හොරා පොලිස් සහ පොලිස් හොරු | දිනමිණ


 

හොරා පොලිස් සහ පොලිස් හොරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ආර්.ඒ.ඩබ්ලිව් රණසිංහ

හොරා පොලිස් කියන්නේ පුංචි කාලේ අපි කවුරුත් කරපු සෙල්ලමකි.හොරු හැංගෙන්නේ පොලිසියෙන් බේරෙන්නයි.පොලිසිය කරන්නෙ හොරු ඇල්ලීමයි.ඒ නිසා කුඩා කාලයේ සිටම පොලීසිය පිළිබඳව අපේ තිබුණේ ගෞරවයත් සමඟ මුසු වූ බියකි. අදත් අපි පොලිසිය දෙස බලන්නේ හොරකමට මැරකමට හා අයුක්තියට,අසාධාරණයට,එරෙහිවන මහජන සේවයක් ලෙසිනි. එවන් වූ අවංක සේවයක් කළ සිල්වා නම් වූ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් බදුල්ලේ රාජකාරි කළේය.ඔහුව හැඳින්වූයේ කාලඩී සිල්වා නමිනි. නම දැම්මේ ඔහුගෙන් සංග්‍රහ ලද දමිළ ජාතිකයින්ය.එයට හේතුව ඔහු පහර දීමට යොදා ගත්තේ අත වෙනුවට කකුළ වීමය.සිල්වා රාළහාමි සිවිල් පිට සිටින විටෙකදී මදාවි කොල්ලො කිහිප දෙනෙක් වීදියක් දිගේ අව්වෙි යන ගැහැනු ළමුන් දෙදෙනකුට හා නංගී අව්ව සැරයි නේ දැයි කියමින් කළ සමච්චලය ඔහුගේ කන වැකුණි. කොල්ලන්ට සහ කෙල්ලන්ට තමන් හඳුන්වා දුන් හෙතෙම ඔවුන් සියල්ල අසල සාප්පුවකට රැගෙන ගොස් මදාවියන්ට දඬුවමක් ලෙසින් ඔවුන් ලවා කූඩ දෙකක් තරුණියන් ට අරන් දුන් බව එකල ප්‍රසිද්ධ විය. දැන් එවැනි කොලොප්පන් කරන්නේ මදාවියන් නොව පොලිස් මදාවියන් ය.නිල කබාය ඇතිව එසේ කිරීම සේවා සංස්කෘතියට නො ගැළපෙන්නක් යැයි අපට සිතේ.

හොරා පොලිස් සෙල්ලම කරන්නේ සෙල්ලමට වුවත් වැඩිහිටියන් වූ පසු අප එය අත්හැර දැමුවත් පොලිසියේ සහ පාතාලයේ නළුවන් සමඟින් අදත් මේ සෙල්ලම සැබෑවටම කරමින් සිටින්නේ දේශපාලනඥයන්ය. ඔවුන් හොරා හොරා කියමින් අනෙකෙකුට ඇඟිල්ල දිගුකොට අනිත් අතින් ඊටත් වඩා ලොකු හොරකම් කරන ලද අවස්ථා එමටය. මහ බැංකු මගඩිය, කොළඹ-නුවර අධිවෙිගී මාර්ග ව්‍යාපෘතිය, සංස්කෘතික ත්‍රීකෝණ අරමුදල් කොල්ලය පමණක් නොව මහපොළ, සමෘද්ධි වැනි අරමුදල් යටිමඩි ගැසූ සිද්ධීන් ද අපට සිහිපත් වන්නේ නො දැනුවත්වමය.මත්කුඩු,එතනෝල් ජාවාරම් මෙහෙයවන්නේ ද ඔවුන් බවට සමාජයේ මතයක් ගොඩනැගී තිබේ. මෙසේ දේශපාලනඥයින් සොරකම් කරන විට ඔවුනට රැකවරණය දෙන පොලීසිය කරන්නේද හොරකමය.හොරකමට දූෂණයට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන්නේ ග්‍රාමසේවක ගේ පටන් අමාත්‍යාංශ බලධාරීන් දක්වා රාජ්‍ය සේවකයින්ය. නායක හාමුදුරුවෝ හිටගෙන කරන දේ ඇබිත්තයා දුවමින් කරනවා යැයි කියන්නේ මේවාටය. වැලි හා පස් ජාවාරමුන්ට,අභයභූමි හා රක්‍ෂිත වනසන්නන්ට, පුරාවිද්‍යා භූමි ඩෝසර් කරනවුන්ට හා මත්කුඩු හා හොර මත්පැන් ජාවාරමුන්ට පැන යාමට ඉඩදී නිහඬව බලා සිටිනවා පමණක් නොව එවැන්නන්ගේ තැරැව්කාරයින් ලෙස කටයුතූ කරන්නේද නීතියේ රැකවලුන් වූ පොලිසිය,බන්ධනාගාරය හා සුරාබදු නිලධාරීන් ආදී ජනතාව විශ්වාසය තැබූ ආයතන නිලධාරීන්ය.මේ කියන්නේ හැමෝ ගැනම නොවන්නේය.එසේ වුවත් සුළු පිරිසක් කරන අවැඩ නිසා කළු පැල්ලම් එකතු වන්නේ සමස්ත නිලධාරීන්ගේම ඇඳුම්වලය.

