මත්කුඩු-පාතාලය මඬින යුද්ධයට පෙරහුරුවක් | දිනමිණ


 

මත්කුඩු-පාතාලය මඬින යුද්ධයට පෙරහුරුවක්

අසේල කුරුළුවංශ

මත්ද්‍රව්‍ය රටින් අතුගා දමන්නට රජය කටයුතු කරද්දී මහජන සහය ද රජයට උපරිමයෙන් ලබාදිය යුතුව තිබියදී ඇතැම් ඖෂධ සල් හිමියන් වෛද්‍ය නිර්දේශ නොමැතිව මතට ඇබ්බැහිවූවන්ට යම් යම් පෙති වර්ග නිකුත් කරන අතර මේවා ගන්නා අය පුනරුත්ථාපනයට යොමු නොවීම ගැටලුකාරී තත්ත්වයකි

මත්කුඩු හා පාතාලය අතර ඇත්තේ නොබිඳිය හැකි සබඳතාවකි.රුපියල් කෝටි ගණනින් මුදල් සංසරණය වන මත්කුඩු ව්‍යාපාරය සමඟ ගහට පොත්ත මෙන් පාතාලය ඇලී තිබීම නිසා එය පාලනය කිරීම මෑතක් වනතුරුම පැවතියේ සිහිනයක් ලෙසිනි. ජනපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනතාවට පොරොන්දුවක් දෙමින් පවසා සිටියේ මත්කුඩු හා පාතාලය මර්දනය කරන බවයි.මෙයට ඉහත සිටි පාලකයින් ද මේ ආකාර ප්‍රකාශ කර තිබෙන නමුත් ඒවා එලෙසින්ම ඉටු නොවීම නිසා අදාළ ප්‍රකාශය රට තුළ යථාර්ථයක් වනු ඇතැයි බොහෝ දෙනෙක් නොසිතූහ. මත්කුඩු ජාවාරම හා පාතාලය මෙල්ල කිරීමේ මෙහෙයුම් රට පුරා දියත් වෙද්දී කවුරුත් සිතුවේ මෙය තවත් එක් රංගනයක් පමණක් වනු ඇති බවය. එසේම දේශපාලනඥයන් අතර පවත්නා සබඳතා ඉස්මතුව මෙම මෙහෙයුම් ආරම්භ කළාටත් වඩා වේගයෙන් අවසන් වේ යැයි බොහෝ දෙනකු සිතුවේ මෙයට පෙර මේ සම්බන්ධයෙන් ඇති අත්දැකීම් පදනම් කර ගනිමිනි. එහෙත් සිදු වූයේ කිසිවකුත් අපේක්ෂා නොකළ දෙයකි. පාතාලය හා මත්ද්‍රව්‍ය ජවාරමට එරෙහි වැටලීම් පැය 24 පුරා ක්‍රියාත්මක වන්නට වූයේ මත්කුඩු ව්‍යාපාරය හා සම්බන්ධ හාල්මැස්සන් පමණක් නොව තෝරුන් හා මෝරුන් ද පොලිස් දැලට කොටු කර ගනිමිනි. බන්ධනාගාර පද්ධතිය තුළ ඇති ඉඩ කඩ ද ඉක්මවා යන ආකාරයෙන් මෙම මෙහෙයුම් දියත් වූයේ මුදල් හමුවේ නීතිය පාවා දුන් නීතිය රකින්නට සිටින නිලධාරීන් ද යකඩ කූරු ගනින තත්ත්වයකට පත්කරමිනි.

