තැලෙන මලේ රස | දිනමිණ


 

තැලෙන මලේ රස

සිරිලක ‘කප්රුක‘ ලෙස සැලකෙනුයේ පොල් ගසය. ඒ එසේ නම් අපේ දෙවැනි කප්රුක ලෙස කිතුල් ගස හැඳින්වීම හැම අතින්ම යුක්ති යුක්තය. එයට හේතු ලෙස සඳහන් කළ යුතුව ඇත්තේ කිතුල් මලෙන් පැණිත්, කිතුල් කදෙන් පිටිත් ලබා ගන්නා අතර, යකඩවලට නොදෙවැනි කිතුල් ලීයෙන් විවිධාකාර සවිමත්-ස්වයං දිලිසීමක් ඇති ගෘහ භාණ්ඩ රැසක් ද, ජල පිහිලි, මෝල් ගස්, ජනෙල් ග්‍රිල් පොලු ඇතුළු යකඩ මෙන් කල් පවතින භාණ්ඩ රැසක් ද නිපදවිය හැකි නිසා මේ ගස එක්තරා විදියක කප්රුකක්ම බවය. තාල වර්ගයට අයත් ගසක් වන කිතුල් ඉතා හොඳින් වැවෙනුයේ තෙත් කලාපයේ සහ අර්ධ තෙත් කලාපයේය. මුහුදු මට්ටමේ සිට අඩි 1000 සිට 6000 දක්වා උස් බිම්වල වැවෙන මේ අගනා වෘක්ෂය ආශ්‍රිත විවිධ කර්මාන්ත මෙරටෙහි ක්‍රියාත්මක වනුයේ ඉතා ඈත අතීතයේ සිටය. වර්තමානයේදී තාක්ෂණික දියුණුවත් සමඟ විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වඩ වඩාත් කලාත්මක කිතුල් දැව නිර්මාණ බිහි වන වාතාවරණයක් මේ වන විට නිර්මාණය වී ඇති සෙයකි. කිතුල් ගස ආශ්‍රිත කර්මාන්තවල නියැළී සිටින ආයතන අතර ජාතික මට්ටමේ පවා සම්මාන සහතික ලබා ඇති කිතුලෙන් ගත හැකි උපරිම ප්‍රයෝජනය ඉතා ක්‍රමවත් ලෙස උකහා ගනිමින් වෙසෙසින්ම ගම්බද පළාත්වල විශාල පිරිසකට රැකියා අවස්ථා උදා කර දී ඇති තවදුරටත් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නට තරුණ තරුණියනට අත හිත දෙන සබරගමු පළාතේ පිහිටි කිතුල් නිෂ්පාදන ප්‍රවර්ධන ආයතනයක් ලෙස ඇහැලියගොඩ බදුවත්තේ ‘අරලිය උයනෙහිදී 2001 වසරේදී ආරම්භ කර මේ වනවිට විශාල ප්‍රදේශයක් ආවරණය කර ඇති “ලංකා ඊකෝ ප්‍රොඩක්ට්ස් “ ආයතනය හඳුන්වා දිය හැකිය. වස විස නැති “මිහිරස“ පාරිසරික නිෂ්පාදන යන නමින් වෙ‍ෙළඳපොළට එන කිතුල් පැණි, කිතුල් හකුරු, කිතුල් පිටි මෙන්ම කිතුල් දැව ආශ්‍රිතව නිර්මාණය කරන ගෘහ භාණ්ඩ විශාල සංඛ්‍යාවක් මේ ආයතනයේ අධීක්ෂණය මත නිපදවනු ලැබේ. මෝල්ගස්, දොරපොලු, ටීපෝ, ස්ටූල්, පිඟන්, කෝප්ප, හැඳි, විවිධ බඳුන්, බිත්ති සැරසිලි, කීටැග් වැනි දෑ මෙසේ නිපදවනු ලබන භාණ්ඩ අතර වෙයි. වෙළෙඳ ජාලයේ නිර්මාතෘ මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වන ප්‍රියන්ත කුමාර මහතා මේ සඳහා පෙලඹී ඇත්තේ මනා අධ්‍යයනයකින් පසුව බැව් අප කළ විමසුමකදී සඳහන් කළේය. “ කිතුල් ගසේ අගය වඩාත් වැඩි දියුණු කිරීම, ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය යාවත්කාලීන කර අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තා සහ තරුණ කොටස්වල ජීවනෝපාය නඟා සිටුවීම අපේ මූලික අභිප්‍රායයි“ හෙතෙම සඳහන් ක‍‍ළේය. අපි කිතුල් මදින්නන් කණ්ඩායම් වශයෙන් වරින් වර ආයතනයට කැඳවා