ශ්‍රී ලංකා පොලිස් සේවය 1867 සිලෝන් පොලිස් සේවය ලෙසින් පිහිටුවීමෙන් පසු මේ ගතවන්නේ එහි 153 වැනි වසරය.පිත්තල බොත්තම් එල්ලූ කාකි කෝට් එකත් කොට කලිසමත් පැත්තකින් උඩට නමා නිකට ලඟින් තද කළ හැකි පටියකින් යුත් තොප්පියත් දණ හිස දක්වා වු දිග දුඹුරු පාට මේස් කුට්ටම සහ සපත්තු කුට්ටමත් පැළැදි පොලිස් නිලධාරියකු සයිරන් නළාව කටේ ගසාගෙන බැටන් පොල්ල අතට ගත්විට ඔහුගේ පෙනුම ගරු ගාම්භීර විය.එහෙත් 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව මගින් එංගලන්ත අධිරාජ්‍යවාදය සමඟ තිබූ පරිපාලන හා ව්‍යවස්ථානුකූල බැදීම්වලින් මිදෙන තෙක්ම ශ්‍රී ලංකා පොලිස් සේවය සලකනු ලැබුවේ රැජිනගේ සේවයක් ලෙසිනි.ඒ නිසාම එය විනයගරුක ආචාරශීළී සේවයක් වූයේය.අද මෙන් සෘජු දේශපාලන මැදිහත් වීම්වල ගොදුරක් නොවීම නිසා පොලිස් සේවය ගෞරවාන්විත එකක් ලෙස ඉස්මතුව තිබිණි.

පොලිස් සේවය පිළිබඳ මෙවන් හැඳින්වීමක් කරන්නට හිත්ලෑවේ නාකොටික් පොලිසියේ අවලම් වැඩක් පිළිබඳ පසුගිය දිනවල මතුවූ කතා බහ නිසාය.දියුණු රටවල නම් පොලිසිය ආචාරශීලී සේවයකි.එවන් සේවයක් අපට අත්දැකීම් තිබෙන්නේ නිදහස ලබා දශක දෙකක් තරම්වූ කෙටිකාලයක් සඳහා පමණි. ඉන්පසු රටේ පරිපාලනයේ දූෂිතම අංශය බවට පොලිසිය සන්නාම ලැබීය. ඒ බව කීවේ ද පොලීසියේ ඉහළම නිලධාරියෙකි. සැබවින්ම එය දූෂණය වූයේ බලකාමී දේශපාලනඥයින්ගේ රැකවලුන් බවට පොලීසිය යොදා ගැනීමත් සමඟය. බුදු සරණයි නාම පුවරුව සහිතව හොර හරක් මස් ප්‍රවාහනය කරන ලොරියක තත්ත්වයට පොලීසිය පත්වූයේ නිල සුනඛ අංශයට යායුතු අයට යුනිෆෝම් අඳින්නට අවස්ථාව ලැබීමේ ප්‍රතිඵලය නිසාය.