නීතියට පිටින්

හෙරොයින් මත්කුඩු ග්රෑම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තිබී පොලිස් අත්අඩංගුවට පත්වූවකුට මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇත. හෙරොයින් සම්බන්ධයෙන් අපේ රටේ ක්‍රියාත්මක නීතිය එතරම් බලගතුය. එසේ වුවත් මත්කුඩු ජාවාරම යහමින් රට තුළ ක්‍රියාත්මක වූයේ තරුණයන් පමණක් නොව පාසල් දරුවන් ද ඊට ගොදුරු කර ගැනීමේ ප්‍රවණතාව එන්න එන්නම වැඩි කරවමිනි. මෙය පාලනය කිරීමට මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුවත් ඉන් අත් වූ ප්‍රතිඵල කිසිසේත්ම සෑහීමකට පත් විය හැකි මට්ටමක නොපැවතිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යහමින් මුදල් හම්බ කර සුපිරි ජීවිත ගත කරද්දී මත්කුඩු පානයට ඇබ්බැහි වූ තරුණයෝ අන්ත දුක්ඛිත ජීවිත ගත කළේ ඔවුන් අතට ලැබෙන සියලු මුදල් ඒ වෙනුවෙන් වැය කර අවසානයේ සොරකම් හා මංකොල්ලකෑම්වලටද සම්බන්ධ වීම හේතුවෙනි. පසුගිය ජනපතිවරණ සමයේ රට වටා ගොස් ජනතාවගේ ප්‍රශ්නවලට ජනපතිවරයා ඇහුම්කන් දෙද්දී බොහෝ මව්වරු ඉල්ලා සිටියේ මත් උවදුරින් රට බේරා දෙන ලෙසය. ත්‍රස්තවාදය පරාජය කරන්නට ආරක්ෂක ලේකම්වරයා ලෙස නායකත්වය ලබා දුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය හා පාතාලය මෙල්ල කරනු ඇතැයි විශ්වාස කළ යම් පිරිසක් වූයේ නම් ඉන් බහුතරය මේ රටේ මව්වරුන්ය.

