟමින්, පසුගිය දශක අට තුළ අනුලා විද්‍යාලයෙන් රටට සිදුව ඇති සේවය ඉතා අගය කරන බවත්, අතීතයේ මෙන්ම අනාගතයටත් ඊටත් වඩා වැඩි මෙහෙවරක් ඉටුකරන්නට අනුලා විද්‍යාලයට හැකිවේවායි ද අමාත්‍යවරයා සුභාශිංසන එක්කළේය.
 
අතිගරු ජනාධිපතිතුමන් විසින් මෙරට අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ දී අවධාරණය කර සිටින ග්‍රාමීය පාසල් නගාසිටුවීමේ වැඩපිළිවෙළට අනුලා විද්‍යාලය වැනි ප්‍රධාන පෙළේ පාසල්වලට හොඳ සහයෝගයක් ලබා දිය හැකි බවත්, ඒ වෙනුවෙන් හැකිපමණ දායකත්වය ඉදිරියේ දී ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
 
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මහතා ද අනුලා විද්‍යාලයේ විදුහල්පති අනෝමා දහනායක මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ද ඇතුළු විශාල  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න