නීග්‍රෝ මෝසස්තුමාගේ පා සටහන් නැරඹීම | දිනමිණ


 

නීග්‍රෝ මෝසස්තුමාගේ පා සටහන් නැරඹීම

සුමේධා නවරත්න

මේ දෙපිරිසටම ලෝකය යළි ගොඩ නැගීමට සම වගකීමක් ඇති බව වටහා ගත යුතුය. මේ වටහා ගැනීම ඇතිවන තෙක් ඇත්තේ කඹ ඇදිල්ලකි; කලකිරීම්ය; තව දුරටත් බෙදී වෙන්වීම්ය. එබැවින් අප අවබෝධ කරගත්තේ සමූහයක් ලෙස අප උර මත වගකීමක් පැටවී ඇති බවය.

මාර්ටින් ලූතර් කිං යනු කවුරුන්දැයි වරක් මෙරට ගුරුවරයෙක් කිතුනු දරු පිරිසකගෙන් අසා සිටියේය. ‘ඔහු කළු ජාතිකයෙක්’ යැයි දැරියක් පැවසුවාය. ඔහු ගැන තවත් මොනවාද දන්නේ යැයි ඔහු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් වෙනත් දරුවෙක් කියා සිටියේ ‘මාර්ටින් ලූතර් කිං, දේශපාලනඥයකු බවය. ඔහු දේවගැතිවරයකු බව කිසිවෙක් දැන නොසිටියහ. සැබැවින්ම ඔහු දේවගැතිවරයෙකි; සැබෑ දේවගැතිවරයෙකි. ඔහු විප්ලවයකට නායකයකු වන්නට කිසි දිනෙක සිතා නොසිටියද, හය හතර තේරෙන දවසේ පටන් නායකත්වයේ සලකුණු පෙන්වීමට හේ කටයුතු කළේය. ලූතර් කිං ජීවිත කතාව කියවන කල, ඔහු ඉල්ලා සිටියේ, සියලු මිනිසුන්ට සමානාත්මතාවය. එහෙත් කළු ජාතීන්ට සිදුවන අකටයුතුකම් ඉදිරියේ අවස්ථාවට අනුව සිය විරෝධය පෑවා මිස, සංවිධානාත්මකව ඊට එදිරිවීම ගැන මුලින් ඔහුට කල්පනාවක් නොවීය. මාර්ටින් ලූතර් කිං යන අනුස්මරණීය නාමය තබන තැනට ඒ නාමය, ඔසවා තැ‍ෙබනු ඇතැයි ඔහු කිසි දිනෙක නොසිතුවේය. නායකත්වය තමන් පිට පැටවෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු නොවීය. එහෙත් නොසිතූ ලෙස එය එසේ සිදුවිය. ඇමරිකාවේ කළු ජාතීන්ගේ ‘මෝසෙස්’ බවට ඔහු පත් විය. 

කල්ලන්ගේ මෝසෙස් බවට පත්වන්නට මාර්ටින් ලූතර් කිංට සිදු වූයේ කෙසේද? 1956 දෙසැම්බර් 21 දක්වා ඇමරිකාවේ කළු ජාතිකයන්ට බස්වල ඉඳගෙන යෑමට තිබූ අයිතිය කුඩම්මාගේ සැලකිල්ලක් විය. ඔවුන් ඉදිරිපසින් මුදල් ගෙවා පසුපසින් බසයට ගොඩ විය යුතුය. ඉඳගැනීමට අවසර තිබුණේ සුදු මිනිසුන් හිඳගෙන අවසන්ව, ඉතිරි වී තිබූ අසුන්වලය. හදිසියේ සියලු අසුන් පිරී තිබෙන අවස්ථාවක සුදු ජාතිකයන් බසයට ගොඩ වුවහොත් කළු ජාතිකයන් නැඟිට ඉඩ දිය යුතුය. දිනක් එවැනි අවස්ථාවක් උදා විය. කළු ජාතික පුරුෂයන් තිදෙනකුට සහ ගැහැනියකට සිය අසුන්වලින් නැගිටින ලෙස රියැදුරා පැවසීය. ඒ, අතරමගදී නැග ගත් සුදු ජාතිකයන් හතර දෙනකුට ඉඳ ගැනීමට ඉඩ දෙන ලෙස පවසමිනි. පුරුෂයන් තිදෙනා නැගිට ගත් නමුත් රෝසා පාක්ස් නම් කළු ගැහැනිය ඊට විරුද්ධ වූවාය. මුළු දවස පුරා වෙහෙසී සිටි ඇය තමාට නැගිටීමට නොහැකි බව කීවාය. අවසන සිදුවූයේ ඇය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමය. ඩොලර් 14ක දඬුවමකට යටත් වීමය.