බන්ධනාගාර ඉඩකඩ

අද වනවිට රට පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගන්නා පිරිස් රඳවා තබන්නට බන්ධනාගාරවල ඉඩ ප්‍රමාණවත් නොවන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි. දැනට වසා දමා තිබෙන බෝගම්බර පැරැණි බන්ධනාගාරය යළි සිරකරුවන් රඳවා තැබීම සඳහා යොදා ගැනීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට සිදුව තිබෙන්නේ දෛනිකව අත්අඩංගුවට පත්වන පුද්ගල සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවිනි. පසුගිය සතියේදී පමණක් හෙරොයින් මත්කුඩු කිලෝග්රෑම් 26 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙන ගංජා ප්‍රමාණය කිලෝග්රෑම් 82 කි. අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් සංඛ්‍යාව 3484කි. ඉතිහාසයේ කිසිදු කාලයක මේ ආකාරයට අඛණ්ඩව මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැත. පාතාල ක්‍රියාකාරීන්ගේ ග්‍රහණයෙන් මිදුණු අන්තරායකර විෂ මත්ද්‍රව්‍යවලින් තොර රටක් බිහි කිරීම පිණිස ජනපතිවරයාට අවංක වුවමනාවක් තිබෙන බව දැන් රටම පිළිගෙන තිබේ. ජනපති දැක්ම නිවැරදිව තේරුම් ගෙන ඒ සඳහා කැපවීමෙන් යුතුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ‍ෙජනරාල් කමල් ගුණරත්න මහතා ක්‍රියාත්මක වන බව ද පැහැදිලිව පෙනෙන්නට ඇත. මේ නිසාම ජනතාව වැඩි වැඩියෙන් පොලීසියට සහය වෙමින් තොරතුරු ලබාදීමට ඉදිරිපත් වීම යහපත් ප්‍රවණතාවකි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ හිඩැස්වලින් රිංගා යමින්, නීතිය රකින්නට සිටින අයගේ ද උදව් ලබා ගනිමින් දැවැන්ත ලෙස ගොඩනඟා තිබෙන මේ ව්‍යාපාර ජාලය අකර්මණ්‍ය කිරීම රජයට පමණක් තනිව කළ නොහැකි බවත් ඒ සඳහා මහජන සහය, අත්‍යවශ්‍ය බවත් මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නීතිඥ පාලිත සුබසිංහ මහතා පවසයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැලකීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ලෙස කොටස් දෙකක් සිටින බවත් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට අසුකර ගන්නා අතර මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි. කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබියදී මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය යම් ප්‍රමාණයකට අකර්මණ්‍ය වීම නිසා මත්කුඩු සොයා ගැනීමට නොහැකිව එයට ඇබ්බැහිවූවන් නොයෙකුත් අසහනකාරී තත්ත්වයන්ගෙන් පෙළෙන්නට වූ බවත් එය සමනය කර ගැනීම පිණිස වේදනා නාශක පෙති වර්ග ගැනීමට ඔවුන් පෙලඹුණු බවත් පවසන සුබසිංහ මහතා අඛණ්ඩව සිදු කරන වැටලීම්වල සාර්ථකත්වය මත මේවන විට ද රටේ එවැනිම තත්ත්වයක් දක්නට ලැබෙන බව ද අවධාරණය කරයි. මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය රටින් අතුගා දමන්නට රජය කටයුතු කරද්දී මහජන සහය ද රජයට උපරිමයෙන් ලබාදිය යුතුව තිබියදී ඇතැම් ඖෂධ සල් හිමියන් වෛද්‍ය නිර්දේශ නොමැතිව මතට ඇබ්බැහිවූවන්ට යම් යම් පෙති වර්ග නිකුත් කරන බවත් මේවා ගන්නා අය පුනරුත්ථාපනයට යොමු නොවීම ගැටලුකාරී තත්ත්වයක් බවත් හෙතෙම පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරීමට නම් ඒ සඳහා වන ඉල්ලුම පහතට ගෙන ආ යුතුය. ජාවාරම්කරුවන් සෑම විටම උත්සාහ කරන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස වැඩි කර ගන්නටය. මේ නිසා එක් පැත්තකින් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා අතරතුර අනෙක් පැත්තෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව පහතට ගෙන ඒම වැදගත්ය. පුනරුත්ථාපනය කළ අයකු නැවත මුදාහරින්නේ ඔහු කලින් සිටි පරිසරයටමය. තමන්ට හුරු පරිසරයට පැමිණි පසු අත්හල පුරුදුවලට යළි යොමුවීමේ ප්‍රවණතාවක් පවතින බව මනෝවිද්‍යාත්මකව තහවුරු කර තිබේ. මෙම තත්ත්වය පැහැදිලිව තේරුම් ගැනීම වැදගත්ය. මාස තුනක කාලයක් පුනරුත්ථාපනය කරන අතරතුර ඒ අයට වෘත්තීය පුහුණුවක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම කාලෝචිත අවශ්‍යතාවකි. ඒ වෛද්‍ය පාලිත සුබසිංහ මහතාගේ අදහසය.

පාසල් දරුවන් දැනුම්වත් කිරීම

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලබන දැනුම්වත් කිරීමේ වැඩසටහන් විධිමත් සැලසුමකින් යුතුව පවතින රාමුවෙන් මිදී කළ යුතු බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා පවසයි. මත්ද්‍රව්‍යවල නම්, ඒවා භාවිත කරන ආකාරය, ප්‍රධාන ධාරාවේ මත්ද්‍රව්‍ය නොමැති අවස්ථාවල ඒ වෙනුවට ගත හැකි පෙති වර්ග පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලදී ළමයින්ට කියාදෙන බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධව අවබෝධයක් ලබා දීමේ අරමුණින් ඒවායේ නම් සඳහන් කිරීමෙන් සිදුවන්නේ අත්හදා බැලීම් ඔස්සේ දරුවන් ඒවාට යොමුවීම බවත් පවසන ඒකනායක මහතා, ළමයින්ට පෙන්වා දිය යුතුව තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව යැයි ද අවධාරණය කරයි. එසේ නොවුණ හොත් නිවාරණ වැඩසටහන්වලින්ම මත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් යොමුවීමේ අවදානමක් මතුවිය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. 

