දිය නොවන දියර කිරි | දිනමිණ


 

දිය නොවන දියර කිරි

අප ජීවත්වන ලෝකයේ තිබෙන ගුණාත්මකම පානයක් ලෙස දියර කිරි නම් කළ හැකිය. තවත් අයුරකින් සඳහන් කරන්නේ නම් සියලු පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සමන්විත ශරීරයට අවශ්‍ය කරනු ලබන පෝෂණ සංඝටක අඩංගු ආහාරයක් ලෙසින් ද දියර කිරි හැඳින්විය හැකිය. ඉතිහාසගත කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ දියර කිරි පරිභෝජනය වසර 5000කටත් වඩා ඈතට දිවයන බවයි. මිසරයේ ඇති නටබුන් සම්බන්ධව කරන ලද පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ එදවස සිටි ජනයාගේ පරිභෝජන අංගයක් ලෙස දියර කිරි තම ආහාර‍ වේලට එක්කොට ගෙන තිබූ බවයි.

ඕනෑම රටක අනාගතයේ පැවැත්ම ඇත්තේ නිරෝගී සම්පන්න ශ්‍රම බළකායක් එම රටෙහි සංවර්ධන කටයුතු සඳහා උරදීමත් සමඟය. එය ඕනෑම රටකට පොදු කාරණාවකි. එය මැනවින් සිදුවීමට නම් එරට ජනයා පරිභෝජනය කරනු ලබන ආහාර මඟින් මනා ඵලදායකත්වයක් ලැබිය යුතුය. මේ සම්බන්ධ කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ අප රට තුළින්ම ලබාගත හැකි සම්පතක් වන දියර කිරි මඟින් මේ සඳහා මනා රුකුළක් ලබාගත හැකි බවයි. නමුත් අවාසනාවන්ත කරුණ වන්නේ විදේශ රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයන් දියර කිරි පරිභෝජනයෙන් ඈත්ව සිටීමයි. ඔවුන් බහුතරයක් තම කැමැත්ත අනුව පරිභෝජනය සඳහා පෙළඹී සිටින්නේ විදේශ රටවලින් ගෙන්වනු ලබන කිරිපිටිවලටය. නමුත් එහි ගුණාත්මක භාවයක් නොමැති නිසා අනිවාර්යයෙන්ම පෝෂණීය වශයෙන් එහි යම් දුර්වලතාවයක් පැන නගී. අනෙක් කරුණ වන්නේ අවශ්‍ය තරම් කිරි සම්පතක් අප රට තුළින් නොලැබීමයි.

කෙසේ වෙතත් 2010 වසරේ සිට 2018 වසර දක්වා වසර 8ක කාලයක් තුළ විදේශයන්ගෙන් කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැය කර ඇති බැව් පෙනෙන්නට තිබෙන කරුණකි. 2010 වසරේදී රුපියල් බිලියන 29.03ක් පමණ වැයකර ඇති අතර 2018 වසරේදී පමණක් එය රුපියල් බිලියන 54කි. මෙම වසර 8 තුළ පමණක් කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා රුපියල් බිලියන 312ක පමණ මුදලක් වැයකර තිබේ. ඒ සියලුදෑ සිදු කරන ලද්දේ ශ්‍රී ලාංකේය ජනතාවගේ පරිභෝජන කටයුතු වෙනුවෙන් වූවත් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අප රටට එය දරාගත හැකි මටටමේ වියදමක් නොවේ. නමුත් මේ වෙනුවෙන් ඒ සඳහා වැය කරන ලද මුදල් විශේෂයෙන් ග්‍රාමීය වශයෙන් පවතින සත්ත්ව ගොවිපළ සංවර්ධනය කිරීමට පෙළඹවූවේ නම් එයින් ලබාගත හැකි අනාගත ඵලදායිත්වය කියා නිම කළ නොහැක.

