සතුරාටත් වතුර | දිනමිණ


 

සතුරාටත් වතුර

ඔබේ සතුරාට බඩගිනි නම් කන්න දෙන්න. 
පිපාසා නම් බීමට වතුර ටිකක් දෙන්න. 
(හිතෝපදේශය 25:21)

‘‘සත්තෑ සත් වාරයක් සමාව දෙන්නැ"යි වරක් ජේසුතුමා පැවසුවේය. මේ වාක්‍ය සත්තෑ සත්වාරයක් අසා තිබුණද, පවසා තිබුණද එය ලෙහෙසි පහසු කාර්යයක් නොවන වග, තම තමන්ගේ ජීවිතවලටම එබී බලන කල, පැහැදිලි ලෙස පෙනී යන කරුණකි. අප නියම කිතුනුවන් යැයි අණ බෙර ගැසුවද, ඉරිදා දිව්‍ය පූජාවට නොවරදවා සහභාගි වුවද, සතුරකුට සමාව දීම, කිරිකන්නා හා ප්‍රීතිදායක කටයුත්තක් නොවේ. වරෙක එය අතිදුෂ්කර ක්‍රියාවකි.

පසුගිය දිනෙක එක්තරා අතුරු මාර්ගය ගමන් ගත් මට නිවෙසක තාප්පයක දෙපස එල්ලා තිබූ බැනර දෙකක් දක්නට ලැබිණි. කොරෝනා වයිරසයේ සංකේතයක් සමඟ එහි ප්‍රාර්ථනාවක් තිබිණි. "මෙහි කුණු දමන අය, කොරෝනා වයිරසයට ගොදුරු වී මරණයට පත් වේවා!" යැයි එහි සඳහන් වී තිබිණි. ඉන් සති දෙකකට පමණ පසු ඒ මාර්ගයෙන්ම ගමන් ගත් මට බැනර් ප්‍රදර්ශනයක්ම දක්නට ලැබිණි. ඒ නිවෙසට ඉදිරිපස නිවෙසේද තාප්පයේ බැනර් හතරක්ම එල්ලා තිබිණි. ඉහත කී ආකාරයේ බැනර් දෙකකට අමතරව තවත් බැනර් දෙකක් එහි විය. එහි තිබුණේ මෙවැන්නකි. "මෙහි කුණු දමන අයට සාප වේවා! පරම්පරාවම පණුවො ගසා මරණයට පත් වේවා!" මේ සිදුවීම අර්ථකතනය කිරීමට උත්සාහ නොකරමි. සමාව දීම කෙතරම් නම් අමාරු කාර්යයක්ද යන්න පමණක් මෙනෙහි කරමි.

හිතෝපදේශය පවසන්නේ කුසගින්නේ සිටින සිය සතුරාට කෑමට යමක් දෙන ලෙසය; පිපාසයට වතුර බිඳක් දෙන ලෙසය. එය අතිශය දුෂ්කර ක්‍රියාවක් බව දනිමි. ඒ දුෂ්කර ක්‍රියාව ජය ගැනීමට සිය සිත සැලසුම් කරගන්නේ කෙසේද යන්න මෙනෙහි කිරීමට උත්සාහයක් ගනිමි.

මුලින්ම අප සමාව සහ සතුරා පිළිබඳ සිතිය යුතු නැත. සිතිය යුතු වන්නේ සතුරන් ඇති කර නොගෙන සිටීමට කටයුතු කිරීමය. එය පහසු කාර්යයක් යැයි ඔබ සිතන්නේද? සැබැවින්ම එයද පහසු කාර්යයක් නොවේ. අප කිසිවකුට වරදක් නොකර සිටියද, ඇතැම්විට සතුරන් ඇති වීම වැලැක්විය නොහැකිය. සමහර විට අප සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, අසාධාරණයට විරුද්ධව නැගී සිටින්නේ නම්, ස්වාධීන මිනිසුන් ලෙස කටයුතු කරන්නේ නම්, අප ජීවිතයට අවැසි අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සපුරාගන්නේ නම්, පරිසරය රැකීමට කටයුතු කරන්නේ නම් යනාදී කුමන කාර්යයකදී වුවද අපට සතුරන් ඇති විය හැකිය.