උපදෙස් - පුහුණුවීම් ලබා දී කිතුල් පැළ සහ වටිනා ආරක්ෂක උපකරණ කට්ටලය බැගින් පරිත්‍යාග කරනවා. ඒ ඒ පළාත්වල කිතුල් මදින්නන්ගේ සමිතිවලට රිළවුන්ගෙන් කිතුල් මල් ආරක්ෂා කර ගැනීම සඳහා රුපියල් 25,000ක් පමණ වටිනා ‘එයාර් රයිෆලය‘ බැගින් නොමිලයේ ලබා දීමේ වැඩ සටහනක් ද අරඹා තිබෙනවා යයි ද, ඉදිරි අනාගතයේදී කිතුල් පැළ ලක්ෂයක් සිටුවීමටත්, පුහුණු සහ නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් සැලසුම් කර ඇතැයි ද ඒ මහතා කීය. ‘කිතුල් ගසෙන් ලබා ගැනෙන ‘තෙලිජ්ජ‘ වලින් හකුරු සහ පැණිත්, කිතුල් පිටි, අයිස් ක්‍රීම්, සීනි, සිරප් සහ කිතුල් දැව භාණ්ඩත් දැනට නිපදවනවා. මෙහි ඇති ඖෂධීය ගුණ අතර දියවැඩියාව පාලනය සහ පිටුදැකීම, අධික රුධිර පීඩනය, කොලස්ට්‍රෝල් පාලනය කිරීම සහ සීනි වෙනුවට ආදේශ කිරීම ප්‍රධානයි. ‘මේ මගින් පාරිසරික සමතුලිතතාව රැක ගැනීම, ජල උල්පත් ආරක්ෂා කිරීම මෙන්ම පස සේදී යෑම ද අවම කළ හැක. ‘ලංකා රකෝ ප්‍රොඩක්ට්ස්‘ ආයතනය මගින් මේ වන විට දිස්ත්‍රික්ක අටක කිතුල් නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කෙරේ. සමස්ත දිවයිනේ සිදු කරන ලද සමීක්ෂණවලට අනුව කිතුල් ගස් ලක්ෂ 30ක් පමණ ඇති අතර, එයින් මැදීම සිදු කරනුයේ ගස් ලක්ෂ 5ක පමණි. මුළු දිවයිනේම කිතුල් මදින්නන් 25.000ක් පමණ සිටින අතර මේ ආයතනයට නිෂ්පාදන සපයන සංඛ්‍යාව 5,000 කි. දළ වශයෙන් එක් මදින්නකුගේ මාසික ආදායම රුපියල් 40000ක් පමණ වෙයි. පැණි බෝතලයක් නිපදවීම සඳහා ‘තෙලිජ්ජ‘ බෝතල් 5ක් ද, හකුරු කිලෝවක් නිපදවීමට ‘තෙලිජ්ජ‘ බෝතල් 9ක් පමණ ද ඇවැසි වෙයි. ඉතා මෑතකදී ‘මිහිරස‘ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා “ කිතුල“ යන නමින් ගැමිරස හලක් ඇහැලියගොඩ නගරයේදී විවෘත කර ඇත. තම ආයතනය මගින් කිතුල් නිෂ්පාදන ‘මිහිරස රකෝ ප්‍රොඩක්ට්ස්‘ යන නමින් දේශීය වෙළෙඳපොළට ද, ‘ලංකා පියෝ කිතුල්‘ යන නමින් එතෙර වෙළෙඳ පොළට ද යවන බව කුමාර මහතා පවසයි. දැනට කිතුල් නිෂ්පාදන අපනයනය කෙරෙනුයේ ජපානය ඇතුළු රටවල් පහකට පමණක් වන නමුදු තවත් රටවල්වලට තම නිෂ්පාදන අලෙවි කර වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දීමට ඉදිරියේදී පියවර ගනු ලබන බව ද ඒ මහතා කීය. ඉතා මෑතකදී නිදහසේ කිතුලක් මැද ගැනීමට රජයෙන් සලසා ඇති සහනය කුමාර මහතා බෙහෙවින්ම අගය කළේය. මේ කිතුල් කර්මාන්තය නඟා සිටුවීමෙහිලා ආයතන කිහිපයක අනුග්‍රහය ලැබෙන බවත්, මහවැලි හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කෘෂිකර්ම අගයදාන නවීකරණ ව්‍යපෘතිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජගත් පරිසර පහසුකම් වැඩ සටහන හා IOCN ආයතනය ද ඒ අතර ප්‍රධාන වේ.

ඇහැලියගොඩ විශේෂ 
නිමල් විජයතුංග

නව අදහස දක්වන්න