අමෙරිකාවේ මොන්ටිගෝමරියේ කළු ජනතාවගේ ඉවසීමේ රතු ඉර පැන්නූ මේ සිදුවීම, මිනිස් අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ විප්ලවයකට මඟ පෑදීය. ඒ අනුව, මොන්ටිගෝමරියේ පනස්දහසක් පමණ වූ කළු ජනයා, බස් රථයේ කැමැති තැනක ඉඳගෙන යෑමටත්, සුදු ජාතිකයන්ට අසුන් පිරිනැමීමට විරුද්ධවත් සිය අයිතීන් ඉල්ලා බස් ප්‍රවාහනය වර්ජනය කිරීමේ සටනකට අවතීර්ණ විය. මේ වර්ජනයට සහාය දීමේ කිසිඳු වුවමනාවක් මාර්ටින් ලූතර් කිංට නොතිබිණි. ඔහු කළු ජාතික සුළු ධනේෂ්වර පන්තියට අයත් වූ අතර, කිසිඳු ජීවන අපහසුවක් ඔහුට නොතිබිණි. කුඩා කල සිට සුව පහසු දිවියක් ගත කළ ඔහුට වර්ජනයකින් දිනා ගත යුතු වරප්‍රසාද නොතිබුණ අතර, දේවගැතිවරයකු වූ ඔහුට සුදු ජාතිකයන්ගේ කෙනෙහිලිකම් අවම විය. එබැවින් තිබෙන දෑ කමින් බොමින්, වෙන දෙයක් බලා සිටීමේ හැකියාව ඔහුට තිබිණි. එහෙත්, මේ තරුණ දේවගැතිවරයා වර්ජනයට සූදානම් වන කළු ජාතිකයන්ට රැස්වීම පිණිසි සිය දේවස්ථානය විවෘත කර දුන්නේය. එහි රැස්වූ කමිටුව කිං දේවගැතිවරයා ඊට නායකත්වයට පත්කළ විට ඒ අවස්ථාව මඟ නොහැරියේ සිය ජනතාවගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වනු දුටු නිසාය; ඒ ක්‍රියාදාමයට විරුද්ධව හඬ නැගීම සිය පරම වගකීම හා යුතුකම වූ නිසාය.

නියම නායකයකු වීමේ ආදීනව ලෙහෙසි පහසු නොවීය. වර්ජනය දිගටම පවතින විට මාර්ටින් ලූතර් කිං තරුණ දේවගැතිවරයාට, වැළ නොකැඩී මරණ තර්ජන එල්ල වන්නට විය. එතැනින් නොනැවතී බෝම්බ ප්‍රහාරද එල්ල වන්නට විය. තරුණ දේව ගැතිවරයාට මරණ බිය දැනිණි. එහෙත් ආපසු හැරීමට ඔහුට හැකියාව නොතිබිණි. එසේ කළහොත් තම වර්ගයාට සදාකාලික වහල්භාවයට උරුමකම් කියන්නට සිදුවන බවද, තමාට දිවිනසා ගැනීමට සිදුවන බවද ඔහුට අවබෝධ විය. මේ සිතිවිලි අතර, ඔහු ශක්තිය ඉල්ලා සිටියේ දෙවියන් වහන්සේගෙනි. ඔහුට ඒ ශක්තිය ලැබුණු අතර, කළු ජනයා සියයට සියයක් සුදු ජාතිකයන්ගේ බස් සේවය වර්ජනය කළහ. මොන්ටිගෝමරියේ ප්‍රවානය සියයට හැත්තෑවක් භාවිතා කළේ කළු ජාතිකයන්ය. ඔවුන් සිය සුදු හාම්පුතුන්ගේ කම්කරු සේවා සඳහා ගමන් ගත්තේ සුදු ජාතිකයන්ගේම බස් රථවලිනි. මේ වන විට බස් රථවල ආදායම නැවතී තිබිණි. ඒ වෙනුවට වර්ජන කමිටුව සැපයූ මෝටර් රථවලින් සමහර කළු ජාතීන් ප්‍රවාහන සේවය ලබා ගත්තද බොහෝ දෙනකු සිය සේවයට ගියේ සැතපුම් ගණන් ඇවිදගෙනය. ඒ මාසයක් හෝ දෙකක් නොවේ. දින 381කි.

අවසානයේදී මාර්ටින් ලූතර් කිං නම් වූ තරුණ දේවගැතිවරයා මරණ බිය හා තර්ජන මැදින් වර්ෂ 1956 දෙසැම්බර් 21දා සිය වර්ගයාගේ නිදහස වෙනුවෙන් තැබූ පියවර ජයග්‍රාහී ලෙස අවසන් කළේය. ඒ අනුව ඔවුන්ට බස් රථයක කැමැති තැනක ඉඳගෙන යෑමේ අවස්ථාව උදා විය.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මාර්ටින් ලූතර් කිං දේවගැතිතුමා අවසානයේ දී වෙඩි පහරකින් සිය ජීවිතය පූජා කරන විට තිස්නම වැනි වියේ පසු විය. වරක් “මට සිහිනයක් තිබේ” යනුවෙන් එතුමා කළ කතාව ලෝකයේම අවධානයට යොමු විය.