පසුගිය මාස හයක කාලය තුළ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කළ වැටලීම් මගින් පුද්ගලයින් 52000ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. මේ අතරින් 26000ක් ගංජා සමඟ ද 24000ක් හෙරොයින් සමඟ ද අත්අඩංගුවට පත්ව තිබෙන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පෙන්වා දෙයි. මෙම අත්අඩංගුවට පත්වන පිරිස අතර බහුතරයක් දෙනා පසුවන්නේ අවුරුදු 25-30 අතරේය. ඒ අතරින් 25% ක් පමණම පාසල් ළමයින් බව පවසන වෙලගෙදර මහතා, මෙම උවදුරින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පාසල්වලට ඩිජිටල් සජෙෂන්ස් බොක්ස් නමින් නව ක්‍රමයක් හඳුන්වා දෙන බව කීය. ගුරුවරුන්ට, මව්පියන්ට පමණක් නොව, ළමයින්ට ද මෙම ක්‍රමය ඔස්සේ රහස්‍යභාවය රැක ගනිමින් ස්මාර්ට් දුරකතනයෙන් හෝ ලැප්ටොප් එකක් ආධාරයෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයට ද තොරතුරු ලබා දිය හැකි යැයි හෙතෙම පවසයි. මත්ද්‍රව්‍ය සැපයුම ආඩාල කළ පමණින් මෙම උවදුරෙන් රට බේරා ගත නොහැකි බවත්, ඒ සඳහා ඉල්ලුම අවම කළ යුතුව තිබෙන බවත් ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍යවරයා රටින් මත්කුඩු තුරන් කිරීමට නම් මෙම අන්ත දෙකම පාලනය කිරීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය. සැපයුම අඩාල කිරීම ආරක්ෂක අංශ මගින් සිදු කරන විට ඊට සමගාමීව ඉල්ලුම අවම කිරීමේ වැඩපිළිවෙළ ජනතා සහභාගිත්වයෙන් දියත් කළ යුතුව තිබෙන බව ද වෙලගෙදර මහතා පවසයි.

වැටලීම්වල ප්‍රතිඵල

මෙයට දශකයකට එපිට තිස් වසරක් පුරා අප විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් උදෑසනම දැක්කේ ත්‍රස්තවාදීන් කළ විනාශයන් හා ගැටුම්වලින් මරණයට පත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාවන්ය. අද තත්ත්වය වෙනස්ව ඇත. ත්‍රස්තවාදීන් හා කළ යුද්ධය දැන් ආරක්ෂක අංශවලට කළ යුතුව තිබෙන්නේ මත්කුඩු ජාවාරම්කරුවන් හා පාතාලය සමඟය. සෑම දිනකම මත්කුඩු සමඟ අත්අඩංගුවට පත්වන පිරිස් සම්බන්ධව අපට තොරතුරු අසන්නට ලැබේ. පොලිස් දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මේ වන විට මිලි ග්‍රෑම් සුළු ප්‍රමාණයක් ඇති මත්ද්‍රව්‍ය පැකැට්ටුවක මිල තුන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇත. රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් තිබෙන බව ඉන් පැහැදිලිය. ඒ දෛනිකව සිදු කරන වැටලීම්වල ප්‍රතිඵලය.ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනේදී මෙරට ජනතාව නොයෙක් කැප කිරීම් කරමින් ආණ්ඩුවට සහය දැක්වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එය අවසන් කරන බවට විශ්වාසයක් තිබූ බැවිනි. මත්කුඩු හා පාතාලය මෙරටින් අතුගා දමන්නට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි ජනතාව තුළ දැඩි විශ්වාසයක් ගොඩනැඟී ඇත. එම විශ්වාසයේ පදනම මත සිට පුරවැසි වගකීම අප නිසි ලෙස ඉටුකළ හොත් ජනපති, අගමැති, ආරක්ෂක ලේකම් ප්‍රමුඛ කණ්ඩායමට මත්උවදුරින් හා පාතාලයෙන් රට ගලවා ගැනීම අසීරු නොවනු ඇත.

නව අදහස දක්වන්න