වරදක් නොවූ වරදට දඬුවම් | දිනමිණ


 

වරදක් නොවූ වරදට දඬුවම්

කාලාන්තරයක් යන තුරු හෙළ සිනමාවේ සිහින කුමරු ලෙසින් කිරුළු පැලඳ සිටියේ විජය කුමාරතුංගය. විජය ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබුවේ 1980 දශකයේදීය. ඒ වරදට දඬුවම් චිත්‍රපටයයි. වරදට දඬුවම් නමින් ලාංකේය සිනමාවට එක් වූ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සඳහා පෙනී සිටියේ සිනමාවේ අමරණීය පෙම් යුවල ලෙසින් ජනාදරයට පත් වූ විජය හා මාලනී ෆොන්සේකාය.

මෙම චිත්‍රපටයේ එන

"ඉරණමට සැවොම ගැතිවේවි ගීතය" කලක් ගත වුවද තවමත් බොහෝ දෙනාගේ සිත් කොනක රැඳී තිබෙනා බව නොකියාම බැරිය. නමුත් එදා බොහෝ දෙනාගේ දෙතොල් මත ගැයුණු එම ගීතයේ මුල්ම ගීය ගායනා කරන්නේ ගායනයටම උපන් හපන්කම් ඇති ලතා වල්පොල සහ ධර්මදාස වල්පොළ ය. මේ වන විට බහුතරයක් දෙනා එම ගීතය "වරදට දඬුවම්" චිත්‍රපටයේ ගීතයක් ලෙසින් හඳුනාගෙන සිටිය ද එදා මැදිවියේ සිටි අයට නම් එය අමුත්තක් නොවීය. අමුත්තක් ඇති වූවානම් ඇතිවූයේ නව නිර්මාණයේ දර්ශන සමඟ ශ්‍රවණය කිරීමට සිදු වූ ගීතයේ ගායනය පමණක් වෙනස් වීමය.

නමුත් මෙම ගීතයත් සමග අතීතයට පියමන් කිරීමේදී මෙම ගීතයේ ආරම්භය 1960 වසරේ දෙසැම්බර් 9 වැනිදා දක්වා ම ඈතකට ගමන් කරයි. මන්ද මෙම ගීතය "වීර විජය" චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් නිසා ය. වීර විජය චිත්‍රපටයේ ඇතුළත් වන මෙම ගීය ගායනා කරන්නේ ලතා වල්පොල හා ධර්මදාස වල්පොල යිි. වරදට දඬුවම් චිත්‍රපටයේ මෙම ගීතයට රංගනයෙන් එක් වූයේ විජය හා මාලනී වුවත් 60 දශකයේ තිරගත වූ මේ චිත්‍රපටයේ දර්ශන සඳහා පෙනී සිටියේ ජීවරාණි කුරුකුලසූරිය සමඟ හර්බි සෙනෙවිරත්නයි. ඉන්දීය ජාතික රාජා නාගේන්ද්‍රන් සංගීතවත් කළ මෙම ගීතය රචනා කොට තිබුණේ හියුගෝ මාස්ටර්ය. "විජය පූරි වීරන්" . යන දමිළ චිත්‍රපටය ඇසුරින් නිර්මාණය කළ "වීර විජය" චිත්‍රපටය කේ.ගුනරත්නම් විසින් නිෂ්පාදනය කළ අතර අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ඉන්දීය ජාතිකයකු වන කේ එස්. සේතු මාධවන් ය. කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුත්තේ අප මේ කතා කරනු ලබන "වරදට දඬුවම්" චිත්‍රපටයේ ඉරණමට සැවොම ගැති වේවි ගීතය ගායනා කරනු ලැබුවේ එච්. ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල බවයි.

ඉරණමට සැවොම ගැති වේවි
ඉරණමට සැවොම ගැති වේවි
රජ මැදුරෙ කුමරි සිට
දිළිඳු යදිය වෙත
පුදන කුසුම ඇති වේවි
ඉරණමට සැවොම ගැති වේවි..

සැම රසය රසට මුසු වේවි
සැම රසය රසට මුසු වේවි
හිරු රැසද සුළඟ
සුව පොළොව දිය ද
ගස් වැල්ද එකට එක්වේවි
සැම රසය රසට මුසු වේවි

පිපුණු මලින් එන
සුවඳ පවන් වැද
සිසිලව හද ගිම් නිවේ
පෙමට ලොබින්
සෙට අසරණයෙක් වෙද
සිහි වැද හද ගිණි නිවේ

පින් මහිමේ ඇති නම් නියමේ
හිමිවේ උරුමේ ඒ සදා
පින් පොළොවේ
හද වෙන් කෙරුවේ
අද කවුද ඉන්න බලවතා
රමණීය රානි මගේ සිරියා
රමණීය රාජා මගෙ දෙවියා

නව අදහස දක්වන්න