දෙවියන් වහන්සේ වෙනුවෙන් කුමන සභාවක් නියෝජනය කළද, වැදගත් වන්නේ තමන් එම සභාවේ සිට කරන කාර්ය භාරයය. ඒ අනුව බලන විට මාර්ටින් ලූතර් කිං දේවගැතිවරයා තමන්ට ලැබුණ සභාව කුමක් වුවද එතැන සිට දෙවියන් වහන්සේට සාක්ෂි දැරුවේය.

ලියුම්කාරියට අවශ්‍ය වන්නේ ලංකාවේ සිටින ගිහි පැවිදි කිතුනු ප්‍රජාව කිං මෙන් නොබෙල් ත්‍යාග ලැබෙන තරමට හෝ දිවි පුදා සේවය කරන ලෙසට යෝජනා කිරීම නොවේ. එහෙත් අපට අවශ්‍ය වන්නේ මේ ලැබී ඇති දිවිය තුළ අවම වශයෙන් හෝ තම වගකීම හා යුතුකම ඉටු කළ යුතු බව සිහි ගැන්වීමය.

වර්මාන මීසම් සහ පදවි දෙස අවධානය යොමු කරන විට පැවිදි, පූජක මෙන්ම කිතුනු ගිහි වගකීම් ප්‍රමාණවත් ලෙස ඉටු වනවාද යන්න සැකයකි. තම ජීවිත ගොඩ නගා ගනිමින් ලෝකය ගොඩ නගන්නට කොතරම් දුරට කටයුතු කරනවාද යන්න අප හමුවේ ඇති අභියෝගයකි. මේ වන විට අප අතින් කිසිදු වගකීමක් ඉටු නොවනා බව නොකියමු. ඇතැමුන් ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේද තම එ‍‍ඬේර යුතුකම හා වගකීම ඉටු කරන බව පෙනෙන්ට ඇත. එහෙත් ගැටලුව ඇත්තේ මෙකී සංකීර්ණ සමාජයක නැති වූ සහ නැති වන්නට නියමිත බැටළුවන් වෙනුවෙන් අපගේ යුතුකම හා වගකීම ඉටු වනවාද යන කාරණය පිළිබඳය.

ස්වාභාවික සංසිද්ධි මෙන්ම මිනිස් සමූහයාගේ අතැම් නොහික්මුණු ක්‍රියාකාරකම් මත ලෝකයේ පැවැත්මට මෙන්ම සංවර්ධනයට මහා බාධා ඇතිවෙමින් තිබෙන බව සත්‍යයකි. මේ රැල්ලට අපත් හසුවුවහොත් කිතුනු ප්‍රජාව හැටියට එය අපගේ හෘද සාක්ෂියට එකඟද යන්න ගැන අප කල්පනා කළ යුතුය. මෙවැනි වාතාවරණයකදී අපගේ සිරිත වන්නේ එකිනෙකාට වරද පැටවීමය. ගිහියන් පැවිදි පූජක පිරිසට ඇඟිල්ල දිගු කරන අතර, ඇතැම් පැවිදි පූජක ඇඟිලි දිගුවන්නේ කිතුනු මවුපියන් නොහොත් පවුල වෙතටය. එහෙත් මේ දෙපිරිසටම ලෝකය යළි ගොඩ නැගීමට සම වගකීමක් ඇති බව වටහා ගත යුතුය. මේ වටහා ගැනීම ඇතිවන තෙක් ඇත්තේ කඹ ඇදිල්ලකි; කලකිරීම්ය; තව දුරටත් බෙදී වෙන්වීම්ය. එබැවින් අප අවබෝධ කරගත්තේ සමූහයක් ලෙස අප උර මත වගකීමක් පැටවී ඇති බවය. ඒ දෙස විමසිල්ලෙන් බලා කළ යුතු පියවර සාකච්ඡා කර ක්‍රමයෙන් ආරම්භ කිරීමය. ඒ කටයුතුවලට අණ බෙර ගැසුවද නොගැසුවද කම් නැත. විය යුත්තේ වගකීම ඉටු කිරීමට තනි තනිව හා සාමුහිකව කටයුතු ආරම්භ කිරීමය. මාර්ටින් ලූතර් කිං අගය නොකරන කිතුනු ගිහි පැවිදි පිරිස් සොයා ගැනීම අපහසුය. අප සැවොම එතුමාණන් අගයමු. එකල එතුමා හැඳින්වූයේ ‘‘කල්ලන්ගේ හෙවත් නීග්‍රෝ ජාතිකයන්ගේ මෝසස්’’ ලෙසය. ඒ නීග්‍රෝ මෝසස් තුමාගේ පිය සටහන්ද අපි නරඹමු. එහෙත් එකී නැරඹීම හෝ ඇගයීම ප්‍රමාණවත් වන්නේ නැත. කිතුනුවන් ලෙස අප ඒ මඟ යා යුතුය; යෑමට උත්සාහ කළ යුතුය. එසේ නොවුණහොත් ජීවිත කාලය පුරා කළ නොහැකි වූ දේට මරණ මංචකයේදී කම්පා වීමෙන් පලක් නැත.

නව අදහස දක්වන්න