කෙසේ වෙතත් වර්තමානයේදී දේශීය වශයෙන් වසරකට කිරි ලීටර් මිලියන 750ක අවශ්‍යතාවයක් පැණ නැගුනද අප රට තුළ නිෂ්පාදනය කරන කිරි ලීටර් ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. මේ වන විටත් අප රට තුළ නිපදවනු ලබන්නේ 50%කට වඩා අඩු මට්ටමකින් පවතින කිරි ලීටර් ප්‍රමාණයකි. දළ වශයෙන් ගතහොත් එය කිරි ලීටර මිලියන 320ක් පමණ වේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2018 වසරේදී ලබාගත් වාර්තාවන්ට අනුව එම වසරේදී කිරි ලීටර් මිලියන 471.5ක් නිෂ්පාදනය කර ඇති අතර ඒ එළ ගවයන්ගෙන් කිරි ලීටර් මිලියන 85.9ක්ද වශයෙනි. එමෙන්ම තවදුරටත් ගණනය කර අැති ආකාරයට සමස්ත පරිභෝජන කටයුතු වෙනුවෙන් එම ප්‍රමාණය හතර ගුණයකින්වත් සිදුකළ දැමිය යුතු තත්ත්වයක පවතී.

වර්තමානයේදී අප මුහුණ දෙනු ලබන ගැටලුව වන්නේ කිරි නිෂ්පාදනය ඉතාමත් අවම තත්ත්වයක පැවතීමයි. එයට හේතුවක් ලෙසින් සඳහන් කළ හැකි වන්නේ මෙම නිෂ්පාදනයන් සඳහා අධික පිරිවැයක් වැය වීමයි. නමුත් කිරි සම්පත වැඩි දියුණු කිරීම සඳහා කළ හැකි එක් ක්‍රමවේදයක් වන්නේ තත්ත්වයෙන් උසස් වූ තෘණ වර්ග කිරි දෙනුන්ට ලබාදීමයි. එය ඉතා මිල අධික තත්ත්වයකි. කෙසේ වෙතත් කිරි ගොවීන් මුහුණදෙන ගැටලු සමුදාය අතුරින් මුහුණදෙන බරපතළම ගැටලුවක් වන්නේ තම භූමි ප්‍රදේශයන්ට අනුකූලව හැඩ ගැසී ඇති කාලගුණික, දේශගුණික තත්ත්වයන්ට උචිත සතුන් නොමැතිවීමයි. ඒවා මිලට ගැනීමට නම් ඔවුන් විශාල මුදලක් වැය කළ යුතු අතර එය කෙසේවත් ලාංකේය ජන සමාජය තුළ සිටින කිරි ගොවියාට කළ හැක්කක් නොවේ.

සෞභාග්‍යයේ දැක්ම යටතේ අප රට මේ මොහොතේ සාර්ථක වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කරනා මොහොතක අතිගරු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අප රට තුළ මේ මොහොත වනවිටත් දියර කිරි පරිභෝජනය කරනු ලබන්නේ ඉතා සුළු කොට්ඨාසයක් බවත් ගොවිපළ සංවර්ධනය කිරීමේ කටයුතු මගින්, ගොවීන්ට අතහිතදීම මඟින් මෙය තවත් වැඩි දියුණු කළ යුතු බවය. මේ මො‍හොතේ අපේ රටට එය අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයකි. මන්ද එක් අතකින් ග්‍රාමීය වශයෙන් කිරි ගොවීන්ට තම වෙළෙඳපොළ ගොඩනගා ගැනීමට හැකිවීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්වීමද සිදුවන අතර මනා ලෙසින් දියර කිරි අප රටට අවශ්‍ය පරිදි නිපදවීමට හැකියාව ලැබීමත්ය. එමෙන්ම තවත් අයුරකින් සඳහන් කළ හැකි කාරණාවක් වෙන්නේ කිරි නිෂ්පාදන ගෙන්වීමට විදේශ රටවල් සඳහා ඇදීයන මුදල් ප්‍රමාණය වැඩි වශයෙන් අප රට තුළම රඳවා ගැනීමට හැකියාව ලැබීමයි. 