සකලවිධ චෝදනා සමස්ත පොලිස් නිලධාරීන් වෙතම බැර කිරීම සාධාරණ නොවන්නේ ගිලීමලෙත් දත සුද්දන් ඇත්තා සේ යහපත් චරිතවත් රාජකාරිය දේවකාරියක් ලෙසින් සලකන ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු නිලධාරීන්ද පොලීසියේ සිටින නිසාය.බුලත් මල්ලට හෙණ ගැසූවිට කිල්ලෝටය ගැන සෙවීම නිෂ්ඵල වූවකි.ඒ නිසා දේශපාලනඥයන්ගේ මිතුරන් වන පාතාලයන්,ජාවාරම්කාරයන් පොලිසියේද මිතුරන් වූ රටක නීතිය හා සාමය නියම ලෙස ක්‍රියාත්මක වේයැයි අපේක්ෂා කළ හැකි ද? නීතිය දුබලවූ ඉන් රිංගා යෑමට අවශ්‍යය සිදුරු සකස්කර ගැනීම පහසුය. ලංකාවට ශක්තිමත් තනි නීතියක් නැත.උතුරේ තේසවලාමේ නීතියත්,නැගෙනහිරට ෂරියා නීතියත් සමඟ මුස්ලිම් කාති උසාවි සහ නීති විද්‍යාලද ඇත.අපට අපේ නොවන රෝම ලන්දේසි නීතියද තිබේ.එසේ නම් වරද ඇත්තේ මෙතෙක් රට පාලනය කළ අම්බරුවන්ගේද නොඑසේ නම් ඔවුන් විරාමයෙන් විරාමයට තෝරා යවන අපි වැනි මීහරකුන්ගේ ද යන්න තෝරා බේරාගත යුතුය.ගැටලුව ඇත්තේ මෝඩ දේශපාලනඥයන්ගේ නොව ඔවුන් පත්කර ගන්නා මෝඩ ඡන්ද දායකයින්ගේ ය.එසේ නම් සිදුව තිබෙන්නේ වැටත් නියරත් ගොයම් කෑම හා සමාන ක්‍රියාවලියක් නොවේද?. පරෙස්සමට තැබූ දෙය ඈලියාවට යාම නොවේද?. ජනතාව දහඩිය කඳුළු වගුරුවා උපයන මුදලින් බදු ලෙස රජයට ගෙවන බිලියන 64.1 ක් වැයකොට නඩත්තුවන 80000 ක් පමණ සේවා බල ඇණියකින් සමන්විත පොලිසිය ජනතාවාදී වීමට නම් ජනතාවාදී දේශපාලනඥයින් එයට නායකත්වය දිය යුතුව තිබේ. දේශපාලකයා පොලිසිය ලවා කළ යුත්තේ නීතිය සහ සාමය පවත්වා ගෙන යමින් ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්‍ෂිත කිරීමය. එසේම පොලීසිය යනු උඩින් එන අණට සැලියුට් ගසා පහළට සැර පෙන්වන දූෂිත රැකියාවක් නොවිය යුතුය.

විධායකය තුළින් ඉස්මතුවන නියම නායකත්වය යටතේ පොලීසිය දැන් තමන් වෙතින් ගිලිහී ගොස් තිබෙන අභිමානය යළි ළඟා කරගැනීමට උත්සහ කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.වරප්‍රසාද හමුවේ රාජකාරිය පාවාදී අතටම අසුවූ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන්ට කුඩය අල්ලන පොලිස් නිලධාරීන් සිටියත් සමස්තයක් ලෙස මත්කුඩුවලට එරෙහිව පොලීසිය සැරෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ.පොලීසිය වෙනස් වී නැත.මේ එදා පොලීසියමය.වෙනස් වී ඇත්තේ නායකත්වයයි.එසේ නම් රහස ඇත්තේ කොතනද යන්න අප නැණ නුවණින් තේරුම්ගත යුතුව තිබේ.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න