මේ සතුරන් ඇති වන්නේ කොහෙන්ද? බාහිර සමාජයෙන් යැයි අප බොහෝ දෙනකු ඊට දෙන පිළිතුර විය හැකිය. එහෙත් ඇතැම් විට මේ සතුරන් බිහිවන්නේ එකම මවුකුසෙන් විය හැකිය. බයිබලයටම යමු. කායින් සහ ආබෙල් බයිබලයේ එන පළමු සහෝදරයෝ වෙති. ඔවුන්ගෙන් එකකු අනෙකාට සතුරකු විය. ඒ ඊර්ෂ්‍යාව හේතු කොට ගෙනය. ඒ අනුව බලන විට සතුරන් ඇතිවන්නේ පවුල ඇතුළතින්මය. එකී මිනිසුන් මහා සමාජයට ආ කල සිදුවන්නේද සතුරු ක්‍රියාය.

මිනිසුන් සතුරන් ලෙස ක්‍රියා කරන්නේ ඇයි? සතුරාට සමාව දෙන්නේ කෙසේද යන ගැටලුවට පිළිතුරු සොයා ගැනීමට නම් අනිවාර්යයෙන්ම මිනිසුන් සතුරන් ලෙස ක්‍රියාත්මක වන්නේ ඇයිද යන්න වග පැහැදිලි කරගත යුතුය.

වර්තමානය අතිධාවනකාරී බැවින් එවැනි දේ ගැන සිතමින් සිටීමට හෝ ගැටලුවලට හේතු සෙවීමට හෝ කාලයක් අපට නැතත්, මොහොතක් නැවතී ඒ ගැන සිතිය යුතුය. නැති නම් අපද නොදැනීම සතුරන් බවට පත්වීම වැලැක්විය නොහැකිය. සතුරු හැඟීම් මුලින්ම ඇති කරනුයේ සිතිවිලිය. සිතිවිලි කුමන මොහොතක ඇති වේදැයි කිව නොහැකිය. යහපත, අයහපත යන කුමන සිදුවීමකදී වුවද සතුරු සිතිවිලි මතුවිය හැකිය. ඒ සිතිවිලි මතුවීමට එකකු තව එකකුට වැරදි කර තිබීම අවශ්‍ය වන්නේ නැත. අප මුලින් පැවසූ ‘කායින් ආබෙල්’ සිදුවීම දෙස බලන්න. කායින් ආබෙල්ව මරා දැමුවේ ඇයි? කායින් ආබෙල්ගේ සහෝදරයා නොවී සතුරකු බවට පත් වූයේ ඇයි? ආබෙල් කායින්ට වරදක් නොකළේය. සිදුවූයේ දෙවියන් වහන්සේ ආබෙල්ට වඩා ප්‍රසන්න වීමය. තමාට වඩා වැඩි දෙයක් ලැබෙන විට කායින්ට එය දරා ගත නොහැකි විය. ඔහු සිතේ මතු වුණේ ඊර්ෂ්‍යාවක් සහ වෛරයකි. තමන්ට නොලැබෙන ආදරය අනුන්ට ලැබීම දරා ගැනීමට ඔහුට නොහැකි විය. එනම් වෙනත් අයකු තමාට ඉහළින් සිටිනු දැකීමට කායින්ට නොහැකි විය. කායින්ගේ මේ හැඟීම අප කෙතෙක් පීඩාවට පත් කර ඇතිද? කායින්ලා මොන තරම් අප මානසික ඝාතනයට ලක් කර ඇතිද? හුස්ම ගන්නට අසීරු වන තරමට ගෙල සිර කර සිටින්නට ඇතිද? මේ නිසා අප මානසිකව මිය යමින් සිටි අවස්ථා කොපමණද?