එය එසේ වුවද මේ සඳහා ඵලදායිත්වයක් ලැබිය යුතු ආකාරයේ ක්‍රියා මාර්ගවලට එළඹිය යුතුය. පෙර සඳහන් කර ඇති ආකාරයට මූලික වශයෙන් කිරි සම්පත වැඩි දියුණු කරගැනීම සඳහා උසස් තෘණ වර්ග ලබාදිය යුතු අතර තම ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයේ සතුන් මිලදී ගැනීමටද කටයුතු කළ යුතුය. නමුත් එය ඉතා මිල අධික තත්ත්වයකි. වර්තමානයේදී ග්‍රාමීය වශයෙන් ගත් විට ලංකාවේ සිටින එක් කිරි දෙනකුගෙන් ලබාගත හැකි කිරි ලීටර් ප්‍රමාණය වශයෙන් දැක්වෙන්නේ කිරි ලීටර් 2 – 3 ක් අතර ප්‍රමාණයකි. මීට වඩා ලීටර් ප්‍රමාණයක් ලබාගත හැකි කිරි දෙනුන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයකි. දැනට පවතින සංඛ්‍යාලේඛන අනුව අප රට කිරිවලින් ස්වයංපෝෂිත තත්ත්වයේ පවත්වාගෙන යා යුතු නම් එය දිනකට කිරි ලීටර් 10ක් පමණ ලබාගත හැකි කිරි දෙනුන් 80,000ක් ‍හෝ සිටිය යුතු බව මේ වන විට ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රවර්ධන අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරනු ලබන කිරි සම්පත වැඩි දියුණු කිරීම් සඳහා වැඩපිළිවෙල කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම වැඩපිළිවෙළ කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන බව පශු සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිරෝෂන් ගමගේ මහතා පවසයි.

එමෙන්ම ලංකාවේ කිරි සම්පත වැඩි දියුණු කරගැනීම පිණිස ඇති එක් බාධාවක් වන්නේ නවීන තාක්ෂණය සම්බන්ධව ඇති ගැටලුවයි. එමෙන්ම ඒ හා සම්බන්ධව කතා කළ යුතු මාතෘකාවක් වන්නේ මෙම කිරි සම්පත වැඩි දියුණු කිරීමේදී ‍ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ශ්‍රම සම්පතහි හිඟභාවයයි.

මේ වෙනුවෙන් ගත් එක් පියවරක් වන්නේ තරුණයන්ට නව තාක්ෂණය යටතේ ගොවිපළ ආරම්භ කිරීමට කටයුතු සලසා දීමයි. ඒ අතුරින් කිහිපදෙනකුගේ එක්වීමක් මත සමාගමක් ආරම්භ කළ හැකි අතර ඒ සඳහා උපදෙස් ලබාදීමද සිදුකරනු ලබයි.

පසුගිය 14 වනදා ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවට අනුව මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම මත නව කිරි ගවයන්ගේ අවශ්‍යතාවයද පැන නැග තිබේ. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත කිරි ගවයන් 1000කට වැඩි ප්‍රමාණයක් සිටින විශාල ප්‍රමාණයේ සත්ත්ව ගොවිපල 22 ක් තෝරාගෙන එම ගොවිපළ වල දෙනුන්ගෙන් ඇතිවන පැටවුන් ගොවීන්ට ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කෙරිණි.

මේ වනවිට රජය දියර කිරි ජනතාවට හුරු කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කිරීමට කටයුතු සූදානම්කර තිබේ. ඒ අනුව දීප ව්‍යාප්තව වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙන අතර මෙම වැඩ සටහන් යටතේ පාසල්වල සිසුන්ට දියර කිරි බීමට හුරු කරවීම එහි මූලික අදියරයි. බොහෝ විට ගොවීන් අතුරින් පැන නැගෙන ගැටලුවක් වන්නේ මිල සම්බන්ධව සිදුවෙන විමසීම්ය. මේ සඳහා එක් කිරි ලීටරයකට නියමිත වූ මිලක් තිබෙන අතර එහි යම් වූ වෙනස් වීමක් සිදුවන්නේ දියර කිරිවල පවතින ගුණාත්මක භාවය මතය.

ජනාධිපතිවරයා දියර කිරි පාරිභෝජනය සම්බන්ධයෙන් ඇති අඩු ලුහුඩුකම් දැක්වීමෙන් අනතුරුව බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ අතර ඒ අතරින් බොහෝ දෙනෙක් මේ කටයුත්ත සම්බන්ධව ධනාත්මක අදහස් යොමු කළහ. කෙසේ වෙතත් මේ අයුරින් සිදුවන වැඩ කටයුතු නිසා ශ්‍රී ලංකාව තුළ දියර කිරි පරිභෝජනය වැඩිවනවා පමණක් නොව එහි නිෂ්පාදනයද වැඩි වී ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් වන බව කිව යුතුය.එය නැවත පෙරලා ලැබෙන්නෙ අපේ රටටය.

රජිත බස්නායක

නව අදහස දක්වන්න