ඇතැම් විට මේ මානසික ඝාතන සිදු කරන කායින්ලා සිය සහෝදර ආබෙල්ලාට එවැනි දේ සිදුවන බව හෝ නොදනී. ජේසුතුමා කුරුස ගසේ එල්ලී සිටියදී දෙසූ එක් වාක්‍යයක් මෙහිදී සිහියට නැගේ. එනම්, “ස්වාමිනී, මොවුන් නොදැන කරන වරදට සමාව දෙන සේක්වා!” යන්නයි. සැබැවින්ම ඔවුන් දැන දැන වැරදි කරන බව පැවසුවද, වරදට ලක්වෙන පුද්ගලයාට සිදුවන හිංසාව පිළිබඳ සැබෑ අවබෝධයක් තිබුණි නම් හෝ ඒ වරදේ ආදීනව දැන සිටියේ නම් කිසි දිනෙක වැරදි නොකරනු ඇත. වැරදිකරුවන් දෙස සාමකාමී සිතෙන් විමසා බලන විට අපට කියන්නට ඇත්තේද, “ස්වාමිනී ඔවුන් නොදැන කරන වරදට සමාව දෙන් සේක්වා” යන්නය.

වර්තමාන සමාජය අතිසංකීර්ණය; තරගකාරීය. ඒ ගමනේදී අනෙකා පසු කර වේගයෙන් යෑම සියලු දෙනාගේ වුවමනාවය. අවශ්‍යතා අසීමිතය; බලාපොරොත්තු කඳු ගැසී ඇත. ඒ වුවමනා ඉක්මනින් ඉටු කර ගැනීමය සියලු දෙනාගේ අරමුණය. සරල දිවිපෙවෙත් අපගෙන් උදුරා දැමුණු වාණිජමය ලෝකය අපට මවන්නේ විසිතුරු, දැවැන්ත, අතිසුඛෝපභෝගී ලෝකයකි. අප ඒ දැලට හසුවී හමාරය. ඒ ලෝකය අවැසි වුවද නැති වුවද එය ලබා ගැනීමේ වේගවත් ඉලක්කවලට අප යොමු වීම නිරායාසයෙන් වෙන දෙයකි. මෙකී වාතාවරණය ඇති කරනු ලබන්නේ ආත්මාර්ථකාමී දිවි පෙවතකි. දැඩි මමත්වයෙන් පෙළනු ලබන මිනිසුන් වසන සමාජයක සතුරන් ඇති වීම පුදුමයක් නොවේ. අනෙකාගේ සතුරු ලැයිස්තුවට අසු නොවී සිටීම පහසු කාර්යයක් නොවේ. එවැනි අසුවීමකට අප පාත්‍ර වුවද, ඔවුන් පිපාසාවෙන් සිටින කල, වතුර උගුරක් දීම මනුෂ්‍යත්වය ඉතිරි වී ඇති අයගේ යුතුකමය. ඒ පිපාසය පානීය ජලය ලෙසම අර්ථකථනය කර නොගන්න. යමකු අපට එදිරිව සතුරකු ලෙස පෙනී සිටින්නේ නම්, අනිවාර්යෙන්ම ඔවුන්ට අපගේ ආදරය සහ කරුණාව ලැබිය යුතුය. මන්ද ඔවුහු පිපාසාවෙන් සිටිති. එකී පිපාසාව ඇත්තේ ආධ්‍යාත්මයේය. ඒ ආධ්‍යාත්මයයේ පිපාසාව නිවනු වස් අපගේ සිනාවක් වුවද ප්‍රමාණවත්ය; ඔවුන්ගෙන් පළි නොගෙන සිටීම ප්‍රමාණවත්ය. අප කිසිවකුට එවැනි සතුරකු නොවීම ප්‍රමාණවත්ය.

සුමේධා

නව අදහස දක්වන්න